කොරෝනා නිසා අසමත් ස්මාට් ආණ්ඩුව

Click to
follow
අද (24) පස්වරුව වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය ඉලක්කම් තුනක අගයකින් ගණන් ගැනෙන්නට ආරම්භ විය. එය එතරම් සුළු කොට ගිණිය නොහැක්කකි. මන්ද මේ දිනෙන් දින පුලුල් වන්නේ ලියුම්කරුත් ඔබත් යන අප දෙදෙනාම covid -19 ආසාදිතයෙක් වීමට ඉඩ විවර වුණු අවකාශයයි.
 
එබැවින් ඔබත් මමත් පසුවන්නේ අනතුරක මුවවිටේය. එහි අවදානම ලංකාව දෙසට අදක ඊයෙක යොමු වුණත් ගෝලීය වශයෙන් එහි අනතුරුමය හැගවුම අපට නිකුත් වී මාස තුනක පමණ කාලයක් ය. නමුත් ශ්‍රී ලංකාවේ රජය අනතුර දුර දිග දැක ක්‍රියා කරනු අප නොදුටිමු.
 
ඒ වෙනුවට දුටුවේ කොරෝනාව පවා දේශපාලන පිටියේ වාසි සහගත තත්ත්වයකට පෙරළා ගැනීමකි. එහි හාස්‍යජනක අවස්තාව පසුගිය දිනෙක හිටපු  සෞඛ්‍ය අමාත්‍යවරිය ලොවට පෙන්වූවා ය. ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු ආසාදිතයා වූ චීන ජාතික කාන්තාව සුව වී සිය රටට පිටව යන විට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඇයව සිප ගෙන තරගය ආරම්භ වීමටත් පෙර එහි ජය සැමරූ අතර , රජය නොදුරේදී ආරම්භ වන්නේ කෙතරම්මාරු තරගයක් ද යන්න ගැන කිසිත් තැකුවේ නැත. එහි ප්‍රතිපල ලෙස දැන් ඒ අසීරු තරගය ආරම්භ වී ඇත.
 
පසුගිය පෙබරවාරියේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබියදීවත් අපේ රජය එය ගණනකට ගත්තේ නැත. ලෝකයේ බහුතරයක් රටවල් සංචාරක තහනම් පනවන තත්ත්වයක දී, අපේ රජය තමා බලයට පත්වීමට තම රෙජීමයේ නැපි සේදූ කසල ශෝධකයන් ලවා සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රචාරක පට නිර්මාණය කළේ රට පත්වීමට සූදානම් අනතුරුදායක තත්ත්වය තඹයකට හෝ මායිම් නොකරමිනි.
 
ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු පළමු කොරෝනා රෝගියා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියාව කරන්නෙකු බවට පත් වුණේ ඇතැම් විට එහි ප්‍රතිපලයක් නිසා වන්නටත් ඇත්තේ අහඹුවකින් තොර සම්භාවිතාවකි.
 
කොරෝනා වෛරසය කෙමෙන් පැතිර යාම ආරම්භ වන විට රජය මෙය පාලනය කිරීමට කිසිදු පියවරක් ගන්නා බව පෙනෙන්නට නොතිබිණි. ඔවුන් සතු එකම අරමුණ වූයේ කෙසේ හෝ මැතිවරණය පවත්වා බලය ලබා ගැනීම පමණි. ලෝක අත්දැකීම් අධ්‍යයනය කළ තරුණ ප්‍රජාව අනතුරෙහි තරම දැක රට "ලොක් ඩවුන්" කරන මෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටිය ද ආණ්ඩුව එය කණකට ගත්තේ නැත. තරුණ ප්‍රජාවගේ ඉල්ලීම පසෙක දැමූ රජය ඊළගට පයින් ගැසුවේ රජයේ වෛද්‍යවරුන් ගේ සංගමය කළ එම ඉල්ලීමටයි.
 
ඔවුන් එවැනි තීරණාත්මක ඉල්ලීමක් මේ අවධානම් මොහොතේ කරන විට ඒ සදහා ආණ්ඩුව පස්ස හැරෙව්වේ ආණ්ඩුවේ අනාගත ජාතික ලැයිස්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ විසින් එවන්නක් අනවශ්‍යය බව ජනාධිපතිවරයාට තරයේ කියා සිටි නිසා බව යන්න ආරංචි මාර්ගයක් සදහන් කළේය. මෙය සත්‍යක් නම් ඇය විසින් සිදු කොට ඇත්තේ ඇගේ අනාගත දේශපාලන ජීවිතය සදහා ජනාධිපතිවරයාගෙන් ලකුණක් ලබා ගැනීමට රටම අනතුරේ හෙළීමක් බව ද කිව යුතුය.
 
අනෙක නම් ගුවන්තොටුපළ වසා දැමීමේ සිද්ධිය යි. ගුවන්තොටුපළ සහ වරාය යනු මෙම වෛරසය රට තුළට පැමිණීමට ඉඩ විවර වන තැනයි. සෞඛ්‍ය අංශ විසින් ගුවන්තොටුපළ වසා දමන ලෙස ඉල්ලීම් කරත් රජය විසින් ඒ තීරණය ගැනීමට කල් මැරීය. ඒ අනුව ගුවන්තොටුපළ වසා දැමුවේ 19දා මධ්‍යම රාත්‍රියේ ය. ඒ වනතුරු කල් ගත්තේ ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන්ගේ දරුවන් කිහිප දෙනෙකු හා ණ්ඩුවේ හිත්වත් ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයෙක් ගේ දියණියක් මෙරටට පැමිණීමට සූදානමින සිටි නිසා ද ?යන්න විමසීම වටී. එහි සත්‍යාසත්‍යතාව රටම දැන ගත්තේ මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයාගේ පුත්‍ර රත්නය සිය "ඉන්ස්‍ටග්‍රෑම්" ගිණුමේ දමා තිබූ ෆොටෝවක් නිසා බව ද කිව යුතු ය. ‍මෙලෙස රජය විසින් තම හිතවතුන් සහ ඔවුන්ගේ පවුල් වල උදවිය රැකීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ රට ඉතා අන්තරාදායක තත්ත්වයක පත්ව තිබෙන මොහොතකයි.
 
මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ දවස් තුනක් නිවසේ නිරෝධායනය වී පැය හයක කාලයකට වෛරස තවානක ද්‍රව්‍ය මිලට ගැනීමේ තරගයයි. මෙය නම් රජයේ සැලසුම් විරහත තත්ත්වයක් හමුවේ ජනයා තවතවත් අනතුරේ හෙලීම ය. මෙහි පළමු අදියර ක්‍රියාත්මක වූයේ පසුගිය 20 දා ය. වෛරසය හේතුවෙන් රට පුරා ඇදිරි නීතිය දමා කොළඹ ඇතුලු නගරාසන්න තදබද ප්‍රදේශ වල සිට ගම් බිම් කරා ජනතාව පිටමං කළේ ද අවිධිමත් අයුරිනි. ඒ සෞඛ්‍ය සේවා උපදෙස් අනුව දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු මීටරයේ අවම දුරස්තතාවය සෙන්ටිමීටර දශමයට බස්සවා බස්‍ රථ හා දුම්රිය මැදිරි තුළ ජනයා ගාල් කිරීමෙනි. අවාසනාවකට එහි එක් ආසාදිතයෙක් හෝ වූවේ නම් එය කෙතරම් ව්‍යසනයකට මං විවර කිරීමක් ද යන්න සිතීම ඔබට බාර කරමි. ඒ අනුව මේ මොහොතේ ආණ්ඩු හිතවාදී මාධ්‍ය  නැමති දුහුල් සලුව මගින් මේ මොහොතේ වසා දමන්නට උත්සහ ගන්නා රාජ්‍යයේ අසමත්භාවය නැමති  නිරුවත අප තේරුම් ගත යුත්තා හා සමානවම වගකීමෙන් යුතුව සෞඛ්‍ය අංශ මගින් ප්‍රකාශ කර සිටින ආරක්ෂාකාරී ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඔබත් මමත් වග බලා ගත යුතුය.
 
එන්න... අපි ආරක්ෂාකාරී ක්‍රමවේද ක්‍රියාත්මක කරමු...! රාජ්‍යයේ අසමත්භාවය යටතේ දිනෙන් දින ඔබ මා වෙලා ගන්නට උත්සහ කරන අනතුරින් මිදෙමු.

 

....


අදහස්

9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0