ශ්‍රී ලංකා ජන රංජන ගෞරව සම්මානයෙන් පිදුම් ලබන සජිත්

Click to
follow

බෞද්ධ ග්‍රන්ථ අතර මුදුන් මල්කඩ වූ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ත්‍රිපිටකාභිවන්දනා මහෝත්සවයේ පැවැත්වූ කතාව මහා සංඝයාවහන්සේලාගේ ප්‍රසංශාවට බඳුන් වූහ. ප්‍රේමදාස මහතා එහිදී පවසා සිටියේ අපේ පෙර සිටි රජ දරුවන් දැහැමින් රට පාලනය කිරීමට උපයෝගී කරගත්තේ ත්‍රිපිටක ධර්මය බවය. ඊස් ඩේවිඩ් පඬිතුමා ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යයේ තේම්ස් නදිය අසබඩ සිටින පිරිසක් මේ ධර්මයට අනුව ජීවත් වුවහොත් සතුටින් ජීවත්ව සිටින බව පැවසූ ඇමැතිවරයා හිටපු අමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් මානසික ආතතිය දුරු කරන්නේ බුදු දහමට අනුව භාවනා කිරීමෙන් බව ද සඳහන් කර ඇත. ජනාධිපතිතුමා ඉතා නිර්මල ලෙස ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ද ප්‍රේමදාස ඇමැතිවරයා පවසා තිබුණි.

ප්‍රේමදාස ඇමැතිවරයා 2015 වසරේ නිවාස හා ඉදිකිරීම් ඇමැති වූ පසු 'සැමට සෙවණ' යළි පිබිදෙන උදාගම්මාන 182ක් මේ වන විට ඉදි කොට ජනතා අයිතියට පත් කර ඇත. දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ 94 වන ජන්ම දිනයට සමගාමීව 'සසුනට අරුණ - වැවයි දාගැබයි - ගමයි පන්සලයි' වැඩසටහන යටතේ මෙරට චෛත්‍ය නොමැති විහාරස්ථානවල චෛත්‍ය ඉදිකර සසුනට පූජා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහි සිදුවූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇමැතිවරයා දානපති පරිත්‍යාගශීලීන්ගේ ආධාරවලින් ක්‍රියාත්මක වෙයි.

මෑත සිට සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ගස්යට දහම් අධ්‍යාපනය හදාරණ දරුවන් වෙනුවෙන් සම්පත් ඌන බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාමීය විහාරස්ථානවල 'සිසු දහම් සෙවණ' වැඩසටහන යටතේ දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවය. මේ වන විට ආගමික සිද්ධස්ථාන 259ක දහම් පාසල් ශාලා ඉදිකිරීම සඳහා මුල්ගල තබා වැඩ ආරම්භ කර ඇත.

සජිත් ‍ප්‍රේමදාස ඇමැතිවරයා කරන ලද ශාසනික මෙහෙය මතක් කරන විට මගේ මතකය ඇදී ගියේ මීට වසර 33කට පමණ පෙර (1986) එවකට අගමැතිව සිටි ප්‍රේමදාස මහතාගේ කුඩා කාලයේ චරිතය හැඩ ගැස්වීමට උපකාරී වූ බලපෑම් ජාතිය ගොඩනැගීමේ ව්‍යවසායක ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකිය. එයට පසුබිමක් ද ඇත.

ප්‍රේමදාස මහතාගේ මවුපියෝ වූ කලී විශේෂයෙන්ම අනගාරික ධර්මපාලතුමා විසින් එකල ජනප්‍රියත්වයට පත් කොට තිබූ 'සරසවි සඳරැස' සිංහල බෞද්ධයා වැනි සිංහල පුවත්පත් මගින් ඉතා ව්‍යක්ත ලෙස කරන ලද ආයාචනයට සවන් දුන් ගම්බද ජන පරම්පරාව නියෝජනය කළෝ වෙති. මේ ආයාචන අඩංගු වූ ප්‍රධාන උපදෙස නම් නාගරික ප්‍රදේශවල ආර්ථික ප්‍රගතිය සඳහා වැඩෙමින් තිබුණු අවස්ථා අල්ලා ගැනීමට සිංහල බෞද්ධයන් ඉදිරිපත් විය යුතු බවය.

අප අසා ඇති ආකාරයට ප්‍රේමදාස තරුණයාගේ නිවස සමකාලීන ලේඛකයන් හා මාර්ගෝපදේශ චිත්තකයන් විසින් පළ කරන ලද දේශප්‍රේමී සිතුවිලිවලට සපුරා විවෘත තැනක් විය. 1986 වසරේ එවකට අගමැති සිටියදී 'ශ්‍රී ලංකාභිමානය' සම්මානය ප්‍රදානය නිමිත්තෙන් ලියූ 'රණසිංහ ප්‍රේමදාස කාර්යශූර දූරදර්ශී අගමැති' කෘතියේ මේ තොරතුරු සඳහන් වෙයි. 1986 පෙබරවාරි 04 වැනිදා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිරිනමන ලද සම්මාන අතුරින් උසස්ම සම්මානය වන 'ශ්‍රී ලංකාභිමානය' පදවිය ප්‍රේමදාස අගමැතිට පිරිනැමුණි.

ලංකාවේ බෞද්ධ ඉරු දින පාසල් ක්‍රමයක් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා 1920 ගණන්වල ඇරැඹුණු අතර 1928 වන විට ප්‍රේමදාස ශිෂ්‍යයා මුලින්ම දහම් පාසල් ජීවිතය අරඹා ඇත්තේ වේල්ලවීදියේ හේවාවිතාරණ දහම් පාසලෙනි. ඉන්පසු බම්බලපිටියේ පැලෑනේ වජිරඥාණ මහනායකහිමියන් හා නාරද හිමියන්ගේ අනුශාසනා මැද දහම් අධ්‍යාපනය ලබා පසුකලෙක කොළඹ වේල්ලවීදියේ සුචරිත දහම් පාසල ප්‍රේමදාස තරුණයා ඇරැඹුවේ බදුරලියේ ජිනාරාම හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙනි.

වජිරාරාම දහම් පාසලේ රණසිංහ ප්‍රේමදාස දරුවා පැලෑනේ වජිරඥාන නායක හාමුදුරුවන් මුණ ගැසුණු අවස්ථාවක් සාහිත්‍ය කීර්ති විමල් අභයසුන්දර විසින් ලියූ 'ප්‍රබුද්ධ ශක්ති' 'ආර්. ප්‍රේමදාස චරිතාප්‍රදානයේ' මෙසේ විස්තර වෙයි. එය විස්තර කරන්නේ ‍ප්‍රේමදාස මහතාම විසිනි.

වජිරාරාමයේ පැලෑනේ නායක හාමුදුරුවන් ඉදිරියේ බිම එළූ කළාල උඩ සන්සුන්ව හිඳ ගෙන උන්වහන්සේගේ පැහැබර පින්බර මුහුණ දෙස බලාගෙන, උන්වහන්සේ හෙමි හෙමිහිට සිනා මුසු ගාම්භීර මුහුණින් කියන පොඩි කතා අසන්නට මම ආශා කළෙමි. මගේ සිත භක්ති ආදරයෙන් උතුරා යයි. සමාධි සුව සිසිලෙන් පිරී යයි.

වජිරාරාමයෙන් පිටවී එන හැම දිනකදීම මම මගේ ජීවිතයට අලුත් දෘෂ්ඨිමය එකතුවක් එක් කළෙමි.

වරක් නායක හාමුදුරුවන් මා සමඟ කතා කළේ කොතරම් සමීප හදවතකින්ද?

'ප්‍රේමදාස ළමයාගෙ ඉරිද ඉස්කෝලෙ උත්සවයකුත් තිබුණලු නේද?'

'එහෙමයි හාමුදුරුවනේ ළමයින්ට තෑගිත් දුන්නා.'

'ඉතින් ප්‍රේමදාස ළමයටත් තෑගි ලැබුණද?'

'එහෙමයි, හාමුදුරුවනේ.

හොඳයි කවුද ඇවිල්ල හිටියෙ හෙම?'

'ජයතිලක මහත්තයා, මොළමුරේ ආර්යාව, තවත් ලොකු ලොක්කෝ තුන් හතර ‍දෙනෙක්ම හිටියා.'

'කවුද ඉතින් තෑගි බෙදා දුන්නේ.'

'මොළමුරේ ආර්යාව.'

'ජයතිලක මහත්තයා මේ ළමය එක්ක කතා කළේ එහෙම නැද්ද?'

'කතා කළා, මගෙන් ඇහුව තෑග්ගක් හම්බවෙච්ච එකට සතුටුද කියලා, මම කිව්වා ඔව් කියලා. ඒ ගමන් මගෙන් ඇහුව තෑග්ගක් නොලැබුණා නම් කියල.'

ඔව්. ළමයා දුන්න උත්තරය...

'මම කිව්වා, මට එහෙනම් මෙතෙනට එන්න ලැබෙන්නේ නෑ කියලා.'

නායක හාමුදුරුවන්ට හිනා ගියේය. උන්වහන්සේ මා දෙස ආදරයෙන් බැලූහ.

'හොඳ උත්තරය ! හොඳ උත්තරය !! මට පෙනෙන්නේ මේ ළමය කවද හරි ‍හොඳ කටකාරයෙක් වෙන හැඩයි. බොහොම හොඳයි.'

'ජයතිලක මහත්තයත් ඕකම කිව්වා නායක හාමුදුරුවනේ.'

එදා පියාට දහම් දැනුම දුන් වජිරාරාමය සජිත් පුතාටද දහම් දැනුම ලබාගැනීමට තෝතැන්නක් විය.

තම පියාගේ අඩි පා‍රේ යමින් සජිත් ප්‍රේමදාස මහතා බෞද්ධ කටයුතුවලට පුළුල් ලෙස දායකත්වය දෙන්නේ සිය පියාගේ මාර්ගෝපදේශය ආභාෂය උරුම කරගෙනය. 1954 - 1956 වසරවල හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා සමඟ සමීප සබඳතාවෙන් මහියංගණ චෛත්‍ය හා යුදගනාව චෛත්‍ය පිළිසකර කිරීමට උරදුන් ප්‍රේමදාස කොළඹ නාගරික මන්ත්‍රීවරයා 2500 බුද්ධ ජයන්ති උත්සව කටයුතු සංවිධාන කිරීම සඳහා රජය විසින් පත් කරන ලද ලංකා බෞද්ධ මණ්ඩලයේ ආගමික කටයුතු කමිටුවේ ලේකම් ලෙස ද ක්‍රියාශීලී සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත. මා මෙහි සඳහන් කළේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ තරුණ වියේ ආගමික ක්‍රියා ගැන පමණි.

තම පියාගේ ආභාෂය ලැබ සජිත් ප්‍රේමදාස මහතා වඩාත් පුළුල් ලෙස ශාසනික කටයුතුවල නිරත වූයේ එතුමාගේ නිවාස හා ඉදිකිරීම් කටයුතු ආමාත්‍යාංශයට අමතරව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධ වීමෙනි. ‍මේ කෙටි කාලය තුළ එතුමා කළ ශාසනික මෙහෙවර අප ජනමාධ්‍යවලින් දැක ඇත. ඒ සද්කාර්ය අගයා 'ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජන රංජන' යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස ක්ෂේත්‍රයට කළ සේවය ගැන ලියුවොත් එහි ඇති විශිෂ්ට සේවාවන්ගෙන් මේ පිටුව පිරෙනු ඇත. මේ වන විට උදාගම්මාන 182ක් ඉදිකර ජනතා අයිතියට පත් කළ අමාත්‍යවරයා යටතේ මේ වන විට දිවයින පුරා උදාගම්මාන 1926ක් ඉදිවෙමින් පවතී. ප්‍රේමදාස ජනාධිපතිතුමා 1984 ආදර්ශ ගම්මාන මගින් ග්‍රාමීය ජනතාවට නිවාස සැපයීම ඇරැඹූ අතර 1984 ආදර්ශ ගම්මාන මගින් ග්‍රාමීය ජනතාවට නිවාස සැපයීම ඇරැඹූ අතර 1984 දීම 300 වන ආදර්ශ ගම්මානය ගොඩනැඟීමේ ප්‍රීති උත්සවයක් පවත්වා ඇත.මේ අනුව රණසිංහ ප්‍රේමදාස මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ද විශ්වකර්මයෙකි. මේ මස 31 වැනිදා මල්වතු මහ නාහිමියන් ප්‍රමුඛ සංඝ සභාවෙන් 'ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන' යන ගෞරව නාමයෙන් පිදුම් ලබන ඔබට සුබ පැතුම්!.

ඒ.ඩී. රංජිත් කුමාර

....


අදහස්

2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0