දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට

Click to
follow

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට අද(06) දිනයේ ද හැකිවිය.

පිරිමි මීටර් 100 සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වූ හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන සහ චානුක සන්දීප එම ඉසව්වේ නව දකුණු ආසියානු තරඟාවලි වාර්තාවක් ද සමඟින් රන් පදක්කම හිමිකර ගත්තේ ය.

ඒ සඳහා ඔවුන් ගතකළ කාලය තත්පර 39යි දශම 14 කි.

මීට පෙර එම ඉසව්ව තරඟාවලි වාර්තාව ඉන්දියාව විසින් 2004 වසරේ පිහිටුවා තිබිණි.

මීට අමතරව කාන්තා මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාව දිනාගත්තේ ය.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ඒ සඳහා ගතකර තිබූ කාලය තත්පර 44යි දශම 89කි.

එසේම කාන්තා මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට නිලානි රත්නායක සමත්විය. ඒ ඇය මෙවර දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලියේ ශ්‍රී ලංකාවට දිනාදුන් දෙවැනි රන් පදක්කමයි. ඇය පසුගිය දා පැවති කාන්තා මීටර් 1500 ඉසව්වේ ද රන් පදක්කම හිමිකර ගත්තා ය.

මීට අමතරව කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට කෞෂල්‍යා මධුෂානි සමත්විය. ඒ මිනිත්තු 1යි තත්පර දශම 40කින් තරඟය නිමාකරමිනි.

ඒ අනුව මේ වනවිට රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 36ක් සහ ලෝකඩ පදක්කම් 56ක් සමගින් සමස්ත පදක්කම් 112ක් ලබාගෙන සිටින ශ්‍රි ලංකාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවෙයි.

....


අදහස්

12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0