හෙල්පින් කොරෝනා?

Click to
follow
ස්වභාවික අර්බුද මඟින් උග්‍ර සමාජ තත්වයනට ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රථම අවස්ථාව "කොරෝනා" නොවී ය. 
 
සැබවින් ම ඊට මුහුණ දෙන ලොව අනෙක් රටවල් හා සසඳන විට ලංකාව උග්‍ර තත්වයක ඇතැයි පැවසීම පාලකයන්ට මෙන්ම බහුතර ප්‍රජාවකට ද තවමත් හාස්‍යජනක වන්නේ දේශයේ පෙර පිනකට මෙන් තවමත් අප රටෙන් එකඳු මරණයක් හෝ වාර්තා නොවන නිසාත් රජය මේ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණාත්මක නොවන බව පිළිගැනීමට තවමත් සමහර පුරවැසියන් දක්වන අකමැත්ත නිසාත් පමණි.

අවසන් වරට ලංකාව මුහුණ දුන් දරැණුතම ස්වභාවික ව්‍යසනය වන්නේ 2004 දෙසැම්බර් 26 දින මිනිස් ජීවිත 40000ක් බිලිගත් සුනාමියයි. සැබවින් ම දූපතක් වශයෙන් අපට නුදුරු මුහුදු පත්ලේ වූ භූමිකම්පාවක් ඉදිරියේ ලංකාව අසරණ විය. එය නොවැලැක්විය හැකිවිය. එහෙත් ලොවපුරා පැතිර යන වසංගතයක් ඉදිරියේ නිබියව ඉන්නට තිබූ අප දිවයිනේ "භූමියේ වාසිය" පාලකයන්ගේ අදූරදර්ෂී ක්‍රියා, නො හැකියාව හා අපදා කළමනාකරණයේ දුර්වලතා නිසා රටට අහිමිවිය. දැන් ජනතාවට සිදුව ඇත්තේ සහනාධාර, සෞඛ්‍යාධාර, ආහාර පාන ගැන බලාපොරොත්තුවෙන් ජීවිතය යදිමින් නිවෙස් වලට වී සිටීමටයි.

සහනාධාර, වියලි ආහාර හා සෞඛ්‍යාධාර පිළිබඳ සැලකීමේදී වත්මන් පාලකයන්ට ඒවා සමඟ ඇත්තේ ද පුදුමාකාර ඥාතීත්වයකි. සුනාමි අවස්ථාවේදී "Helping හම්බන්තොට" - "Helping මැදමුලන" කරගත් රාජපක්ෂවරුන් කොරෝනා වලිනුත් හම්බකරගන්නට සිතා සිටිනවානම් රාජපක්ෂ පැලැන්තියට දේශපාලන පැවැත්මක් තව දුරටත් තිබෙවි දැයි සැක සහිත ය.

 පවතින සමාජ තත්වයේ තවත් සුවිශේෂී කාරණා කිහිපයක් ම වත්මන් පාලකයන්ට ඉතාම සමීප හා හුරුපුරුදු රටාවක් වෙයි.  යුද්ධය පැවති සමයේ දහස් ගණන් මළ සිරුරු මතින් දේශපාලන වාසි ලබාගත්තා සේම අභීත රණවිරුවන් යුද්ධය නිමකළ පසුව එහි දේශපාලන ගරුත්වය ද අහිමි කරගනිමින් තමාගේ විරුද්ධ පාක්ෂිකයා ලෙස ඡන්දය ඉල්ලූ පමණින් යුද්ධය නිමාකළ යුධ හමුදාපතිවරයාව ඔහු එවකට දැරූ සියලු තනතුරු වලින් පහකොට සිරගත කළේ ය.

පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ද මේ ක්‍රියාදාමයන් සමඟ ම බැඳෙන්නේ ද මළ සිරුරු මතින් කරන දේශපාලනය රාජපක්ෂලාට ම ආවේණික වූවක් බව වඩාත් තහවුරු කරමිනි. රාජපක්ෂවරුන් සමඟ මෛත්‍රීපාල සිරිසේනට තිබූ ළබැඳියාව ජනතාවට හෙලිවූයේ ගිය වසරේ සැප්තම්බරයේ වූ විපරීත අගමැති මාරුවත් සමඟයි. රටේ යම් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බව දැන දැන ම එය වැලැක්වීමට කිසිවක් නො කර රටේ ජනතාවට ඕනෑ දෙයක් වන්නට ඉඩ හැර රාජපක්ෂලාගේ වුවමනාවට සිරිසේන සිංගප්පූරුවට වී සිටියේ ය.
 
මේ දේශපාලන ඩීල් පිළිබඳ කිසිත් නොදන්නා අහිංසක මිනිස් ජීවිත 300ක් පමණ රටට අහිමි වූ එදින ම සවස ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීය. එම ප්‍රහාරය ගැන හොඳින් ම දැන සිටියේ කව්ද? එයින් සැබෑම දේශපාලන වාසිය හිමිවූයේ කාට ද? යන්න කිසිඳු දේශපාලන අත්දැකීමක් නොමැති රාජ්‍ය සේවකයෙකු ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විධායක ජනාධිපති බවට පත් වූ නොවැම්බර් 17 වන දින සවස සබුද්ධික මිනිසුන්ට වැටහිණි.

මේ මොහොතේ ද මෙම පාලකයන් සිතන්නේ කොරෝනා මතින් පාර්ලිමේන්තුවේ 3න් 2ක් ලබා ගැනීම විනා දිනෙන් දින ඉහල යන ආසාදිතයින් ගණන පිළිබඳව නොවෙයි.
හෘද්‍යාංගමව දේශය හා ජනතාව ගැන හිතන, ජනතාවට ආදරය කරන සැබෑ ජන නායකයෙකු නැති අඩුව රටේ සුවහසක් ජනතාවට වැටහෙන දිනය ඉතා ම නුදුරේ දී උදාවන බව පැහැදිලි ය.

 

....


අදහස්

2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0