ඩුබායි ඉදන් ලංකාවේ පාතාල බිය වපුරන පාතාලයෝ

Click to
follow
පාතාල ගැටුම් පිළිබදව නැවත් පුවත් වාර්තා වන්නට පටන්ගෙන තිබේ. මහ දවාලේ පතාල ගැටුම් නිසා ඝාතනය වුනු පාතලයෝ ගැන පසුගිය දා වාර්තා උනි. එයින් ප්‍රධාන සිද්ධීන් දෙකක්‌ම වාර්තා වූයේ කෙසෙල්වත්ත සහ කොටහේන ප්‍රදේශවලදීය. ඉන් දෙදෙනෙක්‌ මියගිය අතර තවත් දෙදෙනෙක්‌ බරපතළ තුවාල ලබා රෝහල්ගත කළහ. එම සිද්ධීන් මෙසේය.
 
සති කිහිපයකට ඉහතදී කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී වාහන කුලියට දෙන ආයතනයක හිමිකරුවකු වෙඩි තබා මරා දැමුවේය. ඔහු මුස්‌ලිම් ජාතිකයකු වන අතර නමින් මොහොමඩ් රිස්‌කාන්ය. රිස්‌කාන් දකුණු පාතාලයේ නායකයා යෑයි කියා ගන්නා මාකඳුරේ මධුෂ්ගේ ළඟම හිතවතෙකි. දැනට ඩුබායි හි ජිවත් වන මධුෂ් තමන්ට රිසිසේ මෙරට පාතාලය මෙහෙයවයි. ඒ සඳහා රට පුරාම ඔහුගේ ගෝල බාලයෝ සිටිති.
 
හෙරොයින් විකිණීම, කප්පම් ගැනීම සහ කුලියට මනුෂ්‍ය ඝාතන සිදු කිරිම මධුෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් කිහිපයකි. ඩුබායි රටේ ජීවත් වුවත් තම ගෝල බාලයෝ යොදවා ඔහු මෙම අපරාධ සියල්ල සිදු කරයි. එලෙස උපයා ගන්නා මුදල්වලින් ඔහුගේ කොටස අනිවාර්යෙන්ම ලබාදිය යුතු වේ. එසේ ලබා නොදෙන අයට සිදු වන්නේ තම ජීවිතය පිළිබඳ තිබෙන ආශාව අතහැරීම පමණි. මාකඳුරේ මධුෂ් ඒ තරමටම දරුණු පාතාල නායකයෙකි.
 
මධූෂ් එලෙස අයුතු ලෙස උපයා ගන්නා මුදල් වෙනත් ආයෝජන සඳහාද යොදවයි. රිස්‌කාන්ගේ වාහන කුලියට දෙන ආයතනය සඳහාද ඔහු මුදල් යෙදවීමට තීරණය කළේය. ඒ අනුව ඔහු රුපියල් කෝටි දොළහක මුදලක්‌ රිස්‌කාන්ට ලබා දුන්නේය.
 
රිස්‌කාන්ට එලෙස මුදල් ලබාදී මාස කිහිපයක්‌ යන්නට මත්තෙන් ඔහුට වෙඩි තබා මරා දැමුවේය. පසුව එම වෙඩි තබන ලද පාතාල සාමාජිකයා අවට සිටි මිනිසුන්ගේ පහරදීම් හමුවේ මරුමුවට පත්විය. මධූෂ් මෙයින් කුපිත විය. වහාම ඔහු තම ගෝල බාලයන්ට පැවසුවේ මෙය කාගේ වැඩක්‌ද යන්න සොයා බලන ලෙසයි. ඒ අනුව පැය කිහිපයක්‌ යන්නට මත්තෙන් එම ඝාතනය පසුපස සිටින්නේ කවුරුන්ද යන්න එම ගෝල බාලයෝ මධූෂ්ට දැනුම් දුන්හ.
 
කොස්‌ මල්ලී කඩුවෙල සමයාගේ ප්‍රධාන ගෝලයෙකි. මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක්‌ ඔහු සිදුකර තිබිණි. අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු වූ රත්තරං නමැත්තාටද වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබුණේ මොහුටය. රණාලේ සමයාගේ ඝාතනයෙන් පසු එම ප්‍රදේශයේ පාතාල කිරුළ ලබා ගැනීමටද කොස්‌ මල්ලී උත්සාහ කළේය. ඉතාම දරුණු ගනයේ අපරාධකාරයකු වූ මොහු මිනිස්‌ ඝාතනවලට අමතරව එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ද බියවද්දා කප්පම් මුදල් ද ලබා ගත්තේය. එම නිසා කඩුවෙලට පමණක්‌ නොව මුළු රටටම මොහු පිළිලයක්‌ වී තිබිණි.
 
මොහොමඩ් රිස්‌කාන් ඝාතනය කිරීම සඳහා පැමිණි කුලී ඝාතකයන් පැමිණ සිටියේ කොස්‌ මල්ලීට අයත් යතුරුපැදියකිනි. මධූෂ් මේ පිළිබඳව දැන සිටියේය. එයට අමතරව මධූෂ්ගේ සමීපතමයකු වූ අංගොඩ ලොක්‌කාගේ ප්‍රධාන ගෝලයා මරා දැමීමටද රණාලේ සමයා සමඟ මොහු එකතුවී තිබිණි. මෙම හේතු නිසා මධූෂ්, කොස්‌ මල්ලී සමඟ සිටියේ දැඩි තරහකිනි. “මගේ හොඳම යහළුවකු වූ රිස්‌කාන්වත් මරා දාන්න මූ උදව් කළා. ඒක නිසා තව ඉස්‌සරහට මොනව කරයිද දන්නේ නැහැ. දැන් මූ දඟලනවත් වැඩියි. ඒක නිසා මූව ඉවරයක්‌ කරල දාපන්. දස වධ දීලා ඕකව මරල දාන්න ඕනේ. අනිත් අයටත් දැනෙන්න එක්‌ක මධූෂ් තම ගෝල බාලයන්ට එලෙස දැනුම් දුන්නේය.
 
මධූෂ්ගේ ගෝලයෝ සති කිහිපයක්‌ කොස්‌ මල්ලී ගැන ඇස ගසාගෙන සිටියේය. ඔහු යන එන තැන්, ඇසුරු කරන පුද්ගලයන් ආදිය ගැන සියලු තොරතුරු අකුරක්‌ නෑර ඔවුහු සොයා ගත්හ.
“කල් යන්න ඉස්‌සෙල්ලා මූට වැඩක්‌ දෙන්න ඕනා. එලෙස සිතාගත් මධූෂ්ගේ පාතාල ගෝලයෝ දැනට දින කිහිපයකට ඉහතදී කොස්‌ මල්ලී පැහැරගෙන ගොස්‌ මරා දැමූහ. එතැනින් නොනැවතුණු එම පාතාල සාමාජිකයෝ ඔහුගේ හිස කඳින් වෙන්කර රිස්‌කාන් මරා දැමූ තැනට ගෙනැත් දැමුවේ පළියට පළිය ගත්තා යන්න අඟවමින්ය.
 
මෙම ලිපිය ලියන මොහොත වන විටත් පොලිස්‌ නිලධාරීන්ට කොස්‌ මල්ලීගේ සිරුරේ කඳ කොටස සහ එම ඝාතනය සිදුකළ පාතාල සාමාජිකයන්ව සොයා ගැනීමට නොහැකි වී තිබිණි. එහෙත් උසස්‌ පොලිස්‌ නිලධාරියකු අප සමඟ පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ සියලුම තොරතුරු පාහේ සොයාගෙන ඇති බවත්, තව නොබෝ දිනක්‌ ගතවන්නට මත්තෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවත්ය.
 
දරුණු ගනයේ අපරාධ සිදු කරමින් රණාලේ සමයාගෙන් පසු කඩුවෙල පාතාල කිරුළ හිමිකර ගැනීමට උත්සාහ කළ කොස්‌ මල්ලී නමැති පාතාල සාමාජිකයාට අවසානයේ සිදු වූයේ එලෙස මැරුම් කෑමටය. කොස්‌ මල්ලී එසේ ඝාතනය වෙද්දී තවත් පාතාලයේ පිරිසක්‌ පසුගිය අටවැනිදා කොටහේනේ දී සිදුකළ වෙඩි තැබීමකින් එක්‌ අයෙක්‌ මියගිය අතර දෙදෙනෙක්‌ තුවාල ලැබූහ. එම සිද්ධිය සැකෙවින් මෙසේය.
 
කෙසෙල්වත්තේ ඩිනුක මෙරට තවත් අංක එකේ පාතාල නායකයෙකි. මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් ආදිය ඔහු සිදු කළේ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිවය. කලක්‌ එලෙස සිදුකළත්, අවසානයේ පොලිස්‌ නිලධාරීහු කෙසෙල්වත්තේ ඩිනුකගේ පැටිකිරිය ක්‍රම ක්‍රමයෙන් සොයා ගත්හ. ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ නිලධාරීහු දැල එලූහ. එහෙත් එම නිලධාරීන්ගේ ඇස්‌වලට වැලි ගසමින් මෙන් ඉතා සූක්‍ෂම ලෙස මොහු ඩුබායි රටට පැන ගත්තේය.
 
ඩුබායි රටට පැන ගත්තත් කෙසෙල්වත්තේ ඩිනුකගේ පාතාල ක්‍රියාකාරකම් අඩු වූයේ නැත. තම ගෝල බාලයන්a ලවා ඔහු කොළඹ සහ ඒ අවට තමන්ගේ ආධිපත්‍යය පතුරුවාගෙන ගියේය. දැනට කෙසෙල්වත්තේ ඩිනුක සිටින්නේද මාකඳුරේ මධුෂ් සමඟ බවට ආරක්‌ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. කෙසෙල්වත්තේ ඩිනුකගේ ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ කප්පම් ලබා ගැනීමයි. ඩිනුකගේ අණ පරිදි ඔහුගේ ගෝල බාලයෝ පිටකොටුවේ සිටින පලතුරු වෙළෙන්දාගේ සිට මහා පරිමාණයේ ව්‍යාපාරිකයා දක්‌වාම කප්පම් මුදල් ලබා ගනිති. මෙම පාතාල මාරයාගේ තරම දන්නා බොහෝ ව්‍යාපාරිකයෝ ජීවිතයට තියෙන ආශාව නිසා කප්පම් මුදල් ලබාදෙති.
 
පිටකොටුවේ ව්‍යාපාරිකයන් ගෙන් ලබා ගන්නා කප්පම් මුදල් සතිපතා කෙසෙල්වත්තේ ඩිනුකට යෑවිය යුතුය. ඔහුගේ ගෝලයා බොහෝ විට එම සල්ලි ඩුබායි වෙත යවනුයේ ඊසි කෑෂ් මගින්ය. තම පාතාල නායකයාගේ තරම දන්නා එම ගෝල බාලයෝ නිසියාකාරව සතිපතා එම මුදල් ඩිනුකට යවති. දමයන්ත ප්‍රදීප් නොහොත් කෙසෙල්වත්තේ චානා සුළු ව්‍යාපාරිකයෙකි. අයුක්‌තිය අසාධාරණයට එරෙහිව නොබියව සටන් වදින ඔහුට පිටකොටුවේ වෙළෙඳුන් අතර ඇත්තේ ඉමහත් පිළිගැනීමකි. එලෙසම ඔහු බජාර් එකේ චණ්‌ඩියෙකි. මිලාන් මධුරංග ඔහුගේ සහෝදරයෙකි. කරුණාදාස නොහොත් ජයරත්නද කෙසෙල්වත්තේ චානාගේ ළඟම හිතවතෙකි.
 
චානා ඇතුළු මෙම තිදෙනා පිටකොටුවේ ඇපල් තට්‌ටු තුනක්‌ පවත්වාගෙන ගියේය. ඩිනුකගේ ගෝල බාලයෝ කලක සිට මොවුන් තිදෙනාගෙන්ද කප්පම් මුදල් ඉල්ලුවේය. ඒත් චානා කිසි දිනක ඔවුන්ට කප්පම් මුදල් ලබා දුන්නේ නැත. චානා ඇතුළු තිදෙනා කප්පම් මුදල් ලබා නොදෙන බව ගෝලයෝ දිනක්‌ ඩිනුකට පැවසුවේය. එය ඇසීමෙන් කුපිත වූ ඩිනුක තම ගෝලයන්ට බැණ වැදුනේ මෙලෙසින්ය.
 
“කවුද යකෝ.. ඔය පිටකොටුවේ ඉන්නේ මට සල්ලි නොදෙන අය. උඹලටත් ලැඡ්ජ නැද්ද යකෝ එක එකා ළඟ නෝන්ඩි වෙන්න. මගේ නමත් කනවා බොලා. අදම ගිහින් කප්පම් මුදල් ගනින්. නැත්නම් මම නරක එකා කියලා කියන්නෙපා”
ලොක්‌කාට කේන්ති ගිය බව දැනගත් එම පාතාලයෝ වහාම පිටකොටුවට ඇවිත් චානක මුණ ගැසුණහ. මුණගැසී මෙලෙස පැවසුවේය.
 
“උඹට මෙතැන බිස්‌නස්‌ කරගෙන යන්න ඕනනම් අපේ බොස්‌ට සල්ලි දියන්. නැත්නම් අපි නරක මිනිස්‌සු කියන්න එපා. දන්නවනේ බොසාගේ තරම”
එම වචන ඇසීමෙන් චානාගේද ඉවසීමේ සීමාව ඉක්‌මවා ගියේය. තර්ජනාත්මක ස්‌වරයෙන් ඔහු එයට ප්‍රති උත්තර දුන්නේ මෙලෙසින්ය.
“උඹලාගේ ලොක්‌කාගෙන් මට වැඩක්‌ නැහැ යකෝ. මම කාටවත් නිකං ශත පහක්‌ දෙන්නේ නැහැ. අපි කාගෙන්වත් හිඟා කන්නේ නැහැ. අපි මහන්සි වෙලයි අපි ජිවත් වෙන්නේ. ඒක මතක තියා ගනින්. ගිහින් කියපන් උඹලගේ ලොක්‌කාට පුළුවන් නම් මගෙන් සල්ලි ගන්න කියලා”
 
විනාඩි කිහිපයක්‌ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්‌ සිදුවිය. චානාගේ සහෝදරයාද ඔවුනට පැවසුවේ ශත පහක්‌වත් දෙන්නේ නැහැ කියාය. අවසානයේ එම මැරයෝ එතැනින් ගියේ “මේක මෙතැනින් ඉවර නැහැ. බලහන්කෝ ඉස්‌සරහට වෙන දේ” යෑයි පවසමින්ය. ඉන්පසුත් අවස්‌ථා කිහිපයකදී ඔවුහු චානාගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට ගියහ. එක්‌ අවස්‌ථාවකදීවත් ඔවුන් කප්පම් මුදල් ලබා දුන්නේ නැත. සිදු වූයේ දෙපිරිස අතර ගැටුම් ඇතිවීම පමණි.
 
අවසානයේ චානා ඇතුළු තිදෙනාගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට බැරිම තැන ගෝලයෝ ඩිනුකට ඒ පිළිබඳව පැවසුහ. “යකෝ මගේ කීම අහන්න බැරි උන්ට යහතින් ඉන්න මම ඉඩ තියන්නේ නැහැ. දන්නවනේ ඕකුන්ට කරන්න ඕන දේ. උඹලා ඉක්‌මනට ඒක කරලා දාපන්. නැත්නම් අනිත් උනුත් සල්ලි නොදී ඉඳියි” ඔහු එලෙස පැවසුවේය.
 
පාතාල ලොක්‌කාගේ අණ ඉහළින් පිළිගත් එම ගෝලයෝ චානා ඇතුළු තිදෙනා වෙඩි තබා මරා දැමීමට තීරණය කළහ. ඒ අනුව සූදානම් වූ පාතාල සාමාජිකයෝ දෙදෙනෙක්‌ පසුගිය 08 වැනිදා චානලා පදිංචි කොටහේන බිලින්වත්ත ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණියහ. ඔවුන් අත ටී. පනස්‌හය වර්ගයේ ගිනි අවියක්‌ද තිබිණි.
 
චානා, මිලාන් සහ කරුණාදාස සමඟ තම නිවස ඉදිරිපිට සිටියහ. ඒ වන විට රාත්‍රී 7.30 පසුවී තිබිණි. මුහුණ සම්පූර්ණයෙන්ම වැසුණු ආරක්‌ෂිත හිස්‌වැසුම් පැළඳගෙන සිටි දෙදෙනෙක්‌ යතුරුපැදියකින් තමන් සිටින දෙසට එනු දුර තියාම ඔවුහු දුටහ. ඒත් ඒ ගැන සැලකිල්ලක්‌ නොදැක්‌වු චානා ඇතුළු පිරිස තමන්ගේ පාඩුවේ සිටියේය. යතුරුපැදිය ඔවුන් ආසන්නයට අධික වේගයෙන් පැමිණියේය. ගතවුණේa නිමේෂයකි. කිසිවකුටත් සිතා ගැනීමට නොහැකිව එක්‌වරම එම යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා චානා ඇතුළු පිරිස ඉලක්‌ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කළේය. වෙඩි කාගෙනම එම තිදෙනා පැන දිව්වේ ජීවිතය බේරා ගැනීම සඳහාය.
 
මරබියෙන් දිවයන චානා ඇතුළු තිදෙනාට එළව එළවා වෙඩි තැබූ එම තුවක්‌කුරුකරු නැවත යතුරුපැදියට නැගී අනෙකා සමඟ පැන ගියේය. මේ සියල්ල සිදුවීමට ගතවූයේ විනාඩි කිහිපයක්‌ පමණි. බරපතළ ලෙස තුවාල ලැබූ චානා ඇතුළු තිදෙනා හැකි ඉක්‌මනින් රෝහල්ගත කළහ. ඒ වන විටත් මිලාන් මධුරංග මියගොස්‌ තිබිණි. අනෙක්‌ දෙදෙනා බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. එයිනුත් චානා නොහොත් සමන්ත ප්‍රදීප්ගේ තත්ත්වය ඉතා බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තවමත් නිදැල්ලේ සිටින අතර ඔවුන් පිළිබඳ සියලු තොරතුරු පොලිසියට ලැබී ඇති බවත් හැකි ඉක්‌මනින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවත් ඉහළ පොලිස්‌ නිලධාරියකු පැවසීය. කොටහේන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
 
ගයාන් සමරසිංහ, -මුලාශ්‍රය- දිවයින
....


අදහස්

2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0