මේ ආණ්ඩුවට චෝදනා තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තියෙනවා

Click to
follow

පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් වාමාංශික පෙරමුණ ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග පක්ෂ පාට මාරු කිරීම් ද වැඩි වෙමින් පවතී. එවැනි පසුබිමක ජාතික ජනබලවේගය සමග එක්වීමට ජයම්පතී වික්‍රමරත්න මන්ත්‍රීවරයා ද තීරණය කර තිබේ. එම තීරණයට හේතුව ගැනත් වත්මන් දේශපාලන තත්ත්වය ගැනත් පැහැදිලි කරමින් හෙතෙම එහා ඉවුරට එක්වේ.

* එජාප ලැයිස්තු මන්ත්‍රීවර‍‍යෙක් ලෙස පාර්ලිමේන්තුවට ගිහින් ඔබ මෙවර ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට සහය පළ කරනවා. හේතුව මොකක් ද?

මම එක්සත් වාමාංශික පෙරමුණේ සාමාජිකයෙක්. අපේ පක්ෂය වාමාංශික පක්ෂයක් නිසා දීර්ඝ කාලයක් පුරා අපි වාමාංශික කඳවුර ශක්තිමත් කරන්න වැඩ කටයුතු කරලා තියෙනවා. අද අපට තියෙන ප්‍රශ්නය තමයි පැහැදිලි අධිකාරිවාදී තර්ජනය. ඒ ගෝඨාභය රාජපක්ෂ කියන හිටපු මිලිටරි නිලධාරියාගෙන්. ඔහු මෑතක් වනතුරුත් ඇමෙරිකානු පුරවැසියෙක්. ඔහුගේ අතීත වාර්තාව ඉතා ම නරකයි.

ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරපු කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බලවත් ලෙස සීමා කළ කෙනෙක්. ඔවුන්ට ජනවරමක් ලැබුණොත් මොකද වෙන්නේ කියලා අපට හිතාගන්න පුළුවන්. ඒ නිසා වාමාංශිකයන් විදිහට අප එම අනතුර දකිනවා. අපේ පක්ෂයේ ඒකමතික මතය වුණේ ජනපති අපේක්ෂකයා ලෙස කරූ ජයසූරුය මහතා එයි කියලයි. නමුත්, ඒක වුණේ නැහැ.

* ඔබ කණ්ඩායම කරූ ජයසූරිය කථානායකවරයා අපේක්ෂකයා ලෙස සුදුසු යැයි යෝජනා කිරීමට හේතුව මොකක් ද?

එතුමා, රට ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීම සඳහා ලබාදීපු දායකත්වය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ලබාදුන් දායකත්වය සුවිශේෂීයි. එසේ ම දින 52 ආණ්ඩු පෙරළිය තුළ එතුමා පෙන්නුම් කළ නායකත්වය සහ ජාතික සංහිඳියාවට ඇති නැඹුරුව වැනි කාරණා නිසා එතුමා සුදුසුයි කියන තැනට අපි ආවා. ඒ විතරක් නොවෙයි, විධායක ජනපති ධුරය අහෝසි කරන්නට එතුමාට ඇති ප්‍රශ්න කළ නොහැකි කැපවීම සහ ධනපති පක්ෂයක සාමාජිකයකු වුවත්, ඔහු අපේක්ෂකයා වුණා නම් අපේ පක්ෂයේ සහයෝගය ලබා දෙන්න කිසිදු කරදයක් වෙන්නේ නැහැ. අද වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකයා වෙලා තියෙනවා. නමුත්, ඔහුට කරූ ජයසූරිය මහත්තයා වගේ ඒ ප්‍රශ්නවලට දීර්ඝ කාලීන කැපවීමක් තිබුණා නම් අපට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

* ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙක්. නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට නොහැකි වුණේ ඇයි?

රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක අපට ආර්ථික කාරණා ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. නමුත්, ඔහු ව්‍යවස්ථා වෙනසකට දක්වන දායකත්වය ගැන සතුටු වෙනවා. අවාසනාවකට පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහාය නො ලැබුණ නිසා, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය ව්‍යර්ථ වුණා. මුලින් එවැනි වෙනසකට කැමැත්ත පළ කළ ශ්‍රීලනිපය පසුව සම්පූර්ණයෙන් විධායක ජනපති ධුරය වෙනස් කළ නොහැකි යැයි පවසමින් එම තීරණය වෙනස් කළේය.

එසේ ම බලය බෙදාහැරීම ගැන ශ්‍රීලනිප යේ දකුණේ පළාත් සභා 7 ම මහ ඇමැතිවරු ඉතාමත් ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් කළා. දෙමළ ජනතා සන්ධානය පවා ඒ යෝජනා පිළිගත්තා. ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැනි තත්ත්වයක් කවදාවත් උදා වෙලා තිබුණේ නැහැ. කොහොම නමුත්, අවසානයේ ශ්‍රීලනිපයේ නිල ස්ථාවරය වුණේ, ඔවුන්ගේ මහ ඇමැතිවරුන් තරමටවත් ඉදිරියට නොගිය ස්ථාවරයක්. එතැනින් එහාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය අඩපණ වුණා.

එජාපයටත් මේ සම්බන්ධයෙන් මීට වඩා කැපවීමක් තියෙන්න තිබුණා. ඒ ගැන පාර්ලිමේන්තුවේදීත් කිව්වා. අන්තිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය කරගහගෙන යන්න වුණේ සුමන්තිරන් මන්ත්‍රීතුමාටත්, මටත් විතරයි. ඒ හින්දා සමහරුන්ට අපි වීරයෝ වෙලා තවත් සමහරුන්ට අපි ද්‍රෝහියෝ වුණා. ඒ නිසා මාධ්‍යයෙන් අපට පහර දුන්නා.

* අනුර කුමාර දිසානායකට සහය පළ කරන්නේ 20 වැනි සංශෝධනය ගෙන එන්න ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ඉදිරියට යනවා නම්, විධායක ජනපතිධුරය අහෝසි කරනවා නම්, කවුරු වුණත් අපට කමක් නැහැ. අපි සහය දෙනවා. ‍‍මේ සියල්ල සලකලා තමයි අපි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට සහය පළ කරන්නේ. සහය පළ කරනවා හා සමාන උනන්දුවකින්, රටේ ජනතාවට අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ ශක්තිමත් ම අපේක්ෂකයාට දෙවැනි මනාපය දීලා තමන්ගේ ඡන්දය අපතේ නොයන ආකාරයට කටයුතු කරන්න කියලා.

* ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාට මිලිටරි පාලකයෙක්, ඇමරිකානු පුරවැසියෙක් කියලා කිව්වා. නමුත් ඒ කාරණා ඔප්පු වෙලා නැහැ නේද?

මම දැක්කා වියත් මඟ වැඩසටහනකදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉස්සරහා තියාගෙන හිටපු හමුදා නිලධාරියෙක් කියනවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට දායකවන අයට 88/89 වගේ, මිනී පෙට්ටිය දණහිසෙන් ඉහළට ඔසවාගෙන යන්න නොදුන්නා වගේ කරන්න ඕනෑ ලු. ඔය කියන කාරණයේ අමාරුව මම දන්නවා. මොකද මගේ ඥාතීන් දෙදෙනෙක් මරලා දැම්මා.

ඔවුන්ගේ මිනී පැදුරේ දාගෙන දණහිසෙන් ඉහළට ඔසවන්නෙ නැතිව මාරස්සන නගරය හරහා සුසාන භූමියට අරන් ගියා. එහෙම දේවල් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධාන සහායකයින් කියන්නේ. සරත් වීරසේකර කියලා තිබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දායක වන හැමෝටම නඩු අහලා ද්‍රෝහීන් ලෙස මරණ දඬුවම දෙන්න ඕනෑ කියලා. ඒ නිසා ආණ්ඩුවක් ගත්තොත් අධිකරණයට මොනවා වේවිද කියලා අපට හිතා ගන්න පුළුවන්. තේනුවර සහ වියන්ගොඩ යන දෙදෙනාට දැන් තියෙන තර්ජනය අලුත් දේවල් නෙවෙයි. මටත් අමෙරිකානු දුරකථනයකින් තර්ජන එල්ල වුණා.

ඒවා මම පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ රඟදැක්වෙන්නේ පරණ කතන්දරයක් ම තමයි. මේ දෙන්නාට දෙන බෙහෙත සුදු වෑන් කියලා කෙළින්ම කියනවා. මේ එන්නේ ෆැසිස්ට් මාදිලියේ තර්ජනයක්. ඒ නිසා මේ තර්ජනය පරාජය කිරීමට වාමාංශික කඳවුරට තද බල වුවමනාවක් තියෙනවා. වත්මන් රජයට බරපතළ චෝදනා තිබුණත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තිබෙනවා. ඒ නිසා අපි කුමන ආකාරයට ඡන්දය භාවිතා කළත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරන්න ජනතාවට කියන්නේ. පුද්ගලයා වශයෙන් නොවෙයි, ඔහු පිටුපස තිබෙන අධිකාරිවාදී පාලන ක්‍රමය පරාජය කරන එකයි.

* හිටපු හමුදා නිලධාරි‍‍යෙක් උපුටා දක්වමින් 88/89 කාලය ගැන ඔබතුමා කියනවා. ඒ කාලයේ හිටපු ජනපතිවරයාගේ පුතා මෙවර ජනපතිවරණයට තරග කරනවා ?

මට මේ ගැන පෞද්ගලික අත්දැකීම් තියෙනවා. බර්නාඩ් සොයිසා, කේ.පී. සිල්වා, රාජිත සේනාරත්න සහ මම මහනුවර මහ මළුව ඉදිරිපිට උපවාසයක් කරපු වෙලාවේ පොලිසියෙන් අපිට පහර දුන්නා. එදා අපි නඩුවක් දැම්මා. මේ සිද්ධිය පුවත්පත්වල වාර්තා කළාට පස්සේ, මට මරණ තර්ජනය කළා. ඊට පස්සේ මම හිටියේ හැංගිලා. ඒ නරක අත්දැකීම් අපිට තියෙනවා. 71 මරණ ලැයිස්තුවේ දෙපාරක් මම හිටියා. මේ හැම දෙයකින් ම අපි පීඩා වින්ඳා. ඒ නිසා මේ සියල්ල දිහා සාපේක්ෂව බලන්න ඕන. ඔබ නොකියා ගේන තර්කය තමයි, ඒ පැත්තේ එහෙම කට්ටිය ඉන්නවා, මේ පැත්තෙත් ඉන්නවා නේද? කියන එක. ඊට පස්සෙ ඇයි ජේවීපී එකට සහය දෙන්නේ කියලා. මෙහෙම කතා කරන්න ගියොත් ඒක කෙළවරක් නැති සාකච්ඡාවක් වෙනවා. අවසාන වශයෙන් අපි සාපේක්ෂව මේ ගැන තීන්දු කරන්න ඕනෑ.

*19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද්ව්ත්ව පුරවැසියකුට ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ කියලත්, වයස අවුරුදු 35ට නොඅඩු කෙනෙක් විය යුතුයි කියලත් ඇතුළත් කළේ ඇයි?

මේ ව්‍යවස්ථා සංශෝධනයට දායක වුණා කියලා ඒ ගැන මටත් චෝදනාවක් තියෙනවා. පළමු කාරණය තමයි ජනපතිවරයකුට වාර දෙකකට නොවැඩි ගණනක් තරග කළ නොහැකිය කියන එක, ඊළඟට වයස 30 තිබුණ එක 35 කරලා රාජපක්ෂ පවුලේ කෙනෙක්ට තරග කරන්න තියෙන අවස්ථාව නැවැත්තුවාය කියන කාරණය, ද්ව්ත්ව පුරවැසි සීමාව ඇතුළත් කිරීම නිසා අපට චෝදනා නඟනවා.

මේ චෝදනාවලට මට දෙන්න තියෙන උත්තරය තමයි, මම 19 වැනි සංශෝධනයට දායක වුණ බව ඇත්ත. ඇතැම් සංශෝධනවල අදහසත් මගේ. ඒ ගැන මම සතුටු වෙනවා.

මේ සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙලා, කැබිනට් අනුකාරක සභාවේ උපදෙස් මත අනුමත වෙලා, පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දෙන් අනුමත වුණා. මම මේ සංශෝධනයට දායක වුණා සේම අනෙක් අයත් මේ දේට දායක වුණා. මේ සංශෝධනය වගන්තියෙන් වගන්තිය පාර්ලිමේන්තුවේ කියවලා අනුමත කරගත්තේ. සමහර සංශෝධන ඉවත් කරලාත් තියෙනවා. දෑත් ශක්තිමත් කරන වගන්තිය විපක්ෂය ඉවත් කරගත්තා.

* දින පනස් දෙකේ ආණ්ඩුව කාලයේ දී, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බරපතළ ලෙස දෝෂදර්ශනයට ලක් වුණා නේද?

මුල් 19 වැනි සංශෝධනයේ කෙටුම්පතේ මේ ප්‍රශ්න තිබුණේ නැහැ. එහි තිබුණේ ජනාධිපති බලය අඩු කරලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නයි. නමුත් අවස්ථා තුනක දී මේ කෙටුම්පත සංශෝධනය කළා. එක්සත් ජාතික පෙරමුණේ සමහර අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ කෙටුම්පතේ සැර බාල කළා. එහෙම කරලා පැය දෙකක කාලයක් නීති කෙටුම්පත්කරුටයි මටයි දීලා, ඒ අයගේ තීන්දු අනුව සංශෝධනය කරන්න කිව්වා.

ජී. එල් පීරිස් මහත්තයාට අධීක්ෂණය කරන්න කියලා දුන්නා. එහෙම කරලා හවස අරන් ගිහින් කැබිනට් මණ්ඩලයේ දී අනුමත කරගත්තා. මේ සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සීමා වැටුණා. පාර්ලිමේන්තුවට ගියාට පස්සෙත්, මම කලින් කිව්වා වගේ වගන්ති ගණනාවක සැර බාල කළා. ඒකට හේතුව ආණ්ඩුවට 2/3 තියා සරල බහුතරයක්වත් නොතිබීමයි. ඒ නිසා 19 වැනි සංශෝධනය ඉතා ම හොඳයි, නමුත් ප්‍රශ්න ටිකකුත් තියෙනවා. මේ කාරණය මම හැමදාම කියනවා.

*19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට පිළිලයක් කියලා ජනපතිවරයාත් කිව්වා ?

එතුමා එහෙම කිව්වා විතරක් නෙවෙයි, නම් තුනකුත් කිව්වා, සුමන්තිරන් සහ පාක්‍යසොත්ති සහ සරවනමුත්තු යන තුන්දෙනාට ඕනෑ විදිහට මේවා වෙනස් කරගත්තා කිව්වා. එහෙම කිව්ව එතුමා තමයි 19 වැනි සංශෝධනය ගේන්න උදව් කළේ. අද එතුමා එහෙම කියනවා නම්, කියන්න තියෙන්නේ, එතුමත් රාජපක්ෂ කඳවුරට වැටිලා කියලයි.

 

දුමින්ද අලුත්ගෙදර

....


අදහස්

2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0