ජෝකර් බලන්න ..

Click to
follow

සෘණාත්මක සංවාදයේ අධිපතියා හෙවත් "ජෝකර්"
=================================

ජෝකර් චිත්‍රපටය වේදනාවේ සහ අසංගත සංදර්ශණයක් බවට පත්විය....

එහි දර්ශණය ගැන කථා කරන්නට පෙර, රංගනය ගැන වචනයක් සඳහන් කරන්නේ නම්, පුද්ගලිකව මට හැඟුණු දෙය වන්නේ "හීත් ලෙජර්" ට වඩා, මේ සිනමා පටයේ ආඛ්‍යානය ඉල්ලන රංගනය දිය හැකි සුදුස්සා වූයේ "යෝකින් ෆීනික්ස්" බවය....

හීත් ලෙජර්ව "ජෝකර්" ලෙස අපට හමුවනවිට, ඒ ජෝකර් "ගෝතම්" නගරය සහ එහි ආයතන පද්ධතිය සිය දබරැඟිල්ල වටා කැරකැවිය හැකි, පුනුරුක්ති රහිත ත්‍රස්ත නායකයෙකුව සිටියේය....ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුව "අපහරණයට" ලක් කරන හෙතෙම, තමන් විසින් සැලසුම් කරනු ලබන ක්‍රීඩාවක ඉත්තන් බවට සමස්ථ නගරයම පත් කරගනී.....ගෝතම්හි වීරෝදාර වවුලාට ඔහු අභියෝග කරන්නේ මනෝ විශ්ලේෂණයේ කෙළ පැමිණියෙකු ලෙසය......වීරයන්ට විශාලතම වේදනාවක් ඇති කළ හැක්කේ පහර දීමෙන් නොව, වීරත්වය සහිත රාමුව තුළ ක්‍රියාත්මක වීම සඳහා සකසා ගන්නා ලද ආත්ම අභිමානය සිදුරු කරමින්, වීරයාගේ අභ්‍යන්තර දුර්වලතා, වීර පෞර්ෂයේ සඟවාලන්නට උත්සාහ කරන ආත්මීය දිළිඳු බව ආදිය කැඩපතක් අල්ලා වීරයාටම පෙනෙන්නට සැලැස්වීමය.....හීත් ලෙජර් තුළින් අප දුටුවේ, මීයෙකු අල්ලා ගත් පූසෙකු සිය ගොදුර සමග ක්‍රීඩා කරන්නා සේ බැට්මෑන්ගේ හැඟීම් සහ ආත්මය සමඟ ක්‍රීඩා කරන ත්‍රස්ත නායකයෙකි....

නමුත් ජෝකර් චරිතයේ ආරම්භය සහ නැග්ම නිරූපණය කෙරෙන මෙම "ජෝකර්" සිනමා පටයේදී අපට හමුවන්නේ ඉතාම දුර්වල පෞර්ෂ්‍ය ලක්ෂණ, මානසික ආබාධ, සමාජ පීඩනය, අඳුරු ළමාවිය, ආදී බොහෝ සෘණාත්මක දේ සංකලනය වූ දිළිඳු මූලාරම්භයක් සහිතව අනුක්‍රමිකව වියරු මිනිසෙකු බවට පත්වූවෙකු විනා, "ඩාක් නයිට්" හි හමුවන එම සමුද්දේශ රාමුවට අධිස්වාභාවික බලවතෙකු (Supernatural to a Natural Reference Frame ) නොවේ.....එහිදී හීත් ලෙජර් ජීවත්ව සිට එම චරිතය රඟ දැක්වුවා නම්, ඩාක් නයිට් හි අප දකින මහේශාක්‍ය ත්‍රස්ත නායකයා සමඟ මේ දුෂ්පෝෂිත, පෞර්ෂ්‍ය හීන මිනිසා ගළපාගෙන දකින්නට අප මැළිවන නිසා, එය ඉච්ඡා භංගත්වය දනවන සිනමා පටයක් වන්නට ඉඩ තිබිණි... බළ සබඳතා තුළ සියළු ලක්ෂ්‍යයන්හි ස්ථානගත වීමේ නිසඟ හැකියාවක් සහිත යෝකින් එම චරිතයට පදික වේදිකාවේ සිට සිවිල් අරගලයක නායකත්වය දක්වා ලක්ෂ්‍ය රාශියකදී, ඒවාට අනන්‍යව දිය යුතු උපරිම දායකත්වය ලබා දෙන ලදී...

මෙම සිනමා පටයේ යෝකින් සිය ප්‍රතිභාවයේ උපරිමය විද්‍යාමාන කළ අවස්ථා පෙළ වන්නේ, සිය පැවැත්මේ සංදෘෂ්ඨිවාදී ලිහා ගැනීම සිදු කරමින්, ( තමා ගිනි අවි ගණුදෙණුවකට හසු කර, රැකියාව අහිමි කරවූ කූඨ උපායකරුවා සිය නිවස තුළම මරා දමමින්ම ) ජෝකර් මුරේ ෆ්‍රැන්ක්ලින්ගේ රූපවාහිනි වැඩසටහන වෙත යාමත්, එහිදී සියළු දෙනා කම්පනයට පත් කරමින් වැඩසටහනට තමාට ආරාධනා කළ පුද්ගලයා වෙඩි තබා මරා දමන තැනට ඉතාම සීමිත කාළ රාමුවක් තුළ සිදු කරගත් චිත්ත පරම්පරාව නිරූපණය කිරීමය. දඩයම දඩයක්කරුවා බවටත්, පීඩිතයා පීඩකයා බවටත් රූපාන්තරණය සිදුවූ ඒ රූප රාමු පෙළ එම සිනමා පටයේ දර්ශණවාදය සමග එය අත්විඳිමින් සිටි සියළු දෙනා හුස්ම ගැනීමට අමතක වන තැනකට ගෙන ගියාට සැක නැත.....

ෂොන් පෝල් සාට් නම් ප්‍රංශ සංදෘෂ්ඨිකවාදී (Existentialism) දාර්ශණිකයා පවසන අන්දමට, අප සියළු දෙනාගේ ජීවිත පිටුපස, පැවැත්මේ අරමුණක් නොමැති අතර, එකී අරමුණු ඇවැසි නම් අප සකස් කරගත යුතුය. ජෝකර් හැර, ලෝක සිනමාව සහ වීර සාහිත්‍යය තුළ අප දකින අනෙක් සෑම දුෂ්ඨ චරිතයකටම ( මෙන්ම සැබෑ ලෝකයේ අප දකින දුෂ්ඨ චරිත බොහොමයකටත් ) දුෂ්ඨත්වයේ පැවැත්ම සකස් කරගන්නා පදනම බඳු වූ "අරමුණක්, මෙහෙයුමක්, ඉලක්ක " තිබේ.....( දුෂ්ඨත්වය සාපේක්ෂ බව මෙහිදී මොහොතකට අමතක කරමු )..... නමුත් ජෝකර් නම් සෘණාත්මක සංවාදයේ මහා අධිපතියාගේ දුෂ්ඨ පැවැත්මට අරමුණු කිසිවක් නොමැත..... හිස්ටෙරික, මනෝ භ්‍රාන්ති අත් දකින, වියරු වැටී ගිය ජෝකර්ගේ ආත්මය එතනට ගෙනාවේ ඉහත කී රූප රාමු පෙළ තුළ ලබාගත් අධි ස්වභාවික යැයි කිව හැකි තරම් අමුතු අවබෝධයන් මාලාවය....."මාගේ ජීවිතය ඛේදවාචකයක් යැයි සිතා සිටියත්, දැන් මා දන්නවා එය ප්‍රහසනයක් කියා " ( "I used to think my life was a tragedy, but now I realize it's a comedy...") කියන වදන් පෙළ ජෝකර්ගේ මුවින් පිටවන මොහොත මේ සිනමා පටයේ කූඨප්‍රාප්තිය වන්නේ එනිසාය.....

පැවැත්මේ අරමුණක් පදනමේ නොමැති දුෂ්ඨත්වය නිරූපණය කිරීම ලෙහෙසි පහසු නළුවෙකුට කළ හැක්කක් නොවේ.....මේ රංගනයෙන් පසුව යෝකින්ට මනෝ චිකිත්සාවන්ට සහභාගී වන්නට සිදුවූවා නම් පුදුම වන්නට දෙයක් නැත....ජයගැනීමට ඇවැසි - පරාජය කෙරෙහි බියක් නැති, ජීවත් වීමට වුවමනා - මිය යාමට ආශා ( ජෝකර් සෑම උද්වේගකර මොහොතකම අප්‍රමාණ ප්‍රමෝදයකින් යුතුව සිය පිස්තෝලය තමාගේම හිසට තබාගෙන සතුටු වෙයි ), චරිත ලක්ෂණ වල කිසිදු පදනමක් නොමැති උන්මත්තකයෙකුගේ චරිතයට ආවේශ වීම වනාහි මත්ද්‍රව්‍ය මඟින් පාලිත පියවි සිහිනයක් දකින්නා බඳු ඉතාම භයානක අත්දැකීමකි.....යෝකින් ෆීනික්ස් මේ මානසික අවදානම ගෙන අප විමතියට පත් කරවයි.....

ජෝකර්ට තිබෙන දහසකුත් එකක් මානසික ගැටළු අතුරින් ඔහුව වැඩි වශයෙන්ම පීඩාවට පත් කරන ගැටළුව වන්නේ, ඔහුගේ මවගේ පෙම්වතා විසින් කරන ලදැයි කියන අඩන්තේට්ටම් නිසා හිසට සිදුවූ ආබාධයක් හේතුවෙන් හටගත් Pseudobulbar affect (PBA) නම් ද්වීතියික රෝගී තත්වයයි....මෙම රෝගී තත්වයෙන් පෙළෙන අයට සිය සිනහව සහ කඳුළ දෙකම අහේතුකව හෝ සහේතුකව එකවර පැණ නැඟී, විනාඩි ගණනක් තිස්සේ පැවතීම පාලනය කරගත නොහැක.....ඒ නිසා ඔවුහු බොහෝ අපහසුතාවයට පත්වෙති..... ( සිනමා පටය අනුව නම් ජෝකර් එමඟින් බොහෝ හිංසනයන්ට මුහුණ දෙයි ) ...

ස්නායු පද්ධතියට සිදුවන හානි නිසා, මොළයේ හැඟීම් පාලක ඒකකයන් අකර්මණ්‍ය වීම හේතුවෙන් මෙබඳු රෝගීන්ට සිනහවේ සහ කඳුළේ පැවැත්මට අරුතක් දිය නොහැක.....එය එකවර, පූර්ව දැනුම් දීමකින් තොරව මතුවී පවතී....සිනහව සහ කඳුළ එකට පවතී.....ස්නායුගත ශෝකය සහ ප්‍රමෝදය එකට පවතී.... එහි රටාවක නොමැත.....

ජෝකර් නම් දැවැන්ත සාහිත්‍යමය චරිතය සිටගෙන සිටින දාර්ශණික ආස්ථානයද මෙම Pseudobulbar affect මඟින්ම නිරූපණය වන බව ඔබට වැටහුණාද?......ජෝකර් යනු කිසිදු රටාවකට අනුගත නොවන මහා දුර්ජනයා නිසා, ඔහු ඊළඟට කුමක් කරන්නේද යන්න කිසිවෙකු නොදනී.....යම් කෙනෙකු ඉදිරියට කරන්නට යන දේ ගැන නිවැරදිව හෝ ආසන්නව අනුමාන කර, ඊට සූදානම් විය හැක්කේ ඔහු හෝ ඇය හේතු සහිතව, සංගතව හැසිරෙන පුද්ගලයෙකු හෝ කිසියම් දර්ශණයකට, දෘෂ්ඨිවාදයකට අනුගතව ක්‍රියාකරන්නෙකු නම් පමණි......ජෝකර් එසේ නොවේ.....ජෝකර්ගේ රෝගී තත්වය තුළ කඳුළ සහ වියරු සිනහව ( අසීමිත ශෝකය සහ ප්‍රමෝදය ) එකට පවතින්නා සේම, ජෝකර්ද විග්‍රහ කළ නොහැකි අදෘෂ්ඨිගත ප්‍රහාරකයෙකි......

ඔහු දුෂ්ඨ චරිත පිළිබඳව සෘණාත්මක සංවාදයේ අධිපතියා වන්නේ එහෙයිනි.....ඔහුට එරෙහිව ප්‍රතිජීවකයක් නැත.....ඉහත කී රෝගී තත්වය උපදින්නේ ස්නායු පද්ධතියට සිදුවන හානියක් නිසා සේම, ජෝකර් උපදින්නේ "ක්‍රමයට" සිදුවන හානියක් නිසාය.....

ජෝකර් සිනමා පටයේ, ජෝකර්ගේ හැසිරීම මඟින් ඇති කරන ලද පීඩිත කැරැල්ලේ මහා පුරුෂයා ලෙස කූඨ ප්‍රාප්ති වීමද අත් අඩංගුවට පත්ව මානසික රෝහලක සිරගත කර සිටින ජෝකර්ම දකින මනෝ භ්‍රාන්තියක කොටසක්ද යන්න පැහැදිලි නැත.....නමුත් එහිදී දුෂ්ඨත්වය තුළින් අරුත් සොයාගෙන, ක්‍රම විරෝධී අරගලයක තාවකාළික අරාජික වීරයා ලෙස ඉස්මතු වූවද, එම වීරත්වය ජෝකර්ට අයත් නොවන බැවින්, එයින් ඔහු මුදාහැර, තමාගෙන් ප්‍රශ්ණ අසන මනෝ චිකිත්සකවරිය මරා දමන තැනට ගෙන ඒම, සිනමා පටයේ නිර්මාතෘවරුන් කළ තවත් එක් ප්‍රශංසනීය දෙයකි.....

Damith kethaka

....
  • තවත් එකතු:
  • Joker


අදහස්

4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0