ඔබේ හුස්ම පොද අහිමි කරවන නිහඬ මාරයා

Click to
follow

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කර ඇති ආකාරය අනුව සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ කායික, මානසික හා සාමාජීය යහපැවැත්මයි. මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි නොයෙකුත් සාධක බලපවත්වන අතර, පුද්ගලයෙකුගේ සමාජ සහ ආර්ථික පසුබිම, ජානමය පසුබිම, චර්යා රටා, රැකියාව සහ විශේෂයෙන්ම ජීවත්වන භෞතික පරිසරය ඔහුගේ සෞඛ්‍ය කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකරනු ලබයි. 
මේ අතරින් පරිසර සාධක සුවිශේෂී ස්ථානයක් ගන්නා අතර, මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපවත්වන පරිසර සාධක අතරින් වඩාත් සංවේදී සහ වැඩි අවධානයක් යොමු නොවන වායු දූෂණයේ අහිතකර විපාකයන් පිළිබඳ මෙම විග්‍රහය ගෙන එන්නේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය විසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝකයේ සිදුවන මිනිස් මරණවලින් 23%ක ප්‍රමාණයක් සිදුවන්නේ පාරිසරික සාධක හේතුවෙන්. එම ප්‍රමාණය මහද්වීප වශයෙන් ගත්විට පාරිසරික සාධක නිසා වැඩිම මරණ ප්‍රමාණයක් එනම් මිලියන 3.8ක මරණ වාර්තා වන්නේ දකුණු ආසියානු කලාපයෙන්. මේ පාරිසරික සාධක පිළිබඳව අපි සලකා බැලුවොත් කාලගුණික හා දේශගුණික විපර්යාස එක් ප්‍රධාන හේතුවක් වෙනවා. 
ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීම මානව සෞඛ්‍ය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන සාධකයක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සීඝ්‍ර නාගරීකරණයකට ලක්වෙමින් පවතින ශ්‍රී ලංකාවට මෙම ගැටලුව ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල කළ හැකියි. ඒ වගේම කෘෂිකර්මයේ ඇතැම් අවස්ථා, රැකියාවේ ස්වභාවය, විකිරණ, රසායනික ද්‍රව්‍ය, ශබ්දය, ජලය සහ වාතය ආදී සාධක ශ්‍රී ලංකාව වැනි රටක ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනවා.

මේ අතරින් අපගේ විශේෂ අවධානයක් යොමුකළ යුතු සාධකය තමයි වාතය කියන්නේ. වාතය කියන සාධකය ගත්තොත් මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මේ වැදගත්ම සාධකය එයයි. වාතය පරිසරයට සහ මිනිසාට අහිතකර වන තත්ත්වයකට පත්වීම සරලව වායු දූෂණය ලෙස අර්ථ දක්වන්න හැකියාව තිබෙනවා. අද වන විට චීනයේ බීජිං ඇතුළු ප්‍රධාන නගර වගේම ඉන්දියාවේ නවදිල්ලිය සහ මුම්බාය යන නගර වායු දූෂණය නිසා මාරාන්තික විපාක විඳිමින් සිටිනවා. මේ පිළිබඳ දැනුවත් වෙමින් නිසි පියවර නොගත්තොත් ශ්‍රී ලංකාවටත් ඒ තත්ත්වය නුදුරේදීම උදාවේවි.

කර්මාන්ත ශාලාවලින් නිකුත්වන දුම්, ලැව්ගිනි, ෆොසිල ඉන්ධන දහනය, පොලිතින් සහ ප්ලාස්ටික් පිලිස්සීම, රසායනික ද්‍රව්‍ය වාතයට නිරාවරණය වීම, අපද්‍රව්‍ය ගොඩ ගැසීම, පුස් සහ දිලීර ආදිය පිටත වායු දූෂණය සිදුවීමට හේතුවන කාරණා කිහිපයක්. ලෝකය පුරාම ගත්තොත් වැඩි මරණ ප්‍රමාණයක් සිදුවන්නේ ගෘහස්ථ වායු දූෂණය නිසාවෙන්. මේ ගෘහස්ථ වායු දූෂණයේ අවදානම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට දැඩිව පවතිනවා. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම්වල වායු සංසරණය සඳහා ලබාදෙන අවධානය ඉතාමත් අවමයි. ඒ වගේම තවමත් දර ඉන්ධන ලෙස යොදා ගන්නා නිවාස තිබෙනවා. ඒ වගේම දහනය සඳහා පොලිතින් යොදාගන්න නිවාස තිබෙනවා. මේ අවස්ථා දෙකම අතිශයින්ම මාරාන්තික ප්‍රතිවිපාක ඇති කරන අවස්ථා දෙකක් බව සිහි තබාගත යුතුයි. ලෝකය පුරා බිලියන 3ක ජනතාවක් තවමත් ඉන්ධනයක් ලෙස භාවිතා කරන්නේ දරයි. දර පිලිස්සීමෙන් ඇති වන දුම දුම්වැටි 300ක් දැල්වීමෙන් ඇතිවන දුමට සමාන අහිතකර තත්ත්වයක් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෑතකදී නිකුත් කළ දත්ත වාර්තා අනුව ලෝක ජනගහණයෙන් 91%ක ප්‍රමාණයක් තවමත් ආශ්වාස කරන්නේ නුසුදුසු වාතයයි. මේ ඔස්සේ කෙටිකාලීන සහ දීර්ඝකාලීන ලෙස සෞඛ්‍ය ගැටලු මතුවෙනවා. පිටත වායු දූෂණය නිසා වාර්ෂිකව මරණ මිලියන 4.2ක් වාර්තා වනවා. ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව මිලියන 3.8ක මරණ ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ අතර දරුවන්, ගැබිනි මවුවරුන්, තරුණ පිරිස් වැඩි වශයෙන් සිටිනවා. ඔබ අද නිවස පිහිටි වත්තේ අපද්‍රව්‍ය පිලිස්සීමෙන් සිදුවන වායු දූෂණයේ බලපෑම ඔබට පමණක් සීමාවෙන්නේ නැහැ. එය සමස්ත ලෝකයටම බලපවත්වන බලපෑමක් බව සිහිතබාගත යුතුයි.

වායු දූෂණයෙන් ඇතිවන මාරාන්තික තත්ත්වයන් පෙනහළු ආබාධවලට පමණක් සීමා වෙන්නේ නැහැ. අඩු උෂ්ණත්ව යටතේදී විවෘත පරිසරයේදී සිදුකරන පොලිතින් දහනයේදී හා ගෘහාශ්‍රිතව සිදුකරන පොලිතින් දහනයේදී මාරාන්තික රෝග නිවැසියන්ට ඇති වෙනවා. මෙහිදී නිකුත්වන ඩයොක්‌සීන්, ෆියුරාන් වායු හා කාබන් ඩයොක්‌සයිඩ්, කාබන් මොනොක්‌සයිඩ් වායු හා අංශු මගින් රෝග ගණනාවක් ඇති වෙනවා. 
වායු දූෂණය නිසා වාර්තා වන මරණවලින් 29෴ක් පෙනහලු පිළිකා තත්ත්වයන්. මරණවලින් 24%ක් ආඝාත තත්ත්වයන් නිසා වෙනවා. අදටත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමයි ආඝාතය ඇති වීමට වායු දූෂණය බලපාන්නේ යැයි කියන කාරණය. හෘදයාබාධ නිසා 25෴ක් මරණ සිදුවෙලා තිබෙනවා. 

ඒ වගේම නවතම පර්යේෂණ අනුව මානසික රෝග, ගබ්සා වීම්, මළදරු උපත්, අඩුබර උපත්, ඕටිසම්, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග, ලේ කැටිගැසීම, ස්නායු පද්දතියේ ආබාධ සහ මදසරු භාවය ඇතිවීමටත් මේ වායු දූෂණය හේතු බීජයක් වන බව සොයාගෙන තිබෙනවා.  මේ තත්ත්වයන් කිසිදු ආකාරයකින් සුළුකොට තැකිය හැකි තත්ත්වයන් නොවේ. මේවා දීර්ඝකාලීනව දුක්විඳීමට සිදුවන ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන රෝග තත්ත්ව බව මතක තබාගත යුතුයි. මේ රෝග සඳහා වන ප්‍රතිකාර සඳහා රජය පවා අතිවිශාල මුදලක් වාර්ෂිකව වැය කරනවා.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනවා. වයෝවෘද්ධ පිරිස්වලට මේ වායු දූෂණයයෙන් සිදුවන බලපෑම වැඩි නිසා ඔවුන් රෝගී වීමේ ප්‍රවණතාව වැඩියි. ඒ වගේම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට සහ තරුණ පිරිස්වලට මේ ඔස්සේ රෝගී තත්ත්ව සුලබව සංසරණය වීම හරහා සෞඛ්‍යමය වගේම ආර්ථික හා සාමාජීය වශයෙන් විශාල අර්බුද ගණනාවකට ලක්වීමට ශ්‍රී ලංකාවට සිදුවේවි. 

වායු දූෂණය ඔස්සේ මතුවන රෝගී තත්ත්ව සඳහා මහමග රාජකාරි සිදුකරන පොලිස් නිලධාරී මහත්වරුන්, ආරක්ෂක අංශ, ඉදිකිරීම් කටයුතු, පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන සේවක මහත්ම මහත්මීන්ට සහ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක පිරිස් වෙත දැඩි අවදානමක් පවතිනවා. මේ විදිහට රටේ ශ්‍රම බළකායේ ප්‍රධාන පිරිස් රෝගී වීම හේතුවෙන් ඇතිවන දිගුකාලීන සමාජ ආර්ථික ගැටලු අධිකයි. මේ නිසා දැන් දැන් හෝ මේ භයානක තත්ත්වය පිළිබඳ අවබෝධ කරගනිමින් ගෘහස්ථ මට්ටමින් තනි තනිව හෝ මේ තත්ත්වය අවම කිරීමට දායකවීම ශ්‍රී ලාංකික පුරවැසි අප සැමගේම වගකීමක් වෙනවා.

ada.lk

....


අදහස්

1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0