විකෘති කිරීම් නවතා අදහස්වලට සවන් දෙන්න...

Click to
follow
රටක් ලෙස අප මුහුණ දී සිටින ව්‍යසනකාරී තත්ත්වය තුළ පවා ඇතැම් පාර්ශව සිය මුග්ධ දේශපාලන අරමුණු ඉස්මතු කරගෙන කටයුතු කරන ආකාරයක් දක්නට ලැබීම කණගාටුවට කරුණක් බව සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
 
එම නිවේදනය මෙසේය.
 
හිටපු විපක්ෂ නායක,සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවාදීව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අදහස් විකෘති කරමින් සිදුකරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරමු.
 
එක් අතකින් විපක්ෂයේ අදහස් පසෙක ලා ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් එය ජන සම්මතවාදී පාලනය අභියෝගයට ලක් වීමකි.
කොරෝනා උවදුර පිළිබඳව මෙරට පාර්ලිමේන්තුව තුළ මුලින්ම කරුණු අනාවරණය කළ මහජන නියෝජිතයා වූයේත්, නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කළ සහ රජයේ අවදානය මේ උදෙසා යොමු කළ තැනැත්තා වූයේත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව නොරහසකි.
කෙසේ වෙතත් සමාජයේ හිතසුව පිණිස ඔහු විසින් කරන ලද ප්‍රකාශ විකෘති කරමින් පිළිකුල් සහගත භාවිතාවක යෙදෙන දේශපාලනයක් සමාජ ජාල ආශ්‍රිතව ක්‍රියාත්මක වේ.
 
එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඔහු විසින් කොරෝනා මැඩලීම උදෙසා ඖෂධ කිහිපයක නම් සඳහන් කොට ඇති බවට වන ප්‍රකාශයයි.
 
කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයේ අවධානයට යොමුව ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීම වගකීමක් ඇති දේශපාලන නායකයෙකු ලෙස ඉටු කරනුයේ මහජන නියෝජිතයෙකුට අදහස් පළ කිරීම සඳහා තිබෙන පාර්ලිමේන්තුව රැස් නොකිරීම නිසාය.
 
ජනතාව වෙනුවෙන් මහජන නියෝජිතයන්ට විවිධ පාර්ශව මඟින් ලබාදෙන,ලැබෙන තොරතුරු ඉදිරිපත් කිරීම වගකීමෙන් ඔබ්බට ගිය වගකීමකි.
 
කිසිම විටෙක ඔහු විසින් එම ඖෂධ නිර්දේශ නොකළ අතර ඒ පිළිබඳව ප්‍රාමාණිකයන්ගේ අවධානයට යොමු කළා පමණි.
 
එහෙත් පණිවිඩකරුට වෙඩි තැබිමේ අශිෂ්ට භාවිතාව පිළිබඳව දන්නා අපි ඔවුන්ගේ පිළිකුල් සහගත ක්‍රියා පිළිවෙත ඊට අදාළ පිළිකුලෙන්ම හෙළා දකිමු.
 
අදහස් විකෘති කරමින් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක සිහිනය සැබෑ කර ගැනීමට පටු අරමුණු තුළ ක්‍රියා කිරීම මෙම අර්බුදය විසඳීමට නොව උත්සන්න වීමට හේතුවකි.
 
මේ ව්‍යසනය තුළ පවා ගර්හිත දේශපාලනයක යෙදීම අප්‍රසන්නය.
 
මේ මොහොතේ වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමි බලය භාවිතා කොට පාර්ලිමේන්තුව කැඳවන ලෙස යළිත් ඉල්ලා සිටින අතර එම නිසා වහාම පාර්ලිමේන්තුව රැස්කරන ලෙස යළිත් අවධාරණය කරන අතර සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ඉල්ලා සිටි පරිදි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙසද ජනාධිපතිතුමාට යළිත් අවධාරණය කරමු.
 
එසේ නොකොට ජනතා නියෝජිතයින් දක්වන අදහස් විකෘති කොට ප්‍රචාරය කරමින් තමන් විසින් නඩත්තු කරන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් කරනු ලබන බියගුලු දේශපාලනය වහාම අත් හරින ලෙස ආණ්ඩුවේ සියලු පාර්ශව වලට සිහිපත් කරනු කැමැත්තෙමු. 
 
....


අදහස්

4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0