“බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා”

Click to
follow

බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය තමන්ට ඇතුළු කණ්ඩායමට ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ් මහතා මේ බව පැවසූවේ පසුගිය 15 වනදා කිරිබත්ගොඩ නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිණි.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“1994 රටේ ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් හැටියට 23%යි. එනම් රටේ සමස්ත ධන නිෂ්පාදනයෙන් 23%ක් භාණ්ඩාගාරයට. 2014 වන විට ආණ්ඩුවේ ආදායම 11.5% දක්වා හරි අඩකින් කඩා වැටුණා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව තම ආදායම වැඩිකර ගන්න හදපු සැලසුම මොකක්ද? ඒක තමයි 11.5% වෙච්ච ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩිකරන්න සැලසුම් කළා. ඒක කළේ කොහොමද විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙමින්. කාබන් බද්ද ගහනවා, කාබන් පරීක්ෂා කරන්න යනකොට බද්දක් ගන්නවා. විවාහ ගාස්තු වැඩි කළා. මෝටර් සයිකලයක් ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කළා. එතන රෙජිස්ටාර් ගාස්තු වැඩි කළා. ව්‍යාපාර මහතුන්ගෙන් ගන්න ආදායම් බදු ප්‍රමාණය විශාල වශයෙන් වැඩිකළා. ඇයි ඒ? ආර්ථිකයක් පළල් වෙන්නේ නැත්නම්, ඉදිරියට යන්නේ නැත්නම්, ආණ්ඩුවේ ආදායම වැඩිකර ගන්න වෙන්නේ නැවත නැවත බදු ගහලා. ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. එකතැන පල්වෙනවා. සංවර්ධනය වෙන්නේ නැහැ. ආර්ථිකය සංවර්ධනය නොවී ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න යාමේදී මොකද වෙන්නේ. විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙනවා. අධික බදු පීඩනයකට අද ජනතාව පත්කරලා තිබෙනවා. ඒ නිසා තමයි අද රුපියල් 100ක රීලෝඩ් එකක් ගත්තොත් 40ක් තියෙන්නේ බදු. පෙට්‍රල් ලීටරයක් 138කට ගන්නා විට රුපියල් 70කට වඩා තිබෙන්නේ බදු. දැන් මොකද සිද්ධවෙලා තියෙන්නේ  ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත අධික ලෙස බදු පනවන්න සිදුවෙලා. ඒක ජනතාවට බරක්, ව්‍යාපාරිකයන්ට බරක්; රාජ්‍ය සේවකයන්ට බරක්; ඒක පෞද්ගලික අංශයේ රැකියාව කරන සේවකයාට බරක්. අපි කියන්නේ බදු මුළුමනින්ම ඉවත් කරනවා කියන එක නොවෙයි.

සාධාරණ බදු ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන. ලෝකයේ තිබෙන සාධාරණ බදු නිර්ණායකය කුමක්ද? ඍජු බදු 80%ක් වෙන්න ඕන. වක්‍ර බදු 20%ක් වෙන්න ඕනෑ. වක්‍ර බදු කියන්නේ සියලු පුරවැසියන්ට ගහන බදු. චැට් කියන්නෙ වක්‍ර බද්දක්. අපි සීනි කිලෝ එකක් ගත්තොත් සීනි කිලෝ එකකට රුපියල් 15/-ක බද්දක් තියෙනවා නම්, ගමේ අහිංසක ගොවියා ගිහිල්ලා සීනි කිලෝ එකක් ගන්න විට රුපියල් 15/-ක බද්දක් ගහලා. ට්‍රිලියනපතියා සීනි කිලෝ එකක් ගන්නත් රුපියල් 15යි බද්ද. ඒ තමයි වක්‍ර බදුවල හැටි. ආදායමේ විෂමතාවය. ආදායම් බෙදීයාම ගැන කිසිදු භේදයකින් තොරව ධනවත් දුප්පත් හැම දෙනාටම ඒ බද්ද වදිනවා. ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා.

අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර. ඊළඟ පියවර රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම. අද රාජ්‍ය ව්‍යවසායයන් විශාල පාඩුවක් ලබනවා. ඒ පාඩුව පියවා ගන්න හදන්නේ ජනතාව මත බදුබර පටවලා. ‘එයාර් ලංකා’ ආයතනය පවරා ගන්නේ 2008 අවුරුද්දේ. ඒක පවරා ගන්නේ ව්‍යාපාරයක් හැටියට නොවෙයි. ගුවන් සේවය දියුණු කරන සැලැස්මක් හදලා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා එංගලන්තේ ගියා. හදිසියේ එන්න වුණා. එයාර් ලංකා එකෙන් ෂීට් ඉල්ලුවා. එතකොට ‘එයාර් ලංකා’ එක පාලනය කළේ ‘එමිරේට්ස්’ ආයතනයෙන්. ඒකේ ප්‍රධානියා කිව්ව ඔබතුමාටයි තව හතර දෙනෙකුටයි ෂීට් දෙන්නම්. ඔක්කෝටම දෙන්න බැහැ  කියලා. අනෙක් කට්ටිය ඊළඟ ගුවන් යානයේ ගේන්නම් කිව්වා.

මහින්ද මහත්තයාට ඒකට හොඳටම කේන්ති ගියා. එයා ලංකාවට ඇවිල්ලා ‘එමිරේට්ස්’ ආයතනයට කිව්වා අර ප්‍රධාන නිලධාරියාව මාරුකරන්න කියලා. ‘එමිරේට්ස්’ ආයතනය කිව්වා අපේ ප්‍රතිපත්තිය ඒකයි, ටිකට් වෙන්කරලා තිබෙන ගුවන් යානයක එකපාරම ටිකට් වෙන්කරන්න බැහැ. එහෙම කළොත් ගුවන් සමාගමට නඩු පැවරෙනවා. ඒ නිසා ඒක කරන්න බැහැ කියලා. ඊට පස්සේ ප්‍රධාන විධායක නිලධාරියාට ලංකාවෙන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ එමිරේට්ස් ආයතනය කිව්වා අපි එයාව යවන්නේ නැහැ. ඕන නම් එමිරේට්ස් ආයතනය ගන්න කියලා. ඒ නිසා එයාර් ලංකා එක පවරා ගත්තේ ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිව නොවයි. වෙළඳ දැක්මක් ඇතිව නොවෙයි. සංවර්ධන ඉලක්කයක් සහිතව නොවෙයි. දැන් සිද්ධවෙලා තියෙන්නේ මොකක් ද? 2009 අවුරුද්දෙ පාඩුව බිලියන 9.3යි. 2012 දී 24.9%යි. 2014 දී බිලියන 32යි. 2015 දී බිලියන 16යි. 2016 දී බිලියන 12යි. 2017 දී බිලියන 28යි. 2018 දී බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6කම පාඩුව බිලියන 142යි. කෝටි 14,200යි. අපේ රටේ ඉස්පිරිතාල ආසන්න වශයෙන් 650යි තියෙන්නේ. මේ සෑම ඉස්පිරිතාලයකටම කෝටි 25 ගාණේ දෙන්න පුළුවන් ධනය. මේ ධනය නාස්ති කරනවා. ඒ නාස්ති කරන ධනය එකතු කර ගන්නේ කොහොමද? ජනතාවට බදු ගහල. අන්න බදු වැඩිවීමට එක හේතුවක්. විදුලි බලමණ්ඩලයේ පාඩුව කෝටි 2900යි. සිපෙට්කෝ එකේ පාඩුව කෝටි 10,400යි. ජලසම්පාදනයේ පාඩුව මිලියන 568යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි.

සතොසෙ පාඩුව බිලියන 02යි. ෆුඩ්සිටියත් බඩු විකුණනවා. සතොසත් විකුණනවා. කාගිල්ස් එක ලාභ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොස 2018 පාඩුව කෝටි 200යි. ඒවායේ වංචාව, දූෂණය, නාස්තිය ඔඩු දුවලා. මේ විනාශ කළ ආයතනයන්වල පාඩුව ජනතාවගේ බදු මුදල්වලින් පියවන්න හදනවා. ඒකතමයි සිද්ධ වෙන්නේ. ජනතාවට හොඳ ජීවිතයක් ගතකළ හැකි වන්නේ, ආදායමට සරිලන බද්දක් වැදීමෙන්. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලැබීමෙන්. රාජ්‍ය ආයතනවල පාඩුව අවම කිරීමෙන්. එම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන්.

අපි මේ වංචාව – දූෂණය නතර කරනවා. ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් පරෙස්සම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා තමුන්නාන්සේලාගේ බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා.

අද අපේ රටේ ආදායම් බදු ෆයිල් තිබෙන්නෙ දෙලක්ෂ හැත්තෑදහසයි. හැම අයවැය ලේඛනයකින්ම මේ දෙලක්ෂ හැත්තෑදහස පට්ටා ගහන්න තමයි හදන්නේ. මේ ෆයිල් ප්‍රමාණය වැඩිකර ගන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් දිරිගන්වලා ඔවුන්ගේ ප්‍රමාණය වැඩිකරන්න ඕනෑ. මල්වගාවෙන්, අන්නාසි වගාවෙන් මැණික් වෙළඳාමෙන්, කුරුඳු වගාවෙන්. අපි කුරුඳු පටවනවා වෙනුවට කර්මාන්තයක් හැටියට සංවර්ධනය කරලා විශාල විදේශ වෙළඳපොළ කොටසකට අලෙවිකරලා විශාල ආදායමක් රටට ගේන්න පුළුවන් ක්ෂේත්‍ර. මේ ක්ෂේත්‍රවලට නව ආයෝජනයන් කැඳවන්න ඕනෑ.

අපි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආරාධනය කරනවා, අපේ පාලනයක් යටතේ ඔබලාගෙ ධනය ආයෝජනය කරන්න. අපි නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරනවා. ඒවාට අදාළව රැකියා නිර්මාණය වෙනවා. රටේ ජාතික ධනය වැඩිවෙනවා. රටේ ආදායම වැඩිවෙනවා. අන්න එතනට බද්දක් ගහනවා. බද්දක් අයකර ගැනීමට පුළුවන් අන්දමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් නිර්මාණය කරන්න ඕනෑ.”

....


අදහස්

6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0