හුස්ම හිරවී වැනසෙන ලෝකය

Click to
follow

යම් හෙයකින් අම්ල වැසි ඇද හැලුණ හොත් ශාක හා සත්ත්ව ජීවීන් විනාශ විය හැකිය. විශේෂයෙන් ම ජල මාර්ගවල මත්ස්‍යයන්, ජලජ ශාක හා වන ජීවීන් අනතුරට ලක් වේ. මානවයාගේ පැවැත්මට ද එය අනතුරුදායකය. අම්ල මිශ්‍ර ජලය පසට එකතුවීමෙන් පසෙහි රසායන සංයුතිය වෙනස් ව එම පරිසර පද්ධතියේ ශාක හා සත්ත්ව ජීව විශේෂයන් විවිධ ආබාධවලට හෝ මරණයට පත්වේ. තවද ආම්ලික ජලය අවට ජල මාර්ගවලට එකතු වීම ජලජ ශාක හා සත්ත්ව ජීව විශේෂයන්ගේ යහ පැවැත්මට තර්ජනයකි.

වායු දූෂණය වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රධාන පාරිසරික ගැටලුවකි. ලෝකය පුරා වාර්ෂික ව විවෘත සහ ගොඩනැගිලි තුළ ඇතිවන වායු දූෂණය හේතුවෙන් මිලියන හතක පමණ ජනතාව මිය යති. දකුණු - නැගෙනහිර ආසියාවේ මිලියන දෙකකට අධික පිරිසක්, බටහිර පැසිෆික් කලාපයේ මිලියන දෙකකට අධික පිරිසක්, අප්‍රිකානු කලාපයේ මිලියනයකට අධික පිරිසක්, මැදපෙරදිග කලාපයේ 500, 000 ක් යුරෝපයේ 500, 000 ක් සහ අමෙරිකානු කලාපයේ 300, 000 ක් පමණ මියයති. ගෝලීය මරණ සංඛ්‍යාවෙන් 9% ක් වායු දූෂණය නිසාය.

එය වෙනත් රෝගාබාධ පැතිරයාමට ද හේතු වේ. සෑම සතියක ම බ්‍රිස්ටල් (Bristol) නගරයේ පුද්ගලයන් පස් දෙනකු වායු දූෂණය නිසා මිය යන වග ලන්ඩන් කිංග්ස් පර්යේෂණ ආයතනය පවසයි. ගෘහ දර පිළිස්සුම, ගල් අඟුරු සහ ෆොසීල ඉන්ධන දහනය නිසා නයිට්‍රජන් ඩයොක්ෂයිඩ් (nitrogen dioxide) වායු දූෂකයක් ලෙස වර්ධනය වී ඇතැයි පැවසේ. සෑම වසරක ම බ්‍රිස්ටල් නගරයේ ද පුද්ගලයන් 260 දෙනෙක් බ්‍රිතාන්‍ය පුරා පුදගලයන් 36, 000 ක් පමණ ද වායු දූෂණය හේතුවෙන් මිය යන වග එම වාර්තාවේ සටහන් වේ.

ස්වසන පද්ධතිය ආශ්‍රිත ආබාධ, පෙනහළු පිළිකා, හෘදයාබාධ සහ දියවැඩියාව අතුරු අන්තරා වෙයි. වායු දූෂක නිසා වයස මාස හයට අඩු දරුවන්ගේ මරණ අනුපාතය ද ඉහළ ගොස් ඇත. එහෙයින් අධික දුමාරයක් මුදාහරින ඩීසල් වාහන 2021 වසර දක්වා නගරයට ඇතුළුවීම උදෑසන 7 සිට සවස 3 දක්වා වළක්වාලීමට බලධරයෝ පියවර ගත්හ. 2018 - 2019 වසර අවසානයේ වායු දූෂණය විසින් ඇති කළ ආපදා තත්ත්වය නිසා ඉන්දියාවේ නව දිල්ලි නගරය පමණක් නොව චීනයේ බීජින් පුරවරය හා තවත් ජනාකීර්ණ නගර 30 ක සියලු වැඩ කටයුතු අඩාල වූ අතර, රතු අනතුරු ඇඟවීමක් (red alert) නිකුත් කිරීමට එම රාජ්‍යයන් පියවර ගත්තේය. බීජින් ඇතුළු නගර 20 ක දූෂිත පරිසරය මානව සෞඛ්‍යයට ඉතා අනතුරුදායක බව චීන රජය නිවේදනය කළේය. ඉන්දියාවේ නගර 46 ක් මිලියන ගණන ජනගහනයක් දක්නට ලැබෙන අතර, එම නගර පාරිසරික වශයෙන් ඉතා දූෂිතය. රාජ්පූර්, චතිස්ගාර්, ඝාෂියාබාද්, යනු අලහබාද් හා දිල්ලි නගරය මෙන් ම දූෂිත පුරවරයන්ය.

ඉන්දියාවේ වායු දූෂණය

නව දිල්ලි පුරවරයට අයත් බල ප්‍රදේශය තුළ මිලියන 25 කට අධික ජනගහනයක් ජීවත් වෙති. රජයේ වාර්තාවලට අනුව පසුගිය 17 වසර තුළ ඇති වූ දරුණුම වායු දූෂණය නොවැම්බර් මාසයේ නව දිල්ලි නගරය තුළ පැතිර ගියේය. යාබද ප්‍රාන්තවල අස්වැන්න නෙළා ගත් පසු ඉපනැල්ලට හා පිදුරුවලට ගිනි තැබීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි දිල්ලි ප්‍රාන්ත රජය පවසයි.

එහෙත් එම දේශපාලන දෙඩවිල්ල සැබෑ සිදුවීමෙන් බොහෝ දුරස්ත බව දිල්ලි ජනයා දනිති. සෑම දෙයකින් ම වාසි ගැනීමට මාන බලන දේශපාලකයන් එම ඛේදවාචකයේ වගකීම මඟ හරිමින් වරද වෙනත් අයකු වෙත පැවරීමට වෙර දැරීම පටු දේශපාලනයේ මුග්ධභාවය ප්‍රදර්ශනය කිරීමකි. දිල්ලි ප්‍රාන්ත රජයේ දේශපාලන ඥානයේ පරාසය එසේ වුව ද නගරයේ කෙළවර පිහිටි ගල් අඟුරු බලාගාර දින දහයක් වසා තබන බව ද ඩීසල් බලයෙන් ක්‍රියාත්මක විදුලි උත්පාදක යන්ත්‍ර සියල්ලට දින දහයක තහංචියක් ද පැනවෙයි. තවද පැරණි ලොරි රථ නගරයට ඇතුළුවීම සීමා කිරීමට හා පුරවරයට ප්‍රවේශවීමේ දී පෞද්ගලික රථ වාහන සඳහා කාලසටහනක් සැකසීමට ද පියවර ගන්නා බව ද බලධාරීහු පවසති.

නොවැම්බර් 05 වන දින වන විට දිල්ලි වායු ගෝලයේ කියුබික් මීටරයක දූෂිත අංශූමය ද්‍රව්‍ය (particulate matter)- (PM) මිලි ග්‍රෑම් 900 දක්වා ඉහළ යාමක් දක්නට ලැබිණි. බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන තම සේවකයන්ට සේවා ස්ථානවලින් බැහැරට නොයන ලෙස අවවාද කළහ. දූෂිත වායු ආග්‍රහණය කිරීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ගැන අනතුරක් එම ප්‍රකාශ තුළ දක්නට ලැබිණි.

කොළඹ නගරය

කොළඹ නගරයේ දිනෙන් දින ඉහළ යන වාහන තදබදය විසින් පුළුස්සා දමන ෆොසීල ඉන්ධන නිසා වායු ගෝලය දූෂණය වෙමින් පවතියි. මහනුවර නගරය ද පාරිසරික දූෂණය අතින් ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත. අධික ෆොසීල ඉන්ධන දහනය මගින් වායු ගෝලයට විමෝචනය වන ඊයම්, රසදිය, සල්ෆර් ඩයොක්සයිඩ්, සියුම් ද්‍රව්‍ය හා ඔසෝන එක් ව සිදුවන රසායනික ප්‍රතික්‍රියාව හේතුවෙන් නයිට්‍රජන් ඩයොක්සයිඩ් නිර්මාණය වෙයි.

එය භයානක ලෙස පොදු සෞඛ්‍ය අනතුරට පමුණුවයි. ශරීරය අභ්‍යන්තරයේ අවයව තුළ රසදිය තැන්පත්කොට මොළයට අනතුරු පමුණුවා අවසානයේ මරණය ළඟා කරයි. තවද නගර ආසන්නයේ ඇති ජලාශ හා ජල මාර්ග මත මෙම විෂ රසායන තැන්පත් වීමේ අවදානමක් ද ඇත. එම ජලාශ ආශ්‍රීත ව වාසය කරන ජලජ ජීවීන් විශේෂයෙන් ම මත්ස්‍ය ප්‍රජාවගේ ශරීර අවයව තුළට විෂ රසායන කාන්දු වෙයි. ඔසෝන හා සියුම් ද්‍රව්‍ය කුඩා දරුවන්ගේ මෙන් ම වැඩිහිටියන්ගේ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි.

ෆොසීල ඉන්ධන භාවිත කරන වාහන මගින් බහු සුවඳැති සංයුතීන් (polyaromatic compounds) වායු ගෝලයට මුදා හැරේ. එය පිළිකා කාරකයකි. එමගින් හෘද රෝග හා හෘද ආශ්‍රිත රෝග ව්‍යාධීන් ඇති වේ. වායු දූෂකවලින් මානව සෞඛ්‍යයට හානි පමුණුවන ආසන්න ම ලක්ෂණ ලෙස ඇස්, නාසය, උගුරේ අපහසුතා හෝ රුදාවන් ඇති විය හැකිය. සෙම් ගෙඩි හා ශ්වසන පද්ධතියේ ආසාදන ඇති කළ හැකිය. අකස්මිකතාව, සෙම්ප්‍රතිශ්‍යාව, ඉරුවාරදය හා මානසික ආතතීන් වැනි කෙටි කාලීන අපහසුතා ද ඇති කරයි. දිගු කාලීන ව නිදන්ගත ශ්වසන පද්ධතියේ ව්‍යාධි, පෙනහළු පිළිකා, හෘදයාබාධ, මොළය අනතුරට ගොදුරුවීම, ස්නායු ආබාධ, ආමාශය හා වකුගඩු ආබාධ ඇති කරයි.

කුඩා දරුවන් වායු දූෂණයේ ප්‍රධානතම ගොදුරුය. ඔවුන්ගේ ශරීරයේ සියුමැලි ස්වභාවය, ප්‍රමාණයෙන් කුඩාවීම, ශරීර වර්ධනයට අවශ්‍ය හෙයන් වැඩිහිටියන්ට වඩා වායුව ආශ්වාස කිරීම හා වැඩි කාලයක් එළිමහනේ ක්‍රීඩා කිරීම වැනි හේතු සාධක නිසා දරුවන් අනතුරට ලක්වීමේ ප්‍රවණතාව වැඩිවීමට හේතු වේ. ඉතා අනතුරුදායක විෂ රසායන ලෙස බෙන්ෂීන් හෝ විනෙයිල් කොලෝරයිඩ් වායු ගෝලයේ බහුල වීම, නිසා එම විෂ වායු ආශ්වාස කිරීමෙන් පෙනහළු පිළිකා වර්ධනය වෙයි. එමෙන් ම දරු කළල ගබ්සාවීම, වඳභාවය ඇතැම්විට ක්ෂණික ව ශ්වසන පද්ධතියේ හටගන්නා හුස්ම ගැනීමේ අපහසුතා මගින් හදිසි මරණය ද ළඟා විය හැකිය.

සෞඛ්‍ය ගැටලු

දූෂිත වායු ධාරාව පැතිර යාමෙන් ප්‍රජනන සෞඛ්‍යට හා ලිංගික ජීවිතයට අහිතකර බලපෑමක් ඇති කරන බව සෞඛ්‍ය අංශ දන්වා සිටී. වායු දූෂණය ලිංගික ක්‍රියාකාරිත්වය 30% කින් පහත දමයි. වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය තුළ බහු චක්‍රීය දුර්ගන්ධය මුසු හයිඩ්‍රෝකාබන් (polycyclic aromatic hydrocarbons) කැඩිමියම් (cadmium) රසදිය (mercury) ඊයම් (lead) වැනි බැර ලෝහ විශාල ප්‍රමාණයක් රැඳී තිබේ. ශරීරයේ හෝමෝන සමබලතාව දුර්වල කරයි. ඉන්දියාවේ පුරුෂ වඳභාවය ස්ත්‍රී දුර්වලතාවයට වඩා 15% ඉහළ ගොස් ඇත. උක්ත බැර ලෝහ නිරතුරු ව ආග්‍රහණය කිරීමෙන් පුරුෂ ශූක්‍රාණු නිසරුවීම එයට හේතුවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරුවලට අනුව නාගරික වායු දූෂණය නිසා ලොව පුරා මිලියන ගණනක ජනයා වාර්ෂික ව මරණයට පත් වෙති. නාගරික ජනයාගෙන් 80% ක් දූෂිත වායුව ආග්‍රහණය කරති. මෙම අවාසනාවන්ත තත්ත්වය අවිධිමත් සංවර්ධනය නිසා දුප්පත් රාජ්‍ය මුහුණ දෙන ගැටලුවකි. විශේෂයෙන් ඉන්දියාව හා චීනයේ අධික ජනගහනය පුරවර වටා රොක්වීම මෙම ගැටලුව තව තවත් උග්‍රවීමට හේතුවේ.

වායුගෝලයේ අපවිත්‍ර දූෂ්‍ය කාරක ප්‍රථමවරට කියුබික් මීටරයක මිලි ග්‍රෑම් 1000 ක අගයකින් ඉහළ යාම දකුණු දිල්ලි ප්‍රදේශයෙන් වාර්තා විය. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ආරක්ෂක ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළ යාමකි. ඉතා අඩු ආදායම් ලබන දුප්පත් රාජ්‍යයන් හි නගර වායු දූෂණයෙන් දැඩි පීඩාවට ලක්වේ. නවතම දත්ත අනුව රාජ්‍ය 108 ක එවැනි නගර 97% ක් (4300) තිබේ. සෑම පුද්ගලයන් 9/10 ක් ම දූෂිත වායුව ආශ්වාස කරන වග ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයට අනුව පාරිසරික ගැටලු නිසා ලොව පුරා ඇතිවන මරණවලින් 9% වායු දූෂණය මගින් සිදු වේ. තවද වාර්ෂික ව දරු කළල මිලියන 7 ක් පමණ විනාශවීමට හේතුව වායු දුෂණය යි. වසර කීපයකට පෙර සෑම වසරක ම වායු දූෂණය නිසා මරණ මිලියන දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වීය. එම මරණවලට හේතුව පෙනහලු ආශ්‍රීත සෞඛ්‍ය ගැටලු වේ. සෑම මරණ අටකින් එකක් (1/8) වායු දූෂණය මගින් සිදු වේ.

ජීව විශේෂ සහ වායු දූෂණය

වායු දූෂක (pollutant) තුළ රසායනික ප්‍රතික්‍රියා බහුලවීමෙන් ශාක පද්ධතියට හා ගොඩනැගිලිවලට හානිවන අම්ල (acid) නිර්මාණය වේ. ඇතැම්විට වායු දූෂක තුළ සල්ෆියුරික් අම්ල (sulfuric acid) හා ජල වාෂ්ප ඝනීකරණයවීමෙන් වලාකුළු ජනිත වෙයි. ජල වාෂ්ප මත ඉතා අනතුරුදායක විෂ අම්ල (hazards acid) අඩංගු ය. එමගින් අම්ල වැසි නිර්මාණය වේ. යම් හෙයකින් අම්ල වැසි ඇද හැලුණ හොත් ශාක හා සත්ත්ව ජීවීන් විනාශ විය හැකිය. විශේෂයෙන් ම ජල මාර්ගවල මත්ස්‍යයන්, ජලජ ශාක හා වන ජීවීන් අනතුරට ලක් වේ. මානවයාගේ පැවැත්මට ද එය අනතුරුදායකය.

අම්ල මිශ්‍ර ජලය පසට එකතුවීමෙන් පසෙහි රසායන සංයුතිය වෙනස් ව එම පරිසර පද්ධතියේ ශාක හා සත්ත්ව ජීව විශේෂයන් විවිධ ආබාධවලට හෝ මරණයට පත්වේ. තවද අාම්ලික ජලය අවට ජල මාර්ගවලට එකතුවීම ජලජ ශාක හා සත්ත්ව ජීව විශේෂයන්ගේ යහ පැවැත්මට තර්ජනයකි. අම්ල ජලය භූගත ජල මට්ටම දක්වා ගමන් කිරීමේ අනතුර ද ඇතැම්විට තවත් ව්‍යසනය. වර්ෂාවට නයිට්‍රජන් හා ඇතැම් දුෂක ප්‍රවාහනය කිරීමේ සහ ඒවා ජල මාර්ගවල තැන්පත් කිරීමේ හැකියාව ඇත. එමගින් ජල මාර්ගවල ඇල්ගී වර්ධනය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සත්ත්ව හා ශාක ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් විය හැකි ඉතා අනතුරුදායක බැක්ටීරියා පැතිර යයි.

රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් වායු දූෂක තුළ විෂ සහිත ඔසෝන් නිර්මාණය වීමේ අවදානම ඇති වෙයි. එය ඉතා අනතුරුදායක ලෙස පාරිසරික පද්ධතියට හානි පමුණුවයි. ගෝලීය දේශගුණික වෙනස නිර්මාණයවීම සිදුවනුයේ ප්‍රධාන වශයෙන් වායු ගෝලයේ හරිතාගාර (CHs) වායූන්ගේ විශේෂයෙන් ම කාබන් ඩයොක්සයිඩ් වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙනි. වායු දූෂක නිර්මාණය වන්නේ මානවයා ගේ කෑදර පරිභෝජන ක්‍රියාකාරිත්වයෙනි.

....


අදහස්

7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0