මහා ශිව රාත්‍රි දින අදයි

Click to
follow

මහා ශිවරාත්‍රී දින පණිවිඩ

දල්වන පහන් ආලෝකයෙන් සියලු සිත් සතන් බැබළේවා 
- ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා

ලොව පුරා හින්දු ලබ්ධිකයන් උපවාස ශීලය සමාදන් වී 'මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම' සලකුණු කරන මහා ශිව රාත්‍රී දින උළෙලට පේවී සිටින ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන් සමඟ මම ද සතුටින් එක්වෙමි.

හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවවලින් එකක් වන මහා ශිව රාත්‍රිය පුරා සිදු කරන අනේකවිධ ආගමානුකූල ක්‍රියාකාරකම් වලින් මිනිසාගේ නිසර්ගයෙන් දක්නා දුර්ගුණ ඉවත්ව මානසික පවිත්‍රතාව අත්පත් කර ගත හැකි බව හින්දු බැතිමත්හු විශ්වාස කරති.

අනේකවිධ කැළඹිලි, ඝට්ඨන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්තිය උදාකර දෙන්නේ ආගමයි. නව ජවයකින් අලුත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලාංකිකයන් අතරට අපගේ සහෝදර දෙමළ ප්‍රජාව ද අයත් වෙති. අන්තර් ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා කුළු ගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටිනු දැකීම රටේ නායකයා වශයෙන් මට මහත් සතුටකි. මහා ශිව රාත්‍රියේ දල්වන පහනේ ආලෝකයෙන් සියලු දනන්ගේ ආධ්‍යාත්මය ආලෝකමත් වේවායි පතමි.


 

අන්‍යෝන්‍ය ගෞරවය සුරැකීමට කැපවෙමු
- අගමැති මහින්ද රාජපක්ෂ මහතා

ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා ආගමික වතාවත්ව නියැළෙමින් සමරන මහා ශිව රාත්‍රී දිනයට මාගේ හදපිරි සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි.

හින්දු ජන සමාජයේ පූජනීයම දිනයක් වන මෙය ඔවුහූ අති උත්කර්ෂවත් ලෙස සමරති. ශ්‍රද්ධාව සහ භක්තිය පෙරටු කොටගෙන ශිව දෙවියන් උදෙසා රැය පුරා නිදිවර්ජිතව, නිරාහාරව පුද පූජා පවත්වා එමඟින් ලැබෙන ආශිර්වාදයෙන් හින්දු බැතිමත්හූ සිය ජීවිතය ආලෝකමත් කර ගනිති. ශ්‍රී ලංකාව සාමකාමී නමුත් සංකීර්ණ ජන සමාජයකට උරුමකම් කියයි. එම නිසා තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනයේ ප්‍රධාන භූමිකාවක් ලෙස අර්ථ දැක්විය හැක. ජාති භේද, ආගම් භේද පසෙකලා සියලු ශ්‍රී ලාංකිකයන් එකිනෙකා හට අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ යුතුය. ගෞරවාන්විත සම්ප්‍රදායකට උරුමකම් කියන හින්දු දර්ශනය සහ එහි උත්සවාංග ශ්‍රී ලාංකික ජන සමාජය එකට එකමුතු කරමින් ශ්‍රී ලාංකික සංස්කෘතිය විචිත්‍රවත් කිරීමට සමත් වී ඇත. උසස් ආගම් සහ සංස්කෘතින්ගෙන් සංකනය වූ, ඉවසීම සහ සාමය අගයන අභිමානවත් ජාතියක් සේ අප ආරක්ෂා කොටගත් සාමය තවදුරටත් වැඩි දියුණු වේ යැයි මම විශ්වාස කරමි. මේ උතුම් වූ ශිව රාත්‍රී දිනය සමරන සියලුම හින්දු බැතිමතුන් හට සාමය සෞභාගය පිරි ආලෝකමත් ජීවිතයක් උදාවේවා යැයි මම හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි. එපමන්ම අපි සියලු දෙනා, ජාතින් අතර මිතුදම් ශක්තිමත් වන ගුණදම් පිරි යුගයක් ප්‍රාර්ථනා කරමු.


සාමය-සංහිඳියාව රට පුරා පැතිරේවා 
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ආදි කල්පික නිර්මාණ සහ විශ්ව ආරක්ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදු වූ බව හින්දු විශ්වාසය යැයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මහා ශිවරාත්‍රී පණිවිඩයේ සඳහන්වේ. එම පණිවිඩයේ මෙසේද සඳහන්වේ හින්දු පුරාණ ග්‍රන්ථ 3ක් වන කුර්ම පුරාණය, වායු පුරාණය, ශිව පුරාණය යන ග්‍රන්ථ තුනෙහි හින්දු භක්තිකයන් සමරන ලද මහා ශිව රාත්‍රියට මුල් වූ ජවප්‍රවාද නැතිනම් කතා 6ක් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සඳහන් වේ.

සෘග් වේදයෙහි සඳහන් වන ආකාරයට හින්දුන්ගේ විශ්වාසය වන්නේ ශිව දෙවියන් සියලුම ජීව රාශි වල උත්පත්තියේ පියා බවයි. ශිව දෙවියන්ට හැඩයක් නොමැති අතර වරෙක හිරුගේ කිරණයක් හෝ ලපයක් ලෙසද සලකයි.

සිත අයාලේ යා නොදී, නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් මේ දිනය උත්කර්ෂවත් ලෙස සමරති.

බෞද්ධයන්ට වෙසක් උත්සවය වැදගත් වනවා සේ හින්දු බැතිමතුන්ට මහා ශිව රාත්‍රිය වැදගත් ආගමික දිනයකි. එනිසාම බොහෝ ආගමික වතාවත් උපවාස කිරීමේ ස්වරූපයක් ගෙන ඇත. මෙම දිනයේ දී හින්දු බැතිමත්හු බොහෝ දෙනා තම ආත්ම භවය සකස් කර ගැනීම සඳහා නිරාහාරව, නිදි වර්ජිතව සිටිමින් ශිව ලිංගය උදෙසා විවිධ පුණ්‍යකර්ම පූජාවන්වල යෙදේ. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව ස්වකීය ආධ්‍යාත්මික ජීවිතය සුපසන් කර ගැනීමයි.

මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමටද මං පාදන පුණ්‍ය වන්ත චිනයක් ලෙස හැඳින්විය හැකි ශිවරාත්‍රී දිනය අරැත් ගන්වන්නේ මානව සංහතියේ ශාන්තියයි.

 

ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය, සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවා.

....


අදහස්

3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0