හොංකොං නොසන්සුන්!

Click to
follow

හොංකොං දේශය, චීනය සමඟ සම්බන්ධතා ඇති ට්විටර් හා ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. එම ගිණුම්, විරෝධතාකරුවන්ට එරෙහිව මෙහෙය වෙන බව ඔවුන්ගේ අදහස ය. රජයේ පාලනය යටතේ ඇති මාධ්‍යවලින් දැන්වීම් ලබා ගැනීම ද ඔවුන් නතර කර ඇත. ඉකුත් බදාදා ද යුඑන් ලොංග් දුම්රිය ස්ථානයේදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ඇති විය. එහිදී 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බව ද වාර්තා විය.

ආණ්ඩුව සම්මත කළ නව උදර්පන නීතියට එරෙහිව මීට මාස පහකට පමණ එපිටදී හොංකොංහි ඇරැඹි විරෝධතා, වීදියට පිවිසෙන්නේ ජුනි මාසයේදීය. එතැන් සිට ගුවන් තොටුපොළ, අධිවේගී දුම්රිය ස්ථාන පවා වසා දමමින් ඉදිරියට ඇදෙමින් තිබේ. එවැනි ස්ථානවලදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් ද ඇතිවිය. පොලිස් ස්ථානවලට ද පහර දී තිබේ.

නව උදර්පන නීතිය යටතේ කිසියම් අපරාධකරුවෙක් හෝ සැකකරුවෙක් චීනයට හා තායිවානයට බාර දීමට ඉඩ ලැබීම මේ විරෝධතා ක්‍රියාමාර්ගවල නිමිත්තය. ඉන් දේශයේ ස්වෛරීත්වය මෙන්ම පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය වන බව විරෝධතාකරුවෝ පවසති. ලක්ෂ සංඛ්‍යාත පිරිස් එම විරෝධතාවලට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඔවුහු ජූලි 1 වැනිදා වාර්ෂික ජූලි පාගමනේ යෙදුණහ. එහිදී ව්‍යවස්ථාදායක මණ්ඩල සංකීර්ණයට ද කඩාවැදුණු අතර මධ්‍යම ආණ්ඩුවේ සංකේතවලට හානි කිරීම ද සිදුවිය. බ්‍රිතාන්‍යට යටත්ව පැවැති අවදියේ භාවිත වූ ධජය ප්‍රදර්ශනය වනුද දැකිය හැකි විය.

හොංකොංහි ප්‍රධාන විධායිකා කැරී ලැම් නව උදර්පන පනත අත්හිටවූ බව ජුනි 15 වැනිදා කියා සිටියා ය. එය මියගොස් ඇතැයි ජූලි 9 වැනිදා ඇය පවසා තිබිණි. එසේ වුවද විරෝධතාකරුවන් හඬනඟන්නේ පනත පූර්ණ වශයෙන් හකුළාගෙන නැතැයි කියමිනි. සාමකාමීව ඇරැඹි බව පෙනෙන්නට තිබූ විරෝධතා ක්‍රමයෙන් ප්‍රචණ්ඩ අතට හැරී ඇති අයුරු දිස්වේ. එය තුන්කොන් සටනක් බවට පත්ව ඇත්තේ හොංකොං වාසීන් ආණ්ඩුවට එරෙහිව හා චීනයට පටහැණි ලෙස දෙකට බෙදී ඔවුනොවුන් ගැටුම්වල පැටලී සිටින අතර, ආණ්ඩුවට එරෙහි විරෝධතාකරුවන් හා පොලිසියද ගැටෙමින් ඇති නිසා ය.

උදර්පන පනත

චීනයට පක්ෂපාතී පිරිස් පොලිසියට පක්ෂපාතීව හඬ නඟමින් සිටී. ආණ්ඩු විරෝධීන් ගුවන් තොටුපොළ, දුම්රිය පොළ වැනි ස්ථානවලදී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් චීන සංචාරකයන්ට මෙන්ම ජනමාධ්‍යවේදීන්ට ද පහර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රධාන විධායිකා කැරී ලැම් සාකච්ඡාමය විසැඳුමකට අවතීර්ණ වන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටී. නමුත්, ඔවුහු ඊට එකඟතාව පළ නොකරති.

හොංකොං ආණ්ඩුව ඉදිරිපත් කළ උදර්පන පනත මඟින් එවැනි ගිවිසුමක් එතෙක් අත්සන් කර නොතිබූ තායිවානයට මෙන්ම ඔවුන්ගේ මව් රට වන චීනයටද අවශ්‍ය අපරාධකරුවන්, සැකකරුවන් බාර දීමට හැකියාව ලැබේ. එමෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන් අතර නීති සහාය ලබා ගැනීමද මීට අදාළය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති හොංකොං 1997 දී චීනයට බාර දීමෙන් පසු එය පාලනය වූයේ ‘එක රටක් ක්‍රම දෙකක්’ (One Country two systems) සංකල්පයට අනුවය. ඒ අනුව හොංකොං යනු වෙනමම ස්වෛරී රාජ්‍යක් නොවේ. වෙනමම පාලනයක් ගෙනගියද හොංකොං සිය භූමියක් ලෙස චීනය සලකයි. එබැවින්, මෙම විරෝධතා හිංසාකාරී අතට හැරෙද්දී ඉන් ත්‍රස්තවාදී හැසිරීම් පිළිබිඹු වන බව කියා සිටී. බෙයිජිං බලධාරින් අවශ්‍ය නම් සිය හමුදා බලය යෙදවීමට සූදානමින් සිටී. කෙසේ වුවද හොංකොං පොලීසිය කියන්නේ චීනයේ සහාය අවශ්‍ය නැති බවය.

මෙම විරෝධය තනිකරම ගොඩනැඟී ඇති බව පෙනෙන්නේ නව උදර්පන පනතට එරෙහිවය. එය මුළුමනින්ම හකුළා ගතයුතු බව මෙන්ම විරෝධතාවලදී තමන්ට පොලිස් පහරදීම් සිදුවීම ගැන ස්වාධීන කොමිෂමක් පත් කර පරීක්ෂණ කළ යුතු බවද විරෝධතාකරුවෝ කියා සිටිති. ප්‍රධාන විධායිකා කැරී ලැම් ඉල්ලා අස්විය යුතු බවද එම ධුරය සඳහා මෙන්ම නව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා ද මැතිවරණ පැවැත්විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීමකි. ප්‍රධාන විධායිකා කැරී ලැම් සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස කරන ඉල්ලීම “උගුලක්” බව විරෝධතාකරුවෝ පවසති. පොලිසිය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන පරීක්ෂණ සිදු කළ යුතුය යන ඉල්ලීමට ඇය එකඟ වන්නේ නැත. විදේශ විශේෂඥ සහාය ද ඇති ස්වාධීන පොලිස් පැමිණිලි කවුන්සිලයක් (IPCE) කරුණු ‍ෙසායා බැලීම සුදුසු බව ඇය පවසයි. එවැන්නකින් ඉදිරියේ මෙවැනි ගැටුම්කාරී තත්ත්ව වළක්වාගැනීම ගැන ආණ්ඩුවටද උපදෙස් දෙනු ඇතැයි ඇය කියා සිටී.

කෙසේ වුවද සිද්ධීන් පිළිබඳ ඍජු විමර්ශනයක් හෝ සාක්ෂි විමසීමක් එම කවුන්සිලය සිදු කරන්නේ නැත. විරෝධතාකරුවන් මේ ඉල්ලීමද පිළිනොගනී.

මේ වනවිට චීනය සමඟ සම්බන්ධතා ඇති ට්විටර් හා ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ. එම ගිණුම් විරෝධතාකරුවන්ට එරෙහිව මෙහෙය වෙන බව ඔවුන්ගේ අදහසය. රජයේ පාලනය යටතේ ඇති මාධ්‍යවලින් දැන්වීම් ලබාගැනීම ද ඔවුන් නතර කර ඇත.

ඉකුත් බදාදා ද යුඑන් ලොංග් දුම්රිය ස්ථානයේදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ඇති විය. එහිදී 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවද වාර්තා විණි. ඒ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රිවරයකු වන ලැබ් ඩියුක් ටිංග් ද සිටී. මේ සිදුවීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතිදැයි තවමත් අපැහැදිළි බව ඔහුගේ අදහසය.

හොංකොංහි පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් චීනය චෝදනා කරන්නේ විදේශ රටවලටය. ඒ අතර අමෙරිකාවද වේ. බෙයිජිංහි ප්‍රතිචාරය තියුණුය. ඇතැම් විට යම් හමුදාමය මැදිහත්වීමක් කිරීමට වුවද ඉඩ ඇති බවට චීනය අනතුරු අඟවා තිබේ. ෂෙන්සෙන් ප්‍රදේශයේදී යුද අභ්‍යාසයක් පවා සිදුවිය. එය දේශසීමාවේ පිහිටි නගරයකි. හොංකොංහි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලයේ චීන ජාතික සේවකයකු රඳවා ගැනීම පිළිබඳ සිදුවීම වාර්තාවූයේද ෂෙන්සෙන් ප්‍රදේශයෙනි. චීනය “එක රටක් ක්‍රම දෙකක්” පිළිවෙතේ පිහිටා කටයුතු කරනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරන බව රාජ්‍ය ලේකම් වයික් පොම්පෙයෝ කියා තිබේ. සිවිල් ඇඳුමින් සිටි චීන පොලිස් නිලධාරියකු විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට පත් වූ බවද වාර්තා විය. විරෝධතාකරුවන් කියා සිටින්නේ ඔහු එම තත්ත්වය නිරීක්ෂණය කිරීමට යොදවා තිබූ පොලිස් නිලධාරියකු බවය. වාර්තාකරුවකු ලෙස පෙනී සිටි තවත් අයකුද එලෙසම ග්‍රහණයට ගත් බව වාර්තා විණි. ඔහුට යම් හිරිහැර කිරීම් පවා සිදුව තිබේ. චීන ටැබ්ලොයිඩ් පුවත්පතක් වන ‘ග්ලෝබල් ටයිම්ස්’ හි ප්‍රධාන කර්තෘ හූ ෂිජින් ලෙස අදාළ පුද්ගලයා හඳුන්වා ඇති අතර තම පුවත්පතේ වාර්තාකරුවකු බව තහවුරු කර තිබිණි.

යම් මිලිටරිමය මැදිහත්වීමක් සිදුවුවහොත් එය චීනයට මෙන්ම හොංකොං වලටද විනාශකාරී විය හැකි බවය. හොංකොංහි අවසන් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ ක්‍රිස් පැටන්ගේ අදහස විරෝධතාකරුවන් සිය ක්‍රියාමාර්ග නතර නොක‍ළහොත් චීනය මිලිටරිමය නොවන ක්‍රියාමාර්ගවලට යොමුවීම වඩා උචිත බව ඔහු කියා සිටී. එය ජනතාව එක්කරන වැඩපිළිවෙළක් වනු ඇතැයි ද ඔහු අපේක්ෂා කරයි. අර්බුදය සාමකාමීව විසඳාගැනීම සිය අපේක්ෂාව බව පවසන පැටන් සාමිවරයා කිසිවකුට හෝ ජීවිත හානි නොවනු ඇත යන්න තම ප්‍රාර්ථනය බවද කියා තිබේ.

කෙසේ වුවද විරෝධතාකරුවන්ගේ ක්‍රියා කලාපය චීනය කෝප ගන්වන සුළු එකක් බව ද දැකිය හැකිය. මධ්‍යම ආණ්ඩුවේ මූලස්ථානය ඉලක්ක කළ අවස්ථාවේ එහි තිබූ චීන ජාතික ධජය පහත හෙළීමට පවා ඔවුන් ක්‍රියාකාර තිබිණි. හොංකොං හි උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප්‍රතිචාරය චීනය ප්‍රතික්ෂේප කරයි. එම විරෝධතා ත්‍රස්තවාදී හැසිරීම් පෙන්නුම් කරන බවට චීනය කර තිබූ ප්‍රකාශය ඇයගේ විවේචනයට ලක්ව තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය කියා සිටින්නේ ප්‍රචණ්ඩකාරී මෙන්ම අපරාධකාරී ලෙස හැසිරෙන අයට වැරැදි සංඥා නොයැවිය යුතු බවය.

ආර්ථිකයේ පසුබෑම

හොංකොං විරෝධතාකරුවන් පොදු පහසුකම්වලට හානිකරන බවද, ගුවන් තොටුපොළ හා පොදු ප්‍රවාහන සේවා අවහිර කර ඇති බවද විනාශකාරී අවි ආයුධ භාවිත කරන බවද චීනය පෙන්වා දේ. එවැනි හැසිරීම් ත්‍රස්තවාදී ක්‍රියා බව චීනයේ අදහස ය. ඊට එරෙහිව නීතියේ පාලනය සහතික කිරීම සඳහා තම සහාය හොංකොං හි ප්‍රධාන විධායිකා කැරී ලැම්ට ලබා දෙන බවට චීනය සහතික වේ. විරෝධතාකරුවන් විසින් ප්‍රධාන විධායිකා ලැම් ඉල්ලා අස්විය යුතු බවට හඬනැඟීම ගැන ඇය කියා සිටින්නේ, තමා එම ඉල්ලීම බැහැර කරන බවය. හොංකොං හි ආර්ථිකය යළි ගොඩනැඟීමේ වගකීම තමන් වෙත පැවරී ඇති බව ඇය කියා සිටී. මතුව ඇති තත්ත්වය ආර්ථිකයටද පසුබෑමක් ඇති කර තිබේ. එමෙන්ම එය දේශපාලන අස්ථාවරයන්ද නිර්මාණය කරමින් ඇත.

ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ මෙම දේශපාලන අස්ථාවරත්වය මඟින් අරුත් ගැන්වෙන්නේ වසර 2020 යනු ‘එක රටක්, ක්‍රම දෙකක්’ සංකල්පයේ අවසානය සනිටුහන් කරන වසර වනු ඇති බවය. ඇතැම් නිරීක්ෂණයන්ට අනුව හොංකොං වැසියන් කැනඩාව වැනි රටවලට සංක්‍රමණය වීමට පටන් ගෙන ඇත. දැනට, එවැනි දහස් සංඛ්‍යාත පිරිසක් එලෙස ගොස් ඇති බවට වාර්තා පළ වේ.

හොංකොංහි මෙවැනි උණුසුම් අරගලකාරී තත්ත්වයක් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ. එහි බ්‍රිතාන්‍ය පාලනය නිමාවීමට පෙර 1997 දී මෙවැනි තත්ත්වයන් ඇතිවිය. එම විරෝධතා ද ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබිණි.

කාල් මාක්ස් ප්‍රකාශ කළේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන බවය. ඒ පළමුව ඛේදාන්තයක් ලෙස හා දෙවනුව ප්‍රහසනයක් ලෙසය.

....


අදහස්

2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0