"බැඳලද?"

Click to
follow

එක්තරා මහාචාර්යවරයකු ගෘහ ජීවිතය සම්බන්ධ පර්යේෂණයකට අදාළව ප්‍රශ්න විමසීමකදී කාන්තාවකගෙන් මෙසේ ඇසුවේලු.

"බැඳලද?"

"නැහැ"

"ළමයි කීයක් ඉන්නවද?"

ඒ ප්‍රශ්නයත් සමඟ කාන්තාව මහාචාර්යවරයා දවා හළු කරන බැල්මක් හෙළා ගස්සා ඉවත බලා ගත්තේලු. ඒ මන්දැයි සහායකයාගෙන් ඇසූ මහාචාර්යවරයාට උපදෙස් ලැබී ඇත්තේ එවැනි ප්‍රශ්න ඇසීමේදී මීට වඩා සිතා බලා කටයුතු කරන ලෙසටය. පොතපත මිස මිනිසුන්ට නැඹුරු වූ සිත් නැති මහාචාර්යවරයා ඊළඟ අවස්ථාවේදී මීට වඩා සිතා බලා කටයුතු කරන්නට ඉටා ගත්තේලු. එවරද ඔහු ප්‍රශ්න විමසන්නට තෝරාගෙන ඇත්තේ කාන්තාවකි.

"ළමයි කීයක් ඉන්නවද?"

"දෙන්නයි"

"බැඳලද?"

එහෙත් නැවතත් ප්‍රතිචාරය පෙර පරිදිම වූයේලු.

මේ තව කතාවකි. එය කලින් කතාව මෙන් නිර්මාණයක් නොව සැබෑ කතාවක් බව ලෝ ප්‍රකටය. මෙයද එක්තරා ලෝ ප්‍රසිද්ධ විද්‍යාඥයකු ගැනයි. ඔහු අයිසෙක් නිව්ටන්ය. නිව්ටන් සිය විද්‍යාගාරයේ පර්යේෂණවල නිරතව සිටින අතර සුරතල් බැළලිය සිය පැටවාත් සමඟ වරින් වර නිව්ටන් සිටින තැනට පැමිණෙන්නේලු. ඒ එන වාරයක් පාසා දොර ඇරීම සිය කටයුතුවලට බාධාවක් බව සිතූ නිව්ටන් දොරෙහි කුඩා කවුළුවක් (Cat hole) තැනීමට සිතුවේලු. ඒ අනුව බැළලියට එක කවුළුවකුත් පැටවාට ඊට වඩා කුඩා කවුළුවකුත් ලෙස දෙකක් තැනුවේලු.

සහතිකපත්වලින් බුද්ධිමතුන් වූ පිරිසගේ අද දවසේ සමාජ හැසිරීමේ ප්‍රායෝගිකත්වයද නිව්ටන්ගේ කැට් හෝල් න්‍යාය මෙනි. මෙරටද පසුගිය කාලයේ අහන්නට ලැබුණේ දෙවියන්ගෙන් වරම් ගෙන පර්යේෂණ කළ නම ගිය බුද්ධිමතුන් ගැනයි. මීට අමතරව මුහුණුපොත ඇසුරෙහි සටහන් තබන, රූපවාහිනී කැමරා ඉදිරිපිට දේශන දෙන, පාරට බැස උද්ඝෝෂණය කරන, පුවත්පත් සාකච්ඡා දෙන අනුගාමික හෝ ශිෂ්‍ය ප්‍රජාවක් ඇති බොහෝ බුද්ධිමතුන්, ඉහළ මට්ටමේ වෘත්තිකයන්, සාමාන්‍ය ජනයාට වරින් වර විහිළු සැපයීමේ සිද්ධිවලද අඩුවක් නැත.

වරද කොතැනද? ලංකාවේ අධ්යාමපන ක්රමමයෙහි බොහෝ විෂය නිර්දේශයන් කිසිදු ප්‍රායෝගික වැදගත්කමක් නැති කටපාඩම මඟින් දැනුම මනින ඒවාය. මානව ශාස්ත්‍ර විෂයන්හි තවමත් අධ්‍යය‍නය කරන්නේ 17ල18 සියවස්වල යුරෝපයේ සිදුවූවා යැයි සැලකෙන සමාජ විප්ලවයන් ගැනයි. ඉතිහාසය විෂයට වටිනාකමක් ඇති දෙයින් පමණක් අද දවසේ සමාජය විවරණය කරන්නට හැකිද යන්න දැවෙන ප්‍රශ්නයකි. අද දවසේ සමාජ වෙනස් වීම ගැන සියවස් ගණනකට පෙර න්‍යායන්ගෙන් විග්‍රහ කිරීමත් පෙරදිග සමාජය බටහිර සමාජ න්‍යායන් ඇසුරින් විග්‍රහ කිරීමත් පමණක් සම්භාව්‍ය දැනුම ලෙස ගණන් ගන්නා නිසාම ඇස් උඩ ඉන්දවමින්, හිස කසමින්, නියපොතු හපමින් යම් ප්‍රායෝගික වටිනාකමක් දිය හැකි මාතෘකාවක් සම්බන්ධ පර්යේෂණයක් සමාජගත කරන්නට උවමනා සටහන් හදන්නට විද්‍යාර්ථීන්ට සිදු වන්නේය.

මෙරට විභාග ක්‍රමයද සපුරාම මතකය මනින ක්‍රමයක් මිස දැනුම මනින ක්‍රමයක් නොවේ. ඉතින් උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ප්‍රජාව සීතලේ ගැහෙමින්, වතුර බේසම්වල කකුල් දමා ගනිමින්, නිදිමත යන්නට චුයින්ගම් හපමින්, කෝපි බොමින් ලියූ සැණින් හිස් කරන දැනුම පේපර් මත හලා නිදහස් වන්නට පාඩම් කරති, පාඩම් කරති, නැවතත් පාඩම්ම කරති. රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට යන තැන ඒ දැනුමෙහි කිසිම අදාළත්වයක් නොගෙන අන්තර්ජාතික භාෂාවන් ගැන දැනුම මනින අන්දම වික්ෂිප්තව බලා ඉන්නට සිදුවේ.

විශ්වවිද්‍යාල හෝටල් කාමර කරගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරයද ගුණාත්මකව හා ප්‍රායෝගික බුද්ධියෙන් යුතුව තමන් සහ සමකාලීනයන් තැනෙන්නට ඉඩ හදාගනු වෙනුවට පුහු විප්ලව මතවාද මඟින් මොළ ශෝධනයකට සමස්ත සිසු ප්‍රජාවම ලක් කෙරෙමින් සිටිති. පහළ මට්ටමේ රුචිකත්වයක් ඇති ඕපාදූප රස කරන්නන්ට උත්තේජන දෙන ක්‍රියා කරමින්, රූප පට නිකුත් කරමින් මහා සමාජය හා පාලකයන් අප සතු වටිනාකම පහත හෙළන්නේ යැයි මොර දෙමින් සමාජයට වෛර කරන මානසිකත්වයන් තනති. අම්මේ, තාත්තේ, අය්යේ, අක්කේ යැයි ඇමතූ සැනින් මහා සමාජයට තමන් ප්‍රායෝගික බුද්ධිමතෙකැයි තහවුරු නොවන බව ශිෂ්‍ය ව්‍යාපාරයද වටහා ගත යුතු වන්නේය. නැත්නම් සහතිකය ලබා රජය විසින් දෙන හෝල්සේල් රැකියාවකට පැන එයින් ඉක්බිත විප්ලවයද අතුරුදන්ව සාමාන්‍ය ජීවන බර කරට ගන්නට වෙන තැන "අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා ඵලක් නැති" බව අවබෝධ කරගත්තාට වැඩක් නැත. ‍

සහතිකපත් හිමි බුද්ධිමතුන් මෙන්ම සහතික පත්‍ර ලබන්නට නියමිත පුද්ගලයන් යන දෙපසටම අධ්‍යාපනය සහතිකවලට සීමා නොවූ දැනුම ප්‍රායෝගික කරගන්නට නොවෙහෙසෙන තාක් නිව්ටන්ගේ කැට්හෝල් වැනි සමාජයට විහිළු සපයන්නට හැකිය.

[සජිනි උයන්ගොඩ]

....


අදහස්

2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0