නැව ගිලුණත් බෑන් චූන් කියලා අපි ජොලියෙන් රස්සාව කරනවා

Click to
follow

මාතර මහ රෝහල ඉදිරිපිට ත්‍රීවිල්

මාතර බෝසමිඳුන්ගේ සෙවණ ලබන මාතර නගරය ඓතිහාසික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන්ද ඉතා වැදගත් පෞරාණික වටිනාකම් රැසකට උරුමකම් කියන සුවිශේෂී නගරයකි.

නගරය මැදින් ගලාබසිනා නිල්වලා නදිය මෙන්ම ඉතා අලංකාර ලෙස නවීන තාක්ෂණය උපයෝගිකර ගනිමින් ඉදිකර ඇති මහානාම පාලම හා ප්‍රධාන බස්නැවතුම් පොළ ද මාතර නගරයට එක්කරනු ලබන්නේ අමුතුම චමත්කාරයකි. එපමණක්ද නොවේ. නගරය තුළ තිබෙන ඉපැරැණි හෝරාස්ථම්භය, තාරකා ‍කොටුව, කොටුපවුර, මාතර නගරයේ ශ්‍රී විභූතිය පෙන්නුම් කරනු ලබන නිදසුන් කිහිපයක් පමණි.

තවද මාතර නගරය කේන්ද්‍රකර ගනිමින් පිහිටා තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත්වන ආගමික ස්ථාන රැසක්ද, ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක්ද ජනප්‍රිය පාසල් රැසක් ද, පෞද්ගලික ව්‍යාපාර ස්ථාන රැසක්ද නිසා, දෛනිකව නගරය තුළ දක්නට ලැබෙනුයේ ජනාකීර්ණ ස්වභාවයක් හා දැඩි රථ වාහන තදබදයකි.

එමෙන්ම නිල්වලා ගඟ අසබඩ පිහිටා ඇති මාතර මහරෝහල, දකුණේ පිහිටි ප්‍රධානම රෝහල් කිහිපය අතුරින් එකකි. මෙම රෝහල නවීන පහසුකම් සහිතව, රෝගීන් විශාල පිරිසකට නේවාසික හා බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් තිබෙන මාතර දිස්ත්‍රික්කයට තිබෙන විශාලතම රෝහල ද වේ. මේ නිසා ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට ‍රෝගීන් මෙන්ම ජනතාව විශාල පිරිසක්ද දෛනිකව පැමිණෙති. මේ හේතුවෙන් සෑම දිනකම පාහේ විශාල වශයෙන් ජනතාවගෙන් පිරී පවතී.

මාතර නගරය තුළ මෙන්ම දුරබැහැර ප්‍රදේශවලට විධිමත් පොදු ප්‍රවාහන පහසුකම් පැවතුණ ද ජනතාව බොහෝසෙයින් තම ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදාගනු ලබන්නේ ත්‍රිරෝද රථයයි. එබැවින් නගරය තුළ ත්‍රිරෝද රථ නැවතුම් පොළ රාශියක්ම තිබේ. මේ අතුරින් මාතර මහරෝහල ඉදිරිපිට පවත්වාගෙන යනු ලබන ත්‍රිරෝද රථ නැවතුම් පොළ මගින් රෝහල වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන බවක් දකින්නට තිබේ.

“මාතර මහරෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථ සංගමය” වශයෙන් ලියාපදිංචි වී ඇති එම සංගමයේ ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් ධාවනය සඳහා එක්කර ඇත. මෙවර “මගතොට මිතුරෝ” කතාබහට එක්කර ගනු ලබන්නේ එම ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් කිහිපදෙනෙකි.

වී. හේමචන්ද්‍ර මහතා,

“මේ රස්සාව කරන්න පටන් අරන් වසර 30ක් විතර වෙනවා. නමුත් අද වනවිට රස්සාව කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ, එයට ප්‍රධාන හේතුව ‍තමයි දවසින් දවස ඉහළ යන ඉන්ධන මිල. අපි හයර් එකක් ගිහිල්ලා ගාණ කීවාම මුදල් ගෙවාගන්න බැරිව ළතැවෙනවා. සමහර උදවිය ගාණ වැඩිය කියලා හෙට්ටුකරනවා. ඒ විතරක් ‍නොවෙයි. අද අලුතින් පාර්ක් එකට එන අලුත් පරම්පරාව විනෝදයටත් එක්ක තමයි මේ රස්සාව කරගෙන යන්නෙ. හයර් එකේ නියම වටිනාකම ගන්නෙ නැතුව අඩු මුදලට දුවනවා. වෘත්තියක් වශයෙන් හයර් යන අපට මේක විශාල ගැටලුවක්. ඒ වගේම ත්‍රීවිල් අමතර කොටස් මිල අධිකයි. රජයෙන් යම් සහනයක් දෙනවානම් ඉතා හොඳයි.

රෝහිත මහතා

“මම ත්‍රීවිල් එක ගත්තෙ ලීසිං කරලා. නමුත් අද ලීසිං එක ගෙවා ගන්න විධියක්වත් නැහැ, කියන්න කනගාටුයි. සමහර දවසට හිස් අතින්ම ගෙදර යනවා. ලීසිං එක ගෙවාගන්න බැරිව මාස තුනහතර හිරවෙලා ඉන්නවා. හයර් අඩුයි. හයර් තිබුණත් නියම මුදල ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ටත් මේ දවස්වල ගොඩක් අමාරුයි. ත්‍රීවිල් රස්සාව හරිම දුක් විඳින්න ඕන රස්සාවක්. සමහර වෙලාවට දොස් අහන්නත් වෙනවා. කවුරුහරි එක්කෙනෙක් කරපු වැරැද්දකට සමස්ත ත්‍රීවිල් රියදුරන්ටම බණිනවා.

ගෙදරින් වතුර බෝතලයයි, දවල් කෑම එකයි ගෙනල්ලා තමයි යන්තම් හරි ඔළුව උස්සගෙන ඉන්නෙ. නැත්නම් රිම් එකෙන් තමයි යන්න වෙන්නෙ. හැබැයි නැව ගිලුණත් බෑන් චූන් කියලා අපි හරිම ජොලියෙන් මෙතැන රස්සාව කරගෙන යන්නෙ. ඒකත් අපට හරිම සතුටක්. අපව මෙතෙන්ට ආවාම තියෙන සියලුම ප්‍රශ්න අමතක වෙනවා. උදේ පාන්දරම පාර්ක් එකට යනවා රාත්‍රී 10.00 විතර වෙනකොට නැවත ගෙදර එනවා. අපේ දින චරියාව ඕක තමයි.”

හේමන්ත මහතා,

“මම උදේ පාන්දරම දික්වැල්ලට පොඩි හයර් එකක් ගිහිල්ලා හිටියේ. දිනමිණ පත්තරෙන් ආවා කියලා ආරංචිය ලැබුණ ගමන් ඉක්මනට ආවා. අද හරිම සතුටු දවසක්. පත්තරේට මූණ දාගන්න පුළුවන් නේ. ම‍ාතර මහ රෝහල ඉදිරිපිට හයර් දුවන අපි සියලු දෙනා ගාවම මනුස්සකම මහ ඉහළින්ම තියෙනවා. මෙතැනට එන බොහෝ දෙනා හරිම අසරණවෙලා එන්නෙ. රෝහලට ඇතුළත් කරපු රෝගියෙක් නැවත නිවසට එක්කර ගෙන යන්න ත්‍රීවිල් එකක් හොයාගෙන තමයි හැමෝම එන්නෙ. සමහර වෙලාවට ඒ අය ළඟ මුදල් නැති බව අපට කියනවා. ගෙදර ගියාම දෙන්නම් කියනවා. හැබැයි අපි ඒ අයට කියන්නේ මුදල් නොවෙයි යන්න ඕන තැන කියන්න කියලයි. අපි මුදල් මතම යැපෙන්නෙ නැති බව මා කියනවා. ”

යූ. ජී. සුනිල් මහතා,

“මම පාර්ක් එකට ඇවිල්ලා වසර 15ක් පමණ වෙනවා. ත්‍රීවිල් රියදුරන් වන අපට හොඳ පිළිගැනීමක් තිබෙනවානම් හරිම වටිනවා. සමහරු අපට කතා කරන විදිය ගැනනම් සතුටු වෙන්න බැහැ. අපිත් කරන්නෙ සමාජයට වැඩදායි රැකියාවක්. ත්‍රීවිල් සඳහා මීටර් අවශ්‍ය නැති බව මා කියනවා. ත්‍රීවිල් දුවන අපට විශ්‍රාම වැටුප් නැහැ. අර්ථසාධක නැහැ. දවසම චාටර් වෙනවා. හැබැයි අපි ධාර්මිකව සාධාරණ විදියට මුදල් හම්බකරලා තමයි, අපේ දරුවන්ට කන්න බොන්න දෙන්නෙ දරුවන්ට උගන්වන්නෙ. අපි අසාධාරණ විධියට ජනතාව තලාපෙලා මුදල් හම්බ කරන්නෙ නැහැ. නමුත් මත්පැන් බීලා එන අයගෙන් චණ්ඩින් යැයි හඳුන්වා ගන්නා අයගෙන් අපට කරදර තියෙනවා. මාතර මහරෝහල ඉදිරිපිට ත්‍රීවිල් හයර් කරන අපි සෑම වෙලාවකම අහිංසක ජනතාවගේ දුක හඳුනාගෙන පිහිටට ඉන්න පිරිසක්.”

ශාන්ත මහතා,

ත්‍රීවිල් හයර් දුවන එක ඒ තරම් ලෙහෙසි රස්සාවක් නෙ‍වෙයි. සමහරු කියනවා රස්සාව හරි ලෙහෙසියි කියලා. කරලම බලන්න ඕන. අපි කී දෙනෙක්ගෙන් බැණුම් අහනවාද? වාහනයක් ඉස්සර කරගෙන යන්න හැදුවත් අපට බණිනවා. අපි හැබැයි විනයගරුක විදියට තමයි මේ රස්සාව කරන්නෙ. නමුත් එක රියදුරෙක් වැරැද්දක් කළාම හැමෝටම බණිනවා. කොහොම වුණත් හරිම සැතුටින් මේ රස්සාව කරන්නෙ.

සල්ලිවලට වඩා මිනිස්සුන්ගේ හදවත හඳුනාගෙන තමයි අපි වැඩ කරන්නෙ. සමහරු අතේ සතයක්වත් නැතුව හයර් යන්න එනවා. පසුබිම හොයලා බැලුවාම හරිම අමිහිරි කතන්දරයක් එතැන තියෙන්නෙ. අපේ ගාව මනුස්කකම තියන නිසා ගෙදරටම ගිහින් බස්සවලා එනවා. මාතර මහරෝහල අසල ඉන්න අපි රෝහලේ රෝගීන්ටත්, රෝගීන් බලන්න එන අයටත් උපරිම ආරක්ෂාව ලබා දෙනවා. සමහර රෝගීන් රෝහල දැනුවත් නැතිව පැනලා යන්න හදනවා. අපි ඒ අය රෝහලේ ආරක්ෂක අංශවලට භාර දෙනාවා.”

 

සටහන සහ ඡායාරූප
තමරසිරි විජේසේකර
දෙයියන්දර සමූහ

....


අදහස්

11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0