ඇරිස්ටෝටල් සිටියා නම් රන්ජන්ව දකින හැටි..!

Click to
follow
කාරණා දෙකක් නිසා රන්ජන් ගැන මේ සටහන තබමි. ඔහු තම අධ්‍යාපන සුදුසුකම් වල ඇත්ත ප්‍රකාශ කරමින් නැවත විභාගයකට මුහුණ දීම මගින් පෙන්වූ ආත්ම ධෛර්ය සහ නිර්ව්‍යාජ භාවය විශ්මය දනවන සුළුය. රන්ජන් මේ වන විටත් රාජ්‍ය ඇමතිවරයෙකි. දේශපාලන ගමනේ ඔහු වැනි අයෙක් යා යුතු දුර මේ වන විටත් පැමිණ තිබේ. ඒ ඒසේ තිබියදී අවංකව තම තත්වය පිළිගෙන ප්‍රසිද්ධියේ තම දරුවන් වැනි පිරිවරක් සමඟ එකට වාඩි වී විභාගයකට මුහුණ දීමට තරම් ඔහු නිහතමානි ය, නිර්භිත ය, අවංක ය. එය ලංකාවේ දේශපාලන චරිතයක් තුල කලාතුරතින් දැකිය හැකි මහත්මාගුණයකි. අධ්‍යාපනයට වයස නැතැයි පෙන්වූ තවත් එක් අවස්ථාවකි. තමන්ගේ සාමාන්‍ය පෙළ සහතිකය ඉදිරිපත් කිරීමට මැළිවන ජනාධිපති අපේක්ෂකයින් සිටින අවස්ථාවක මෙම අවංක ගුණය වෙහෙසින්ම අගය කළ යුතුමය. හොඳ ප්‍රතිඵලයක් ලැබේවායැයි අපි ඔහුට සුභ පතමු.
පූජක භාවය නීතිය ඉදිරියේ මුක්තියක් නොවේ..
අනෙක් කාරණය රන්ජන් ගේ ඇමති ධුරය ඉවත් කිරීමට සහ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සූදානම් වන බවට පලවී ඇති මාධ්‍ය වාර්ථායි. ඒ මෑතකදී ඔහු විසින් සංඝ සමාජයේ ප්‍රචණ්ඩත්වය ගැන කල විවේචනයක් නිසාය. ආගමික සංස්ථා සහ පූජක කල්කිරියාව ප්‍රශ්න නොකළ යුතු පූජණිය වස්තූන් ලෙස දියුණු සාමාජය සලකන්නේ නැත. යම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම්, ළමා අපචාරයක් හෝ බලහත්කාරයක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ පන්සලක් තුලද, සෙමනේරියක් තුලද, කෝවිලක් පල්ලියක් තුලද යන්න අදාල නොවේ. එය නීතිය හමුවට ගෙන යා යුතු අතර වින්දිතයින්ගේ අයිතීන් තහවුරු විය යුතුය. පූජක භාවය නීතිය ඉදිරියේ මුක්තියක් නොවේ.
ඇරිස්ටෝටල්ගේ න්‍යාය අනුව රන්ජන්..
කෙසේවෙතත් රන්ජන්ගේ ප්‍රකාශය (ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන සංඝයන් සම්බන්ධයෙන්) තාර්කිකව විමසා බැලිය යුතුව තිබේ. ඇරිස්ටෝටල්ගේ න්‍යාය අනුව වචන සත්‍ය හෝ අසත්‍යය වන්නේ නැත. එය ප්‍රකාශයක් විය යුතුය. ප්‍රකාශයන් වචන මගින් නිර්මිත අතර ඒවා යම් අදහසක් ජනිත කරවිය යුතුය. එනම් ප්‍රස්තූතයන් විය යුතුයි. ප්‍රස්තුතයන් අවම වශයෙන් වචන තුනකින් සමන්විත විය යුතුය. සත්‍ය හෝ අසත්‍ය වන්නේ ප්‍රස්තුතයන්ය.
තම ප්‍රකාශය මගින් රන්ජන් සාමාන්‍යය සහ විශේෂය අතර ඇති තාර්කික සහසම්බන්ධය නොසලකා හැර තිබේ. මෙමගින් ඔහු සත්‍ය වීමට ඉඩක් නැති සාමාන්‍ය ප්‍රතිජානන (Universal Affirmation) ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ “සියළු ප්‍රචණ්ඩ සංඝයින් ළමා අපචාරවල වින්දිතයින් ‌වේ” යන ලෙසයි. කිසියම් එක් සාම්පලයක් ඉදිරිපත් කිරීම මගින් (එනම් ප්‍රචණ්ඩ එහෙත් ළමා අපචාරයකට ලක් නොවූ සංඝයෙක්) රන්ජන්ගේ ප්‍රකාශය අසත්‍ය කිරීමේ හැකියාවෙන් යුක්ති යුක්ත වේ. අනෙක් අතට “සියළු” යන අර්ථය සමස්ත භික්ෂූ පරපුර නියෝජනය වන බවට අර්තකථනය කර සමාජ විරෝධයක්ද රන්ජන්ට එරෙහිව නැගී ආවේය. යම් ප්‍රකාශයක් කරන විට එහි ඇති තාර්කික පදනම සලකා බැලිය යුතුය. තාර්කික ප්‍රකාශයන් ගැන අවබෝධයක් සහ සලකා බැලීමකින් යුතුව රන්ජන් සිය ප්‍රකාශය ප්‍රස්තුත ගත ක‌ෙළේ නම් එය විය යුතුව තිබුණේ “සමහර ප්‍රචණ්ඩ සංඝයින් ළමා අපචාරවල වින්දිතයින් ‌වේ ” යන ලෙසය. එය එසේ වී නම් එය අවශය සත්‍යයක් වන අතර අසත්‍ය කිරීමට ඔහුගේ විරුද්ධ වාදීන්ට හැකියාවක් ලැබෙන්නේ නැත. සමස්ත භික්ෂූ පරපුර ඉලක්ක ගත කළා යැයි චෝදනාවට පදනමක් වැටෙන්නේද නැත. මක්නිසාද යත් එය යම් විශේෂයක් ඉලක්ක කරගත් විශේෂ ප්‍රතිජානන (Particular Affirmation) ප්‍රකාශයක් වන බැවිනි.
සංඝයන්ගේ හාස්‍යය..
හාස්‍ය වන්නේ ඔහුට එරෙහි සංඝයන්ද පෙනී සිටියේ තාර්කික වශයෙන් සත්‍යකරණය කළ නොහැකි ප්‍රස්තුතයක් මත වීමය. එය නම් “කිසිම ප්‍රචණ්ඩ සංඝයෙක් ළමා අපචාරවල වින්දිතයෙක් නොවේ” යන සාමාන්‍ය ප්‍රතිජානන ප්‍රස්තුතයේය. මෙමගින් ළමා අපචාරයන්ට සංඝයන් නතු නොවන වගක් හැඟවුම්කරණය කිරීමට රන්ජන් විරෝධී සංඝයන් ප්‍රයත්න දැරූ අතර සමස්තයක් ලෙස භික්ෂූන් අපචාරවලට ලක් නොවන්නේය යන්නද හැඟවුම් ක‌ෙළේය.
මෙමගින් විවිධාකාරයේ ළමා අපචාරයට ලක්වූ කුඩා සංඝයන් දෙදෙනෙක් ඉදිරිපත් කරමින් රන්ජන්ට දෙවැනි සංදර්ශනයකට තාර්කික ඉඩක් විවිර විය. රන්ජන් විරෝධි සංඝයන් වඩාත් කුපිත වූයේ අපචාරයට ලක්වූ පොඩි හිමිවරුන් දෙදෙනෙක් මාධ්‍යය වෙත ඉදිරිපත් කිරීම සහ අපචාර කළවුන් නාමිකව ප්‍රකාශ වීමත් සමඟය. පළමුවන අවස්ථාවේදී සමාජයෙන් රන්ජන්ට නැගුන විරෝධය දෙවන අවස්ථාවේදී ප්‍රසාදයක් බවට පත්වූයේ රන්ජන් විරෝධී සංඝයන් පෙනී සිටි තාර්කික පදනම දෙදරා යෑම නිසාය.
රන්ජන් සම්බන්ධයෙන් එජාපයේ ආස්ථානය..
දැන් අප රන්ජන් සම්බන්ධයෙන් එජාපයේ ආස්ථානය සලකා බලමු. දැන ගැනීමට ඇති කරුණු අනුව ඉදිරි ජනාධිපතිවරණයද සැලකිල්ලට ගෙන සංඝයින්ගේ විරෝධය අවම කර ගැනීම උදෙසා රන්ජන්ට යම් ද‍‍‍‍ඬුවමක් දීමට මේ වන විට සූදානමක් තිබේ. එය බොහෝදුරට රාජ්‍ය ඇමතිධුරය අහෝසි කිරීමක් විය හැකිය.
ලෞකික රාජ්‍ය සම්බන්ධයෙන් අනෙක් දේශපාලන පක්ෂවලට වඩා එජාපය මෙතෙක් සිටි මතය ඉදිරිගාමීය. එය සංඝයින්ට නාමයෝජනා ලබානොදීමේ ප්‍රතිපත්තියක සිටී. පන්සල් යොදාගෙන දේශපාලන ප්‍රචාරකට කටයුතු වල යෙදෙන්නේද නැත. ව්‍යතිරේඛයක් හැර අන් විට සංඝයින්ට විශේෂ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේද නැත. සජිත්වැනි පසුගාමියෙක් පන්සල්වලට සල්ලි බෙදාගෙන පුද්ගලික දේශපාලන ව්‍යාපෘතියක යෙදීම වෙනම කාරණයකි.
වඩා වැදගත් විය යුත්තේ මහජන නියෝජිතයෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියයි. ඕනෑම ආගමික සංස්ථාවක සිදුවන අපචාර හෝ අයථා කාරණා ගැන අදහස් පල කිරීමට ඒ ගැන සොයා බැලීමට, වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටීමට මහජන නියෝජිතයෙකුට අයිතිය තිබිය යුතුය. එයට පක්ෂයක් විසින් සීමා පැනවීම පිළිගත නොහැකිය. කතෝලික පල්ලිවල සිදුවන අපචාර ගැන වතිකානුව කරුණු කාරණා හෙලිදරව් කළ බවත් අපචාර කළවුන්ට ද‍‍‍‍ඩුවම් ලබාදුන් බවත් සැලකිය යුතුය. නූතන ආගමික සංදර්භයන් හැසිරීම එයාකාරය.
සංඝ සමාජය උඩ ඉඳන් පහලටම පොහොට්ටුකරණය වී ඇත.. 
පිළිගත යුතු යථාර්තය වන්නේ ලංකාවේ සංඝ සමාජය උඩ ඉඳන් පහලටම පොහොට්ටුකරණය වී ඇති බවයි. ප්‍රධාන පෙලේ පන්සල් සහ සංඝ නායකයින් එළිපිට පොහොට්ටුවේ දේශපාලනය කරන අතර අවස්ථාවක් ලද වහාම එජාපයට පහර එල්ල කරන ප්‍රතිපත්තියක සිටී. පසුගිය දිනක බෙල්ලන්විල මහ සංඝ විසින් ජනාධිපතිවරයා ලඟ තබාගෙන ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය ලඟම උදාහරණයය. කණගාටුදායක කාරණය වන්නේ මේ තත්වය නිසි ලෙස වටහා ගැනීමකින් තොරව එජාපය පක්ෂයක් ලෙස පසුගාමී සංඝයින්ට අනුගත වීමට උත්සාහ කිරීමයි. පසුගාමී සංඝ සමාජයේ මනදොල සපුරාලීමට මහජන නියෝජිතයෙකුගේ ප්‍රකාශණ අයිතිය සීමා කිරීමට කරන උත්සාහය පිළිගත නොහැකිය.
රන්ජන්ගේ ප්‍රකාශය අලුත් මතයක් ‌නොවේ..
රන්ජන්ගේ ප්‍රකාශයේ තාර්කික දෝශයක් ඇතත් එය අලුත් මතයක් නොවේ. භික්ෂූන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම විෂයේදී විවිධ අවස්ථාවලදී විවිධ බුද්ධිමතුන් විසින් මීට සමාන මතයන් ඉදිරිපත් කර ඇත. වෛද්‍ය රුවන් ජයතුංගද “ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්වන භික්ෂූන් ලිංගික අපයෝජන වල වින්දිතයන්ද ?” යන මැයින් බ්ලොග් සටහනක් තබා තිබුනේ මෑතකදීය. සංඝ සමාජය ප්‍රචණ්ඩතවයට යොමු වීමේ හේතු සමස්තයක් ලෙස හොයා බලා ඊට පිළියම් යෙදවීම භික්ෂූ නායකවරුන් විසින් කළ යුතුව ඇත. දේශපාලන පක්ෂයක් විසින් විශේෂයෙන්ම රජයක් ලෙස කළ යුතු වන්නේ භික්ෂූ නායකයින්ට මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ පහසුකම් සැපයීමය. ඒ වෙනුවට එක් පුද්ගලයෙක් ඉලක්ක ගත කර දඬුවම් දීමට සැරසීම පිළිගත නොහැකිය. අනෙක් අතට මේ වන විට ඔහු තමාගේ ප්‍රකාශය ගැන කණගාටුව පල කර ඇත. තවදුරටත් පසුපසින් එලවා ගොස් දඬුවම් දීමට කාරණාවක්ද නැත.
එබැවින් බොහෝ කාරණාවලදී අප රන්ජන් විවේචනය කළ ද මේ අවස්ථාවේදී රන්ජන්ගේ ප්‍රකාශණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු.
 
විසල් කරුණාරත්න විසිනි  lankaenews
....


අදහස්

3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0