සමාගම් 17ක් පිළිකා විස මිරිස් ජනතාවට කැවූ හැටි - ලක්ෂ 20ක් දැනටමත් ඒ මිරිස් පරිභෝජනය කර හමාරයි

Click to
follow

අවදානම් ප්‍රමාණයට වඩා හතර ගුණයකින් පිළිකාකාරක තිබිලා

ලක්ෂ 20ක් දැනටමත් ඒ මිරිස් පරිභෝජනය කර හමාරයි

පරීක්ෂණ වාර්තා ලැබෙන විට මිරිස් තොගය ගු දම්වලින් පන්නලත් ඉවරයි

අප ආහාරයට එක් කරගන්නා කුළුබඩු අතර වියළි මිරිස් ප්‍රධාන වේ. මිරිස් කරල් ලෙසත් කුඩු ලෙසත් කෑලි මිරිස් ලෙසත් වියළි මිරිස් ආහාර සැකසීමේ ක්‍රියාවලියේදී අපි ප්‍රයෝජනයට ගන්නෙමු. එහෙත් පසුගිය දා රේගු අවදානම් කළමනාකරණ ඒකකය ඔස්සේ මාධ්‍යයට අනාවරණය වුයේ මිරිස් ආනයනය කරන හා විකුණන ප්‍රධාන පෙළේ කුළුබඩු සමාගමක් අතුළු ආනයනකරුවන් 17ක් ඇෆ්ලටොක්සීන් (Aflatoxin) නම් පිළිකාකාරක සහිත වියළි මිරිස් කන්ටේනර් 39ක් මෙරටට වරින්වර ආනයනය කර තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා නොගෙනම වෙ‍ෙළඳපොළට මුදාහැර ඇති බවයි. මේ වන විට එම මිරිස් තොගය ලක්ෂ විස්සක් පමණ වූ ජනතාවක් පරිභෝජනයට ගෙන අවසන්ය.

ඒ පිළිබඳ විමසීමේ දී රේගු අවදානම් කළමනාකරණ අංශයේ නිලධාරීන් පවසා සිටියේ, ඉන්දියාවේ සිට බහාලුම් 39ක එම පිළිකා කාරක අඩංගු ‍මිරිස් මෙට්‍රික් ටොන් 550ක් එනම් කි.ග්‍රෑ. 550,000ක් ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගුව විමර්ශන කටයුතු අවසන් කර මේ වන විට ආනයනකරුවනට විරුද්ධව නඩු කටයුතු අරඹා ඇති බවයි.

'කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ භාණ්ඩ ආනයනය කරන තොග ව්‍යාපාරිකයන් 17 දෙනකු විසින් එම මිරිස් ආනයනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වුණා. එම මිරිස් තොගය රසායනාගාර පරීක්ෂාවට බඳුන් කිරීමේදී ඇෆ්ලටොක්සීන් (Aflatoxin) නමැති පිළිකාකාරකය අඩංගුව ඇති බවට කරුණු සනාථ වීමෙන් පසුව රේගු නිලධාරීන් එම තොග ව්‍යාපාරිකයන්ගේ ගුදම් පරීක්ෂා කිරීමට ගියා.

ඒ අවස්ථාවේ එම ගුදම්වල භාණ්ඩ නැති බවට කරුණු සනාථ වුණා. එම මිරිස් තොගය රේගුවට ලැබුණු පසුව එය ප්‍රමිතිගතද නැද්ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ආහාර පරීක්ෂක නිලධාරින් විසින් සොයාබලනු ලබනවා. ඔවුන් එම මිරිස් තොගයේ සාම්පල් අරගෙන රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර එම වාර්තාව රේගුව වෙත ලබාදෙනවා. ඒ අනුව මේ මිරිස් තොගය පරීක්ෂාවට බඳුන් කළ පසු ඔවුන්ගේ නිගමනය වුණේ ඒවා පරිභෝජනයට ගැනීම කිසිසේත් නුසුදුසු බවයි. එය ප්‍රතිඅපනයනය කළ යුතු බවයි. ඇෆ්ලටොක්සීන් අනුමත සීමාව වන්නේ කි‍.ග්‍රෑම් එකක් සඳහා මයික්‍රෝග්‍රෑම් 30කට අඩුවෙන් තිබීමයි. ඇෆ්ලටොක්සීන් ඊට වැඩි නම් එම භාණ්ඩ ප්‍රතිඅපනයනය කිරීම හෝ විනාශ කිරීම කළ යුතු වෙනවා. නමුත් එම ආනයනික භාණ්ඩ තුළ තිබූ මිරිස්වල ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය නියමිත ප්‍රමාණය ඉක්මවා හතර ගුණයකටත් අධික බව රසායනාගාර පරීක්ෂණ වාර්තා මගින් ක‍රුණු අනාවරණය වී තිබෙනවා.

ඒත් රේගුව මෙය ක්‍රියාත්මක කරන්නට යන විටත් ඒ සියලුම මිරිස් දේශීය වෙළෙඳ පොළට මුදාහැර තිබෙනවා. සියල්ල විකුණා දමා තිබෙනවා. මේ පිළිබඳ ‍රේගු අවදානම් කළමනාකරණ ඒකකය අදාළ මිරිස් තොගය ආනයනය කළ ආයතන සියල්ලේම හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔවුනට විරුද්ධව චෝදනා ගොනු කර රේගු නඩු විභාග කටයුතු පැවැත්වීමට මේ දිනවල සූදානම් කරමින් තිබෙනවා.‍' යනුවෙන් ඔවුහු පවසති.

1980 අංක 26 දරන ආහාර පනතට අනුව ඇෆ්ලටොක්සීන් ඇතුළත් යම් ආහාරයක් අනුමත ප්‍රමාණය ඉක්මවූ අවස්ථාවන්හිදී බාල කළ ආහාර ද්‍රව්‍ය වශයෙන් එම ආහාර වර්ග වර්ගීකරණයට යටත් කොට තිබේ. එනිසා ‍එම පිළිකා කාරක මිරිස් තොගය කිසිසේත් ම පරිභෝජනයට නුසුදුසු බවත් ඒවා ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන ලෙසත් ආහාර පරීක්ෂකවරුන් රේගුවට දැනුම් දී තිබේ.

ඇෆ්ලටොක්සීන් ඇතුළත් මිරිස් තොගය රුපියල් කෝටි 9 ඉක්මවන අතර ‍ඉදිරියේදී ඒ ආකාරයෙන් කටයුතු සිදු නොවීමට ගත යුතු ක්‍රියා මාර්ග රේගු අවදානම් කළමනාකරණ ඒකකය මඟින් සිදු කරන බව රේගුව පවසයි. මෙරට නම් දරන ප්‍රධාන පෙළේ කුළුබඩු ආනයන හා නිෂ්පාදන ආයතනයක් විසින් මෙම මිරිස් තොගයෙන් බහුතරය තම නිෂ්පාදන කටයුතු උදෙසා යොදාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර දැනටමත් වෙළෙඳපොළට එම නිෂ්පාදන මුදා හැර ඇති බව හෙළි වී තිබේ.

'රේගු අවදානම් කළමනාකරණ ඒකකය මඟින් සිදු වන්නේ මෙරටට ගෙන එන අවදානම් සහගත භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම වගේම රජයට අය විය යුතු බදු මුදල් සහ එම භාණ්ඩවල ප්‍රමිතීන් සම්බන්ධව අවදානමක් පැන නැඟුණු අවස්ථාවලදී ඒ පිළිබඳ විමර්ශන සිදු කිරිමයි. එලෙස හඳුනාගත් අවදානම් සහගත තත්ත්වයන් නැවත ඇති නොවී එය යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමත් මෙහි දි සිදු වෙනවා.

මේ වන විට මේ මිරිස් තොගය මුදා හැරීම සම්බන්ධයෙන් නඩු කටයුතු පවතින නිසා ආනනයනය කළ ආයතනවල නම් ප්‍රසිද්ධ කිරීමක් කරන්නේ නැහැ. ඉදිරියේ දී එළි වේවි. මේ වන විට පිළිකාකාරක මිරිස් තොගය විකුණා අවසන් බවට විමර්ශන වලදී අණාවරණය වී තිබෙනවා. මේවා මිරිස් කුඩු හෝ කැබලි ලෙස ලක්ෂ විස්සක පමණ ජනතාවක් පරිභෝජනය කරන්නට ඇතැයි හිතන්න පුළුවන්.

සාමාන්‍යයෙන් වරායට කුළුබඩු, මිරිස් වැනි භාණ්ඩ පැමිණි පසුව රේගුවෙන් සිදු කරන්නේ මේ භාණ්ඩ තොගයේ බර, නියමිත ප්‍රමාණයට බදු මුදල් ගෙවා ඇති ද කියන දේවල් සොයා බැලීමයි. ඒ භාණ්ඩවල තත්ත්ව පරීක්ෂාව සඳහා අදාළ ආයතන මඟින් භාණ්ඩවල සාම්පල ලබාගැනීම මෙතැනදී සිදුවෙනවා.

ඒ අනුව ඒ මිරිස් තොගයේ සාම්පල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරින් ලබාගත් පසු එම කන්ටේනර් කෙළින්ම යන්නේ ආනයනකරුගේ ගුදමටයි. එලෙස ආනයනකරුගේ ගුදමට යන්නේ මේ භාණ්ඩ විකිණීමට අනුමැතියක් නොදෙන වගකීමක් සහිතවයි. ඒවායේ තත්ත්වය පරීක්ෂා කර බලා වාර්තාව ලැබෙන තුරු මෙය රැගෙන ගොස් නොවිකුණා ළඟ තබා ගන්නා බවට මේ ඔස්සේ ඔවුන් පොරොන්දුවක් දෙනවා. පසුව ඔවුන් අදාළ ආහාර පරීක්ෂණ ආයතනයට ගොස් එතැනින් ප්‍රමිතිය පිළිබඳ වාර්තා ලබා ගත් පසුවයි මුදාහරින්න පුළුවන්. නමුත් ඒ ආනයනනික ආයතන 17න් කිසිවෙකුත් ලිඛිතව අදාළ පරීක්ෂණ වාර්තා ලබානොගෙන වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා. ඒ ආකාරයට කටයුතු කිරීමට ඒ ආයතනවලට නීතියෙන් කිසිදු බලයක් නැහැ.' රේගු නිලධාරීහු කියති.

“රේගු ආඥා පනතේ විධිවිධානවලට යටත්ව මොවුන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වුව හොත් එම භාණ්ඩ තොගයේ වටිනාකම මෙන් තුන් ගුණයක මුදලක් රජයට ගෙවිමට සිදුවෙනවා. පසුගිය වස‍රේ එනම් 2018 අගෝස්තු මාසයේ සිට නොවැම්බර් දක්වා අතර කාල පරාසය තුළ එම මිරිස් තොගය විටින් විට ඉන්දියාවේ සිට ආයනයනය කර ඇති අතර ඒ පිළිබඳ රේගු විමර්ශන කටයුතු 2019 මාර්තු මස දී ආරම්භ කොට තිබෙනවා.“ මේ වන විට සියලු විමර්ශන කටයුතු අවසන් කර වගකිව යුත්තන්ට එරෙහිව රේගු නඩු විභාග කටයුතු ද ආරම්භ කොට ඇති බව රේගු නිලධාරීහු පවසති.

ඇෆ්ලටොක්සීන් (Aflatoxin) නැමැති පිළිකාකාරකය මිරිස්වලට එකතු වන්නේ කෙසේද?

එයින් ඇති වන හානිය කෙබඳුද? පිළිකාකාරක අඩංගු බවට හඳුනා ගත හැකිද? ඒ පිළිබඳ අප විමසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශයේ වෛද්‍ය සපුමල් ධනපාලගෙනි. ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

“වියළි මිරිස්වල එම පිළිකාකාරකය සෑදීමට ප්‍රධානතම හේතුව වන්නේ නිසි පරිදි වියළීමකින් තොරව තෙත සහිත මිරිස් කාලයක් තිස්සේ තබාගැනීමයි. මිරිස්වල තෙතමන ප්‍රතිශතය සියයට 12ට වඩා වැඩි වීම නිසාත් තෙල් සහිත බව නිසාත් මිරිස් මත කල්යෑමේදී පුස් , දිලීර ඇති වෙනවා. එහිදී ඇති වන රසායනික ක්‍රියාවලිය හේතුවෙන් විෂ සහිත රසායනික ඇති විය හැකියි. ඇස්පරිලස්ෆ්ලේවර්ස් හා ඇස්පරිලස් පැරසිටිකස් යන විෂ සහිත දිලීර මිරිස් කුඩු මත වර්ධනය වීමෙන් ඇෆ්ලටොක්සීන් පිළිකා කාරක විෂ රසායනිකය සෑදෙනවා. කි‍.ග්‍රෑම් එකක් සඳහා මයික්‍රෝග්‍රෑම් 30කට අඩුවෙන් එම රසායනය තිබිය යුතුයි.

ඒ නිසා මිරිස් කුඩු හෝ කෑලි මිරිස්, මිරිස් කරල් මිලදී ගැනීමේදී දිලීර පුස්- ඇත්දැයි හොඳින් පරීක්ෂා කළ යුතුයි. මිරිස්වල පවතින දිලීර, පුස් සෝදා හැරිය ද අධික තාපයකට ලක් කළ ද ඇෆ්ලටොක්සීන් නැමැති විෂ රසායනික පිළිකාකාරකය ඉවත් කළ නොහැකියි.’’ යනුවෙනි.

හොඳ මිරිස් කරල් තෝරාගන්නා හැටි

එසේ නම්, හොඳ මිරිස් තෝරා ගන්නේ කෙසේද? යන පැනයට කොළඹ නාගරික අනුමත රස පරීක්ෂක ගාමිණී රාජනායක මහතා පවසා සිටින්නේ මෙවැන්නකි.

“හොඳින් පැසීමෙන් අනතුරුව නෙළා වියළාගත් වියළි මිරිස්වල පැහැදිලි රතු පැහැයක් දක්නට ලැබෙනවා. මිරිස් වර්ග අනුව දුඹුරු පැහැයට හුරු රතු පැහැයක් හෝ මිරිස් අස්වැන්න නෙළා වේළීමට ලක් කරන ක්‍රමය අනුව ද මිරිස් රතු හෝ දුඹුරු පැහැයට හුරු රතු වර්ණයට ලක් වෙනවා. කොහොම නමුත් හොඳ මිරිස් කරල් හැමවිටම දිප්තිමත් ස්වභාවයක් උසුලන අතර නැට්ට සහිත තනි දිග කරලක් ලෙස දක්නට ලැබෙනවා.

වෙළෙඳපොළෙන් වියලි මිරිස් කරල් මිලදී ගන්නා විට නැටි කැඩී ගිය, මැදින් කැඩී ගිය, අවර්ණ, පෙඟී ගිය මිරිස් කරල් භාවිතයට නොගත යුතුයි. ඒවා බොහෝවිට කල් ඉකුත් වූ හෝ පුස් වර්ග බැදුණු මිරිස් කරල් විය හැකියි. සාමාන්‍යයෙන් මිරිස් කරල් හොඳින් මෝරා අස්වැන්න නෙළීමෙන් පසුව වේළා වියළි මිරිස් බවට පත් කළ විට මිරිස් කරල නැමූ විට දෙකට කැඩීමකට ලක් වන්නේ නෑ. එම මිරිස් ඇදෙන සුලු දීප්තිමත් ස්වභාවයකින් යුක්තයි. එලෙසම මිරිස් කරල දිස්වන්නේ දීප්තිමත් ලෙසයි . මිරිස් කරල නැමූ විට පහසුවෙන් කැඩී ගොස් එහි ඇතුළත පුස් වර්ග සහ මිරිස් ඇට සහිත දාරය කළු පාටින් දිස් වේ නම් ඒ මිරිස් කරල් පරිභෝජනයට නුසුදුසු යි. මන්ද හොඳ තත්ත්වයේ අලුත් මිරිස් කරල් ලෙහෙසියෙන් දෙකට කැඩීමට නොහැකි නිසා.

හොඳ වියළි මිරිස් කරලක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 4කට හෝ ඊට ආසන්න ප්‍රමාණයක දිගක් ගනු ලබයි. වියළි මිරිස්වල පුස් වර්ග ඇති වන්නේ ජල ප්‍රතිශතය වැඩි වූ විටයි. සියයට දොළහට වඩා වූ ජල ප්‍රතිශතයක් වැඩි වූ විට මිරිස් කරල් පුස් කෑමේ තර්ජනයට ලක් වෙනවා. පුස් කෑමට ලක් වූ මිරිස් කරල් තුළ විවිධ බැක්ටීරියා ඇති වී විස සහිත පිළිකාකාරක සංයෝග ඇති වෙනවා. ඒවා ආහාරයට ගැනීම මිනිස් සිරුරට අහිතකරයි.

මිරිස් කරල් තෝරාගැනීමේදී වැදගත් කරුණු

මිරිස් කරල් තෝරාගැනීමේදී ලොකු දීප්තිමත් පැහැයෙන් යුතු රතු වර්ණය ඇති කරල් තෝරා ගන්න. එලෙසම හැම විටම පිදුරු පැහැති නටුව සහිත මිරිස් කරල් මිලදී ගන්න. මිරිස් කරල්වලට රසායනික දේ එක්කර ඇත්නම් ඒ පැහැය නටුවේද දක්නට ලැබෙනවා. එලෙසම මිරිස් කුඩු, කෑලි මිරිස් කටේ ගා බැලීමට ද සැලකිලිමත් වෙන්න. එවිට පිටි, ලුණු දමා ඇත්නම් රස අනුව සැර අනුව සොයාගත හැකි වෙනවා. කෙසේ නමුත් ඔබ මිලදී ගන්නා මිරිස් කුඩු පිළිබඳ සැකයක් ඇති නම් එය ඔබ ප්‍රදේශයේ ගම් පළාතේ සිටින ළඟම සෞඛ්‍ය නිලධාරියාට, ආහාර පරීක්ෂකවරයාට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන්න. එවිට ඒ අය පැමිණ එම ස්ථානයෙන් සාම්පල් ගෙන මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා ඇති.

කෑලි මිරිස් තෝරාගැනීමේදී ද ඒ සඳහා රසායන යොදා ඇත්දැයි සොයාගැනීමට පුළුවන්කම තිබෙනවා. මෙයට රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රාවණයක් යොදා ඇත්නම් මිරිස් ඇටවලට ද එම වර්ණය උරාගන්නවා. මිරිස් ඇට බොඳවූ රතු වර්ණයෙන් යුතු වූ විටද ඒ ගැන සැලකිලිමත්ව විමසා බැලිය යුතුයි.

වඩාත්ම වැදගත් වන්නේ ඔබ හොඳ තත්ත්වයේ මිරිස් කරල් මිලදී ගෙන පිරිසුදු ජලයෙන් සෝදා හොඳින් වේළා නටු ඉවත් කර මිරිස් කුඩු සඳහා මිරිස් කෑලි බවට පත් කරගෙන ආහාර සඳහා අවශ්‍ය මිරිස් නිවසේදීම සකසා පරිභෝජනයට ගැනීමයි.' ඔහු පවසයි.

මිනිසාට මෙන්ම සතුන්ටත් පිළිකා

කෙසේ නමුත් ඇෆ්ලටොක්සීන් (Aflatoxin) නැමැති පිළිකාකාරකය ශරීරයට ඇතුළු වීමෙන් මිනිසාට මෙන්ම සතුනට ද පිළිකා අවදානමක් ඇති වන බව වෛද්‍යය නිගමනයයි. ඒ අතර අක්මා පිළිකා සහ පෙණහලු පිළිකා බහුලව දැකිය හැකි බව වෛද්‍යවරු පවසති.

පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කරන පාරිභෝගික අධිකාරිය ද ඒ සම්බන්ධයෙන් වගකීමක් දරයි. අප කළ විමසුමකදී පාරිභෝගික අධිකාරීයේ ප්‍රකාශිකාවක පවසා සිටියේ, වන විට ලංකාවේ විවිධ ප්‍රදේශ දහයකින් ලබාගත් මිරිස් සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

“එම පිළිකා කාරකය අඩංගු මිරිස් වෙළෙඳපළේ තවමත් පවතිනවාද කියලා අප විවධ වෙළෙඳසල්වලින් ලබාගත් මිරිස් කුඩු පරීක්ෂාවට ලක් කළා. නමුත් ඒවායෙන් අපට එවැනි පිළිකාකාරක අඩංගු මිරිස් කුඩු හමු වුණේ නැහැ. නමුත් දිගින් දිගටම අපි වෙළෙඳපොළට එන මිරිස් සාම්පල පරීක්ෂාවට ලක් කරන්නට කටයුතු කරනවා.' ඇය කීවාය.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

....


අදහස්

9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0