ඉන්දියාව රත්කළ පුරවැසි පනත

Click to
follow

පනත ක්‍රියාත්මක වුවහොත් එය රැගෙන ආ ඇමැති අමිත් ෂාට එරෙහිව තහංචි පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත. කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පවසන්නේ, එය ඉන්දියාවේ බහුත්වවාදී සංකල්පයට එරෙහි වන බවය. එමෙන්ම ඇය එය පටු මනසක් ඇති අයගේ ක්‍රියාවන් ලෙස ද හඳුන්වා තිබිණි. පනත සම්මත වූ ඉකුත් බදාදා ට්විටර් පණිවිඩයක් තබමින් අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, එදින ඉන්දියාවට ඓතිහාසික දිනයක් වූ බවය.

ආන්දෝලනයට තුඩු දී තිබූ පුරවැසිභාවයට අදාළ සංශෝධිත පනත ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළේය. පනතට පක්ෂව ඡන්ද 125 ක් ද, විපක්ෂව ඡන්ද 105 ක් ද ලැබිණි. ඊට දිනකට පෙර එයට පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබුණි. මෙම සංශෝධිත පනත මඟින් ඇෆ්ගනිස්තානය, බංගලිදේශය හා පාකිස්තානය යන රටවලින් ඉන්දියාවට සංක්‍රමණය වන මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට පුරවැසි බව ලබාගැනීමට හැකියාව සැලසේ. කෙසේ වුවද එමඟින් මුස්ලිම් ජාතිකයන්ට අසාධාරණයක් සිදුව ඇති බවට හඬ නැ‍ඟෙමින් ඇත. ඇසෑමය වැනි ප්‍රාන්තවල විරෝධතා පැන නැඟී තිබේ.

නව පනත මඟින් වසර 64 ක් පැරැණි ඉන්දීය පුරවැසි පනත සංශෝධනය කෙරේ. පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා බංගලිදේශය යන රටවල හින්දු, සික්, බෞද්ධ, ක්‍රිස්තියානි ආදී ආගම් අදහන සංක්‍රමණිකයන්ට එමඟින් ඉන්දීය පුරවැසි බව ලබාගැනීමේ හැකියාව සැලසෙනු ඇත. එම රටවලට මුස්ලිම් සංක්‍රමණිකයන්ට ඊට ඉඩ නොලැබීමට එරෙහි වන අය කියා සිටින්නේ අදාළ රටවල බහුතර ජනතාව මුස්ලිම් බවය.

සංශෝධිත පුරවැසි පනතට එරෙහි වන්නේ, එමඟින් ඉන්දීය ව්‍යවස්ථාවේ අනාගමික පදනම උල්ලංඝනය වී ඇතැයි පවසමිනි. කොන්ග්‍රස් පක්ෂය ඇතුළු වී පක්ෂ දේශපාලන පක්ෂ ද, සුළුතර ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් ද, ඇතැම් විද්වතුන් ද, අමෙරිකා ෆෙඩරල් මණ්ඩලය ද එමඟින් මුස්ලිම්වරුන්ට අසාධාරණයක් වී ඇතැයි කියා සිටිති.

පනතට එරෙහි මතවාද

විරෝධතා හා විවේචනවලට ප්‍රතිචාර දක්වන ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා කියා සිටින්නේ ඉන්දියානු මුස්ලිම් ජනයාට කනගාටු වීමට හෝ පසුතැවීමට කාරණයක් නොමැති බවය. ‘මේ පනත ගෙනාවේ පුරවැසිබව ලබාදීමට මිස පුරවැසි බව උදුරා ගැනීමට නොවේ‘ යැයි ඔහු පවසා තිබිණි.

පනත ක්‍රියාත්මක වුවහොත් එය රැගෙන ආ ඇමැති අමිත් ෂාට එරෙහිව තහංචි පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත. කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පවසන්නේ, එය ඉන්දියාවේ බහුත්වවාදී සංකල්පයට එරෙහි වන බවය. එමෙන්ම එය පටු මනසක් ඇති අයගේ ක්‍රියාවන් ලෙස ද ඇය හඳුන්වා තිබිණි.

පනත සම්මත වූ ඉකුත් බදාදා ට්විටර් පණිවිඩයක් තබමින් අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, එදින ඉන්දියාවට ඓතිහාසික දිනයක් වූ බවය. පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ඔහුගේ ප්‍රණාමය ද ඉන් පුදකර තිබිණි.

පනත මඟින් මුස්ලිම්වරුන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසන අයට ඉන්දීය රජය පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය මෙන්ම පාකිස්තානයේ ද මුස්ලිම් ජනයාට අසාධාරණ ලෙස සැලකීමක් සිදු නොවන බවය. එබැවින් මුස්ලිම් ජනතාවට ඒ රටවල සිට ඉන්දියාවට පලා ඒමේ අවශ්‍යතාවක් පැන නොනඟී. එසේම එකී රටවල මුස්ලිම් නොවන ජනකොටස්වලට මින් සහනයක් සැලසීම ද ඉන් අදහස් කෙරේ. එසේ වුවද, මීට එරෙහිව අදහස් දක්වන අය කියා සිටින්නේ ශ්‍රී ලංකාව, මියන්මාරය, චීනය වැනි රටවල සිට ඉන්දියාවට සංක්‍රමණය වී ඇති දෙමළ, රොහින්ග්‍යා හා ටිබෙට් වැසියන්ට ද එය අදාළ නොවී ඇති බවය.

ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක පුරවැසි පනත 1955 දී සම්මත කරන ලද්දකි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි කොටසේ 5 - 9 වගන්තිවල ඊට අදාළ ප්‍රතිපාදන දැක්වේ. පනත සම්මත වීමෙන් පසු අවස්ථා 5කදී එනම් 1986, 1992, 2003, 2005 හා 2015 දී ඊට සංශෝධන එක්කෙරිණි. ඉන් තුන් වතාවක් කොන්ග්‍රසය ආණ්ඩු කරද්දී ද, දෙවතාවක් බී. ජේ. පී. ය ආණ්ඩු කරද්දී ද වශයෙනි. නව සංශෝධනය ඉදිරිපත් වූයේ සයවැනි සංශෝධනය වශයෙනි. එය, බී. ජේ. පී. පාලනයක් යටතේය.

ඉන්දීය පුරවැසිභාවය හිමිවන්නේ උපතින්, ලියාපදිංචි වීමෙන් වැනි ආකාර මතය. දැනට වලංගු නීතිය යටතේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරට පුරවැසි බවට හිමිකම් නොමැත. එවැනි සංක්‍රමණිකයන්ට සිර දඬුවම් නියම කිරීමට හෝ ආපසු හරවා යැවීමට නීතියෙන් බලය තිබේ. ආසන්න 8 වසරක කාලසීමාව සලකන විට ඉන් 6 වසරක් එරට ජීවත්ව සිටියේ නම් හා පුරවැසිභාවය සඳහා අයදුම් කරන විට අඛණ්ඩව මාස 12 ක් එහි රැඳී සිට ඇත්නම් එවැනි තැනැත්තන්ට පුරවැසිභාවය ලියාපදිංචිය මඟින් ලබාගැනීමට හැකියාව ඇත. ස්වභාවිකව එය ලබාගැනීමට නම් 14 වසරක් එරට ජීවත්ව සිටිය යුතු අතර ඉන් 12 වසරක්ම රට තුළ රැඳී සිට තිබිය යුතුය.

කෙසේ වුවද නව පනත මඟින් මුස්ලිම් නොවන සංක්‍රමණිකයන් සඳහා මෙම නීති යම් දුරකට ලිහිල් වී තිබෙන බව පැහැදිලි වේ. එනම් නීතිවිරෝධී අයුරින් රටට ඇතුල්වූවන්ටද නීත්‍යානුකූල සංක්‍රමණිකයන්ට මෙන් සැලකීම ‍සිදුවේ. කෙසේ වුවද මෙම සහනය ඔවුන්ට හිමිවන්නේ ආගමික වශයෙන් කිසියම් වෙන්කර සැලකීමක් හේතුවෙන් මව් රටෙන් බැහැරවීමට සිදුව ඇත්නම් පමණි. එසේම ස්වභාවිකව පුරවැසිභාවය හිමිවන කාලසීමාව 14 වසරේ සිට 6 වසර දක්වා අඩු කිරීමට ද නව පනත මඟින් පියවර ගෙන තිබේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්‍රධාන මූලධර්ම ඇතුළත් 14 වැනි වගන්තිය සංශෝධිත නව පනත මඟින් උල්ලංඝනය වන බවට ද මත පළ වේ. මෙම ප්‍රතිපාදන මඟින් මුස්ලිම් ජනයාට අසාධාරණයක් වී ඇතැයි පවසන සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් තර්ක කරන්නේ ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියට එය පටහැනි බවය. එබැවින්, නෛතික ක්‍රියාමාර්ග කරා යොමුවන බව ද ඔවුහු පවසති.

අනාගමික බව

ඉන්දීය භූමිය තුළ සෑම පුද්ගලයකුටම සමාන ආරක්ෂාවක් සහතික කළ යුතු යැයි ද, අසමාන ලෙස නොසැලකිය යුතු යැයි ද ඔවුහු කියා සිටිති. එබැවින් මෙම පනත රැගෙන ඒමේ සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇතැයි ඔවුන්ගේ අදහසය. ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය මඟින් රැකවරණ සැලසෙන්නේ එරට පුරවැසියන්ට පමණක් නොවන බව ඇතැම් නීති විශාරදයෝ පෙන්වා දෙති. එය රට තුළ සිටින විදේශිකයකුට වුව අදාළ වේ. මොහොමඩ් අලි ජින්නා 1940 ගණන්වලදී සිය ව්‍යාපාරය ගෙන ගියේ හින්දු සහ මුස්ලිම්වරු ඉන්දියාව නම් එක් දේශයක වාසය කරන ජාතීන් 2 ක් බව පවසමිනි. ඔහු අරගල කළේ මුස්ලිම්වරුන්ට වෙනම රටක් තිබිය යුතු යැයි පවසමිනි. මෙහිදී එවක සිටි ඉන්දීය නායකයන්ගේ අදහස වූයේ ද ව්‍යවස්ථාව මඟින් පිළිගත්තේ ද ඉන්දියාව යනු හින්දු බහුතරයකගේ රාජ්‍ය වුවද එය අනාගමික රාජ්‍යයක් ලෙස සලකන බවය. 14 වෙනි වගන්තිය මඟින් සලසා ඇති ප්‍රතිපාදන මේ සංකල්පය මත පදනම්වන බව ඇතැම් ආණ්ඩුක්‍රම විශාරදයන්ගේ අදහස ය.

ජාතික පුරවැසි ලියාපදිංචි ලේඛනය (NRC) ගැන ද මෙහිදී අවධානයට ලක්ව තිබේ. එම ලේඛනය ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය යටතේ මේ වසර මුලදී පිළියෙල විය. බංග්ලාදේශ මුස්ලිම්වරුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නීතිවිරෝධීව අසෑමයේ ජීවත්වන බවට බී. ජේ. පී. ය චෝදනා කළ අතර හින්දූන් ලක්ෂ 19 ක් පමණ මෙම ලේඛනයට ඇතුළත්ව නැතැයි ද මත පළවිය. නව පනත මඟින් මේ පිරිස ඊට ඇතුළත් කිරීමට ප්‍රයත්න දරා ඇතැයි මත පළකරන අය ද සිටිති.

ඇසෑමයේ විරෝධතා

ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශවල නව සංශෝධන සම්බන්ධයෙන් උණුසුමක් ඇති වී තිබේ. බංග්ලාදේශයේ සිට පැමිණි සංක්‍රමණික හින්දු ජනයාට පුරවැසිභාවය ලබාදීමට ඉන් ක්‍රියාකරනු ඇත යන පිළිගැනීම ඊට හේතුවය. අසෑමයේ මෙම විරෝධතා යම් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇත. මාර්ගවල ටයර් පුළුස්සමින් හා කළහකාරී ලෙස කිරීම නිසා හැසිරුණු විරෝධතාකරුවනට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. අවශ්‍ය වුවහොත් කැඳවීම පිණිස හමුදා භට පිරිස් ද සීරුවෙන් තබා තිබේ. අසෑමයට අමතර භට පිරිස් යවා ඇති බව ද වාර්තා විය. විරෝධතාකරුවන් හඬ නඟන්නේ හින්දු හෝ මුස්ලිම් කිසිවකුටත් පුරවැසිභාවය ලබා නොදිය යුතු යැයි කියමිනි. ඔවුන්ට ස්වකීය සංස්කෘතීන්ගෙන්ම රැකවරණය සැලසිය යුතු බව ඔවුන්ගේ අදහසය.

නව සංශෝධන මුස්ලිම්වරුන් හඳුන්වා දෙන්නේ ‘මුස්ලිම් විරෝධී‘ වශයෙනි. එසේ වුවද ඉන්දීය රජය කියා සිටින්නේ ඉන් එරට සිටින මුස්ලිම් ජනයාට කිසිදු අවැඩක් සිදු නොවන බවය. පාර්ලිමේන්තුවේ ඉහළ හා පහළ මණ්ඩල දෙකෙන්ම සම්මත වීමෙන් පසුව පනත නීතියක් බවට පත්වීමට අවශ්‍ය නෛතික විධිවිධාන සපුරා ඇත. ඉතිරිව ඇත්තේ ඊට අත්සන් තැබීම පමණි.

නව පනත මඟින් ඉන්දියාවේ පදනමට හානි කෙරෙන බව කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද පවසා ඇත. එහෙත් ස්වදේශ කටයුතු ඇමැති අවික්ෂා ඇතුළු බී. ජේ. පී. නායකයෝ මෙය රැගෙන ආවේ මුස්ලිම්වරුන්ට එරෙහිව නොවන බව අවධාරණය කරති. ‘පාකිස්තානයේ, බංග්ලාදේශයේ හෝ ඇෆ්ගනිස්තානයේ නැතිනම් ලෝකයේ වෙනත් රටකට අයිති මුස්ලිම් ජනයාට අපි පුරවැසි බව ලබාදිය යුතු ද? මේ පනත මඟින් පුරවැසි බව ලබාදෙන්නේ අදාළ රටවල් තුනේ ආගමික වශයෙන් පීඩාවට ලක්වූ සුළුතර ජනකොටස්වලට පමණයි.‘ ඒ ඇමැති අමිත් ෂා එය රැගෙන ඒමේ පරමාර්ථය පැහැදිලි කරන අයුරුය. බෙංගාලි හින්දූන් යනු බී. ජේ. පී. යේ ශක්තිමත් ඡන්ද බල කොටුවක් යන කාරණය ද මෙහිදී බැහැර කළ නොහැකිය. පනත මඟින් ඔවුන්ට පුරවැසි බව ලබාගැනීමට හැකියාව තිබේ. ආගම්වල නාමයෙන් ඇතිවන උණුසුම් හා ගැටුම්කාරී තත්ත්ව නිසා අදාළ රටවලින් පිටවන ජනතාවට තම රටේ දොරටු වසා දැමීමට නොහැකි බව අමිත් ෂා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇත.

ධම්මික සෙනෙවිරත්න

....


අදහස්

3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0