ජනපතිවරණ සමස්ත ප්‍රතිඵලය නොවැ: 18 අලුයම 6ට

Click to
follow

- ඡන්ද පත්‍රිකාව අඟල් 26ක් දිගයි 
- අලුත් ඡන්ද පෙට්ටි ගෙන්වන්න පියවර 
- මැතිවරණ වියදම කෝටි 600කට ළංවෙයි

2019 ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් මස 18 වැනිදා අලුයම 6 වන විට ප්‍රකාශයට පත් කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේදී මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමඟ ඊයේ (8) පෙරවරුවේ පැවැති හමුවේදී මාධ්‍ය ප්‍රධානියකු කළ විමසීමකට පිළිතුරු ලෙස දේශප්‍රිය මහතා එසේ පවසා සිටියේය.

මෙවර මැතිවරණයට ඉතිහාසයේ නොවූ විරූ තරම් අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව උප පත්‍රිකාව සමඟ අඟල් 26ක් පමණ දීර්ඝ වීමෙන් අතුරු හේතු කාරණා මතුවීම ප්‍රතිඵල ප්‍රකාශයටත් බලපාන බව දේශප්‍රිය මහතා පැහැදිලි කැර දුන්නේය.

නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවත් එම පත්‍රිකාව දි ප්‍රමාණය අනුවත් අපේක්ෂකයන් සංඛ්‍යාව අධික වීමත් හේතුවෙන් එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්ද පොළ නියෝජිතයන් හැත්තෑවක් ලෙස ද ගණන් කිරීමේ නියෝජිතයන් 175ක් ලෙසද ඉහළ දැමිය යුතු බැවින් ඒ හා සමඟ තවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවද පැහැදිලි කෙළේය. දිගු ඡන්ද පත්‍රිකා සඳහා ඡන්ද පෙට්ටි නැවත සකස් කිරීම හෝ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදු වන බවත් ඡන්ද පොළවල් යළි පරීක්ෂා කැර මෙතරම් විශාල නියෝජිතයන් පිරිසක් රැඳවීමට තරම් ඉඩ පහසුකම් සහිත විකල්ප ස්ථාන තෝරා ගත යුතුව ඇති බවත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරීක්ෂා කැර වඩාත් ඉඩ කඩ ඇති ස්ථාන වෙත යොමු විය යුතුව ඇති බවත් දේශප්‍රිය මහතා පෙන්වා දෙයි. ඡන්ද පෙට්ටි වැඩි කිරීම මත ඡන්ද පොළ කාර්ය මණ්ඩලය මෙන්ම සභා කාර්ය මණ්ඩලය ඡන්ද ගණන් කිරීමේ කාර්ය මණ්ඩලයද පොලිසි නිලධාරීන්ද වැඩි කිරීමට සිදු වන අතර ඔවුන්ගේ සුබ සාධන සහ ප්‍රවාහන කටයුතු සඳහාද වැඩි අවධානය යොමු කළ යුතුව ඇති බවත් එසේම මේ සියල්ල හා බද්ධ වන විදුලිය ජලය දුරකථන වැනි පොදු පහසුකම් සඳහා වන අපේක්ෂිත වියදමට අධික වන බවත් ‍ප්‍රකාශ කෙළේය. මේ සියලු අනුශංශික කරුණු හේතුවෙන් 2019 ජනපතිවරණයට ඇස්තමේන්තු කර තිබූ රුපියල් කෝටි 450ක වියදම කෝටි 600කට ආසන්න විය හැකි බවද මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා අවධාරණය කෙළේය.

....


අදහස්

13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0