හෙද හෙදියන් මරණ මංචකයට ඇද නොදමා අවශ්‍ය පහසුකම් දෙන්න

Click to
follow

කොවිඞ් 19 වසංගත තත්වය හමුවේ ඉතා දුෂ්කර හා ජීවිත අවධානම් තත්වයක් මැද සේවයේ නිරත හෙද කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් අතිකාල හෝ අමතර දීමනා කිසිවක් ඉල්ලා නොමැති බවත් නමුත් ප‍්‍රවාහන ගැටළුව, පෞද්ගලික ආරක්ෂිත උපකරණ, සේවා මුර ගැටළු, නිවාඩු හා පොදු පහසුකම් සම්බන්ධව පවතින ගැටළු සඳහා ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවත් සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහද් දක්වන සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා පවසන්නේ, හෙද හෙදියන්ට ආරක්ෂිතව හා මානසික ඉහිල් භාවයකිනුත් යුතුව රාජකාරී කිරීමට පරිසරය සකස් කර දෙන මෙන් සෞඛ්‍ය ඇමතිනියගෙන් හා බලධාරීන්ගෙන් අවස්ථා ගනනාවකදී ලිඛිතව හා වාචිතව ඉල්ලීම් කළ නමුත් මේ මොහොත වනවිටත් ඉහත ගැටළුවලින් හෙම්බත්ව රෝගී සත්කාරයේ නිරත හෙද කාර්ය මණ්ඩලයේ ගැටළු පිළිබද සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම පිළිබදව තම සංගමයේ බලවත් කණගාටුව පලකර සිටින බවයි.

එසේම වසංගත තත්වය මැඩලීම වෙනුවෙන් කටයුතු කරන හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවල ගැටළු විසඳීම වෙනුවට ඔවුන් අතර භේද ඇතිවන අයුරින් කටයුතු කර ඇතැයිද ඒ මහතා පවසයි.

ඇමතිතුමිය ඇතුළු බලධාරීන් හෙද හෙදියන් වසංගතය හමුවේ මුහුණදී ඇති ගැටළුවලට පිළියම් ලබා නොදීම ඔවුන්ව මරණයේ මාවතට ප‍්‍රවිශ්ඨ කිරීමක් ලෙස තම සංගමය සලකන බවත් එනිසා ඔවුන්ට තම තමන්ගේ ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් මේ මොහොතේ තීරණයක් ගැනීමට සිදුව තිබෙන බවත් සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එබැවින් 2020.04.07 දිනට පෙර පහත සදහන් ගැටළු විසදා දීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් කොරෝනා ප‍්‍රතිකාර කටයුතුවලින් ඉවත්වීමට කටයුතු කරන බවත්, ඒ සදහා සියළු හෙද හෙදියන් ඒකරාශි කරගන්නා බවත් සඳහන් කරයි.

එහිදී ඔවුන් පවසන ප‍්‍රධාන ඉල්ලීම් වන්නේ,

  1. කොවිඩ් 19 රෝගී සත්කාරයේ යෙදෙන හෙද හෙදියන්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂිත උපකරණ ලබාදීම.

  2. සියළු හෙද කාර්ය මණ්ඩලයන්ට ආරක්ෂිත ප‍්‍රවාහන පහසුකම් ලබාදීම.

  3. අවම හෙද නිලධාරීන් පිරිසකගෙන් සේවා මුර සැකසීමේදීත්, නිවාඩු ලබාදීමේදීත් බොහෝ රෝහල් පරිපාලනයන් හා හෙද පරිපාලනයන් අමාත්‍යංශයේ උපදෙස් නොතකා කටයුතු කිරීම නවතාලීම.

  4. මෙම වසංගත තත්වය නිම වන තුරු හෙද නිලධාරීන් ලබාගන්නා නිවාඩු විශේෂ නිවාඩු ලෙස සැලකීම, එම දිනයන් රාජකාරී සිදු කළ දින ලෙස සැලකීම හා ඒවා නිලධාරියාගේ විවේක හා අනියම් නිවාඩුවලින් අඩු නොකිරීම.

  5. ගර්භනී සහ විවිධ රෝග තත්වයන්ගෙන් පෙලෙන හෙද නිලධාරීන්ට විශේෂ නිවාඩු ලබාදීම.

ඇතුලු ඉල්ලීම් කිහිපයක් වේ.

....


අදහස්

17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0