සමඟිය බලය වේ... රන්ජිත් මද්දුමබණ්ඩාරගෙන් ආරාධනාවක්....

Click to
follow

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් අද (22) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.

මේ තීරණාත්මක අවස්ථාවේ ඊට ධෛර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව මුහුණදෙන සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමු.
 
මේ උවදුරින් මාතෘභූමිය සුරක්ෂිත කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙන වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රෝහල් කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ හා අනෙකුත් සියලුම පාර්ශව වෙත අපේ උත්තමාචාරය පුද කරමු.
 
ව්‍යසනකාරී මොහොතේ හුදු දේශපාලන න්‍යාය පත්‍ර හකුලා පැත්තකින් තබා එකම රටක් ලෙස එක්ව මේ මොහොතේ පොදු සතුරා වන ' කොරෝනා' පරාජය කිරීම වෙනුවෙන් අපි අපේ කොන්දේසි විරහිත සහයෝගය ලබාදෙමු.
 
අපට අතිශයින්ම වැදගත් වන්නේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බව අප නැවත නැවතත් සිහිපත් කරමු.
 
අපි නැවත අවධාරණය කරන්නේ මේ මොහොතේ ආණ්ඩුවද වගකීම් සහගතව දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි. ශක්තිමත් ආණ්ඩු හැදීම හෝ නොහැදීම ජනතාව සතු කාර්යයක් වන අතර මේ ව්‍යසනකාරී මොහොතේ බල දේශපාලන උමතුව පසෙකින් තබන ලෙස ආණ්ඩුවට නැවත සිහිපත් කරමු.  
 
කොරෝනා උවදුර පිළිබඳව කල්තියාම හඳුනාගත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල් ඇතිවම මේ ගැන අදාළ දැනුවත් කිරීම් කළ නමුත් ' යක්ෂයා දොරකඩට එනතුරු' ආණ්ඩුව නෑසූ කන්ව සිටීම විමතිය දනවන්නක් විය.
 
කෙසේවෙතත් කල් මරා ගනු ලබන තීන්දු තීරණාත්මක ලෙස රටම අගාධයට රැගෙන යන බව නොරහසකි.
 
ඉකුත් දිනවල ආණ්ඩුවේ වගකිව යුත්තන්ගේ මැදිහත් වීම අපුල දනවන සුලු වුවත් මේ රටේ උදාර මිනිසුන්ගේ අධිෂ්ඨානශීලී ස්වරූපය ප්‍රශංසා කටයුතු විය.
මේ අවස්ථාවේ පිළිසරණක් නොමැතිව නිවෙස් තුළට වී සිටින ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාව ගැන ආණ්ඩුව සිය මූලික අවධානය යොමු කළ යුතුය.
 
බොහෝ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා දාන මාන සපයාගන්නේ දායකයින්ගේ සහායෙනි. මේ ඇඳිරි නීතිය අවස්ථාවේ ඒ පිළිබඳව අවදානය යොමු කළ යුතුය.
ආබාධිත ප්‍රජාව,දෛනික කම්කරුවන්,රැඳවියන් ඇතුළු පාර්ශ්වයන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් විශාල වගකීමක් රජයට පැවරී තිබේ.
ජනතාව වෙනුවෙන් ලබාදෙන බව කී ආහාර මල්ල වහා නොවලහා ලබා දිය යුතු මොහොත එලැඹ තිබේ. එදිනෙදා ජීවන රටාව සහමුලින්ම වෙනස් වී ව්‍යාකූල වී තිබෙන මොහොතේ ජනතාව වෙත එම සහනය ලබාදීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කරමු.
 
අප්‍රේල් 30න් පසුව රාජ්‍ය මුදල් වියදම් කිරීමේ ක්‍රමවේදයක් නැති අතර වහා පක්ෂ නායක හමුවක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළ යුතුය.
තවදුරටත් මැතිවරණ,තුනෙන් දෙක වැනි නිෂ්ප්‍රයෝජන කාරණා කෙරෙහි ඇති ලැදියාව ඉවත දමා රට සුරක්ෂිත කිරීම වෙනුවෙන් එකාවන්ව කටයුතු කරමු කියා අප යෝජනා කරන අතර ඒ වෙනුවෙන් ආණ්ඩුවට අපේ දෑත් නැවත නැවතත් දිගු කරමු.

 

....


අදහස්

1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0