ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම කබඩි ක්‍රීඩිකාවට වසර 4ක තහනමක්

Click to
follow

තීන්දුවට එරෙහිව සම්මේලනය අධිකරණයට යයි

“උත්තේජක ගත්තේ නෑ:  ඇඟ ලස්සන වෙන්න  තේ බිව්වා“ ක්‍රීඩිකාව කියයි

පොලොන්නරුව ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම කබඩි ක්‍රීඩිකා සම්මානය දිනාගත් සබරගමු පළාතේ මනෝරී ජයසිංහ තහනම් උත්තේජක භාවිතා කොට තරග වැදුණේ යැයි පවසා වසර 4ක පූර්ණ තරග තහනමකට ලක්කරයි. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය මගින් මෙම තහනම පනවා ඇති අතර එය ජාතික විනය පරීක්ෂණ කමිටුව මගින් නිර්දේශ කොට ඇත.

ඒ අනුව ක්‍රීඩිකාවට 2022 ඔක්තෝබර් 11 දින දක්වා දෙස් විදෙස් තරග තහනමක් පනවා ඇති අතර එම කාලය තුල සියලුම ආකාරයේ ක්‍රීඩා කටයුතු හා පුහුණුවීම් සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු බවට ලිඛිත දැනුම්දීමක් කර ඇත. මෙම තහනම පිළිබඳ තෘප්තිමත් නොවන්නේ නම් එකී තීරණයට එරෙහිව 2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 26(1) (අ) උප වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව තීරණය දැනුම්දී සති දෙකක් තුළ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අභියාචනා මූල මණ්ඩලය වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ අයිතිය ක්‍රීඩිකාවට ඇති බවද දැනුම්දී තිබේ.

පොලොන්නරුව ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග පැවැති අතරතුරදී ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය අහඹු ලෙස මූත්‍රා සාම්පල ලබාගෙන ඉන්දියාවේ පරීක්ෂණාගාරයකදී කළ පරීක්ෂණයකදී ‘ඩියුරටික්‘ (diuretic) නම් තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට වාර්තාවී තිබූ අතර පසුව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය විසින් පවත්වනු ලැබූ විනය කමිටු පරීක්ෂණයේදී චෝදනාවට මනෝරී ජයසිංහ ක්‍රීඩිකාව වැරැදිකාරිනිය කර තිබේ.

ඇය සමග දකුණු පළාතේ ක්‍රීඩක චාමර නුවන් ක්‍රීඩකයාට තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ලවූ අතර ක්‍රීඩකයා ‘බී‘ සාම්පල මුත්‍රා නියැදි පරීක්ෂාව සිදු කිරීම අනවශ්‍ය බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය වෙත පැමිණ ලිඛිතව දැනුම් දී තිබිණි. ඒ සමගම ඔහු කබඩි ක්‍රීඩාව අත්හැර කොරියාව බලා පිටත්වූ හෙයින් ඉදිරි පරීක්ෂණ සිදු නොවුණි.

එහෙත් මනෝරී ජයසිංහ ක්‍රීඩිකාවගෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය ලබාගත් ‘ඒ‘ මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජක භාවිතා කොට ඇති බවට තහවුරුවී තිබුණ ද ක්‍රීඩිකාව එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර ලෝක තහනම් උත්තේජක මර්දනායතනය (WADA) මුත්‍රා සාම්පල නියැදි පරීක්ෂා කළ ඉන්දීය පරීක්ෂණාගාරය තාවකාලික තහනමකට ලක්කොට ඇති හෙයින් ජයසිංහ ක්‍රීඩිකාවගේ ‘බී‘ මුත්‍රා සාම්පල පරීක්ෂාව සිදුකිරීමට නොහැකිව ඇත. එම පරීක්ෂණාගාරය තහනම් උත්තේජක පරීක්ෂා සඳහා සුදුසු ප්‍රමිතියක නොමැති බවට ලෝක තහනම් උත්තේජක මර්දනායතනයේ (WADA) මතයවී තිබේ.

මෙවැනි තත්ත්වයක් තුල කබඩි ක්‍රීඩිකාවට පැනවූ තහනම අසාධාරණ එකක් බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවැසීය. හෙට දිනයේ නීතිඥයන් හමුවී මේ පිළිබඳ ඉදිරි නීති ක්‍රියාමාර්ගවලට එළාඹෙන බව පතිරණ මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

ක්‍රීඩිකාව පවසන්නේ තමන් පුරුද්දක් ලෙස ශරීරය හැඩ ගැන්වෙන වෙළඳ පොලේ ඇති ස්වභාවික තේ පැකට් වර්ගයක් පානය කළ බවත් එහි ‘ඩියුරටික්‘ අඩංගු බවට තමන් නොදන්නා බවත්ය. එම තේ පැකට් පරීක්ෂාකර බැලූ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයද එහි තහනම් උත්තේජක අඩංගු නොවන බවට තහවුරු කර ඇතැයි ද ක්‍රීඩිකාව සඳහන් කර ඇත. තව ද ලෝක තහනම් උත්තේජක මර්දනායතනය තහනම් කළ පරීක්ෂණාගාරයකින් ලැබුණු ප්‍රතිඵලය පිළිගැනීමට සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනය අවධාරණය කර සිටී.

....


අදහස්

12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0