― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsදරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගන්න - රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගන්න – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාත්නත්‍රවාදීව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බැවින්, දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන්නැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
 
මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධන හා ජීවනෝපාය අනුකමිටු රැස්වීම මීගමුව නගර සභා ශාලාවේදී ඊයේ (18) පැවැති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
 
රජය තීන්දු කරලා තියෙනවා තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බැහැ කියලා. මොකද මේක සමාජයට කරන විශාල අසාධාරණයක්. ඒ තරුණ පරපුරට කරන විශාල අසාධාරණයක්. ඒ අසාධාරණය නොකර 21 වෙනිදා පාසල් පටන් ගන්න සහයෝගය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගුරු වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා අපට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙන්න කටයුතු කරනවා. සල්ලි තියෙනවනම් ඔය ඉල්ලන විදියටම වැඩි කරන්න කැමතියි. දැනට එවැනි තත්ත්වයක්  නැහැ. නමුත් ඉදිරියේදී එය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු. මතු අනාගත දරුවන් වෙනුවෙන් ආණ්ඩුව හා වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ජා සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.
 
කොවිඩ් වසංගතය නිසා ලෝකයේ සියලුම රටවල් එහි ජීවත් වන ජනතාව ඉතිහාසයේ මුහුණු නොඳුන් අභියෝග රැසකට විවිධ ආකාරයෙන් මුහුණු දුන්නා. ලෝකයේ අනිකුත් රටවල් අභිබවමින් මේ වන විට 60% එහා එන්නත්කරණ සිදු කිරීමට අපට හැකි වුණා. ඒ නිසා රට විවෘත කරන්න පුළුවන් වුණා. මෙම අභියෝගය අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම බලපානවා. විශේෂයෙන් අපේ රටේ ආර්ථිකය කුඩා ආර්ථිකයක් නිසාත්, අපට ලැබෙන ආදායම් මාර්ග සියල්ල අවහිර වී ඇති නිසා බලවත් රටවල්වලට වඩා විශාල ප්‍රශ්න රාශියකට මුහුණුදෙමින්, අභියෝග පසුකරලා තමයි අද රට විවෘත කරල තියෙන්නේ. ඒ අනුව නැවත සුපුරුදු පරිදි මේ රටේ ආර්ථිකය ගොඩනැගීම, ජන ජීවිත ගොඩනැගීම සහ දරුවන්ගේ අධ්‍යාපන නඟාසිටුවන්න උත්සාහ කරන්නේ.
 
ආර්ථික අභියෝග, වසංගතයේ අභියෝග සියල්ල සමඟ තමයි රජයක් ලෙස අවම සිසුන් සිටින පාසල් විවෘත කිරීමට තීන්දු කරලා තියෙන්නේ. මේ සඳහා ඇති අභියෝගය තමයි මේ වන විට පැවැත්වෙන ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය. එහිදී ඔවුන් ඉල්ලන ඉල්ලීම් කිසිවක් අසාධාරණ ලෙස අපි දකින්නේ නැහැ. ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම් ලබාදිය යුතුය යන මූලික ප්‍රතිපත්ති තීන්දුව අපි අරගෙන තියෙනවා. 
 
පසුගිය කාලයේදී රට වසා දැමූ නිසා රටේ ආර්ථිකයට ලැබෙන ආදායම් කිසිවක් ලැබුණේ නැහැ. අපගේ ආනයනය අපනයනය ගත් විට වෙළඳ ශේෂය ඩොලර් බිලියන 10ක්. ඉකුත් රජයන් එය ආවරණය කර ගත්තේ සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන තුළින්. සංචාරක ව්‍යාපාරය තුළින් ලැබෙන බිලියන 4ක් ඉකුත් වසර දෙක තුළ ලැබුණේ නැහැ. මේ වසරට ලැබිල තියෙන්නේ මිලියන 25යි. කවුරු ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු කලත් මේ රටේ සල්ලි ගස්වලින් කඩන්න විදියකුත් නැහැ. වෙනත් විදියකින් ලබාගන්නත් බැහැ.
 
එම අභියෝගාත්මක කාලය අවසන් කරල තමයි රටේ ජනතාව නඟාසිටුවන්න උත්සාහ කරන්නේ. එහි ප්‍රථම පියවර තමයි දරුවන්ගේ අධ්‍යාපනය. රජයක් ලෙස ගන්නා තීන්දුවලට සමහර අය එකඟ නොවුනත් දරුවන් ගැන හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. 
 
සල්ලි ඇති අයගේ දරුවෝ අද online අධ්‍යාපන ලබනවා. අන්ත අසරණ සහ මැද පන්තියේ අයගේ දරුවන්ගේ අධ්‍යාපනය තමයි කඩාකප්පල් වෙලා තියෙන්නේ. අධ්‍යාපනය සමඟ තමන්ගේ අරමුණු ඉටු කර ගන්න කටයුතු කරන්න එපා. මෙයින් අසාධාරණයට ලක් වන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. 
 
ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට විශාල ගෞරවයක් මේ සමාජය තුළ තියෙනවා. දරුවන්ගේ විශාල ආදරයක් ඔවුන්ට තියෙනවා. එම ආදරය සහ ගෞරවය නැති කර ගන්න හදන්න එපා කියන එකයි මගේ ඉල්ලීම. ආණ්ඩුවට මුදල් තිබුණා නම් මෙම වැටුප් ගෙවනවා. ගෙවන්න මුදල් නැත්නම්, ගෙවන්න පුළුවන් කියලා පොරොන්දු දෙන්නේ කොහොමද? ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
පාසල් ආරම්භයේදී කොවිඩ් වසංගතයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම මෙන්ම  ඩෙංගු අවදානම වළක්වා ගැනීමට අවශ්‍ය කැලි කසළ ඉවත් කිරීම හා පාසල් පිරිසිදු කිරීමේ කටයතු සඳහා මීගමුව නගර සභාවේ දායකත්වය ලබාදෙන ලෙස අදාළ අංශ වෙත රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මෙතෙක් එන්නත්කරණය සිදු නොකළ ගුරුවරුන් සඳහා අවශ්‍ය එන්නත් ලබාදීම ප්‍රමුඛතාවය අනුව සිදු කරන ලෙසද මෙහිදී උපදෙස් ලබා දුන්නේය.