මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

ඒකීය රටක් – ස්වෛරී දේශයක් – සමෘද්ධිමත් ජනතාවක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්යභාරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ඉටු කරමින් සිටිනවා

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

විඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පතමින් පස්වැනි සංවත්සර උලෙළේදී ජනපති කියයි

අලුත් දේශපාලන පක්ෂයකට ‍ ඓතිහාසිකව කරන්න පුළුවන් මහා පෙරළිය අප සිදු කළා : අගමැති මහින්ද රාජපක්ෂ
අපේ අධිෂ්ඨානය රටත් ජනතාවත් දිනවීම මිස පරාජය කිරීම නොවෙයි : ඇමැති බැසිල් රාජපක්ෂ

ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් ජනතාවක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්යභාරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ඉටු කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ නෙලුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සර සැමරුම් උත්සවය නිමිත්තෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ සුබපැතුම් පණිවිඩක් නිකුත් කරමිනි.

“අභිමානයෙන් සෞභාග්‍යය කරා“ තේමාවෙන් මෙවර පක්ෂ සම්මේලනය පැවැත්විණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ රටේ දේශපාලන පක්ෂයක් ලෙස ඉතාම කෙටි කාලයක් තුළ ඉහළම ජයග්‍රහණ ලබා අද සිය පස් වසරක ගමන මඟ සමරනවා. ඒ වෙනුවෙන් නායකත්වය ගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට වගේම පක්ෂයේ සියලු නිලධාරින්ටත්, සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රථමයෙන් මගේ සුබ පැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ යුගයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමෙ අභිලාෂයෙන්. අද ඒ සතුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, අප සියලු දෙනාට දැඩිව දැනෙන බව මා විශ්වාස කරනවා. විජාතික බලවේග එක්ව ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටට අහිමි කළා. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට කී ආණ්ඩුව රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාව වූ ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳ දැම්මා. බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. රට නිදහස් කළ රණවිරුවා ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දුන්නා. බොහෝ රණවිරුවන් සිරගත කළා. සමහරුන්ට මරණ දඬුවම දුන්නා. මේ ව්‍යසනකාරී පාලනයට එරෙහිව හඩ නැගූ භික්ෂූන් වහන්සේ ඇතුළු ජාතිමාමකයන්ට සිරගෙය උරුම කළා. අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය හැදුවා පමණක් නෙවෙයි, ආගමික සංහාරයට රට විවෘත කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට දායද කළ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විජාතික බලවතුන්ට පවරා දෙන්න කටයුතු කළා. රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහබැංකුව කොල්ල කෑමෙන් ජාතික ආර්ථීකයට එල්ල වූ මරුපහරේ දුර්විපාක අදටත් මේ රට විදිනවා. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ තෙගුණ කළේ ඔවුන්. සංවර්ධනය අඩපන කරමින් නිෂ්පාදන ආර්ථිකය බිඳදැමූ ආකාරය ආර්ථීක විශේෂඥයන් පවා පෙන්නුම් කළා. අපේ සංස්කෘතියේත් ආර්ථීකයේත් ජීවමය පදනමක් වූ කෘෂිකර්මාන්තය අනතුරට හෙළුවා.

රට දිනෙන් දින සියලු අංශයන්ගෙන් ප්‍රපාතයට ගමන් කළා. නීතිය වෙනුවට පළිගැනීම සමාජ ගත කළා. ඔවුන්ගේ මතයට හිස නොනැමූවන්ට අසාධාරණ ලෙස පහර දුන්නා. රාජ්‍ය සේවකයා අනිසි බියකින් හිර කර සමස්ත රාජ්‍ය යන්ත්‍රණය අඩපණ කළා. දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් දීම වෙනුවෙන් එෆ්.සී.අයි.ඩී වැනි ආයතන ඇති කළේ නීතියට පටහැණිවයි. අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණා. නැවුම් දේශපාලන පක්ෂයක් ලෙස මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා විශාල ජනමතයක් ගොඩනැඟුණු බව අප දැක්කා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහුටුවා මාස 15ක් වැනි කාලයකදී මුහුණ දුන් පළමු ඡන්දයෙන් අප විශාල ජනමතයක්, ජයග්‍රහණයක් හිමි කරගත්තා. අලුත් රටක් පිළිබඳ වූ මහජන මතය හැරවුම් ලක්ෂය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා අත්කරගත් ජයග්‍රහණ බව අප පිළිගත යුතුයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස මා තෝරා ගැනීමට පක්ෂය ඒකමතිව කටයුතු කළා. වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් පරාජයට පත්කර පොදුජන යුගයක ආරම්භය වෙනුවෙන් ගමක් නගරයක් පාසා ඔබ සාමාජිකයන් සාමූහිකව අත්වැල් බැඳ ගත්තා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග්‍රහණය කළේ ඔබේ කැපවීම මතයි. මහ මැතිවරණය වෙනුවෙන් සහෝදර පක්ෂ ඒකාරාශී කරගනිමින් රට ලැබූ ජය විජයග්‍රහණයක් කරා ගෙනයන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළා. තුනෙක් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට පොදුජන පෙරමුණ කළ මෙහෙවර ඓතිහාසිකයි. කොවිඩ් වසංගතය හමුවේ රට අකර්මන්‍ය වන විට රට සුරකින පක්ෂයක ජාතික කාර්යභාරයට ඔබ යුහුසුලුව උර දුන්නා. රාජ්‍ය ප්‍රතිපත්ති, සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සාමාජිකයන් එක පවුලක් වගේ කටයුතු කළා. රට මේ ව්‍යසනය හමුවේ ලැබූ ජයග්‍රහණවල ඔබත් ප්‍රධාන කොටස්කරුවෙක්. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ යහපාලන රජය බිඳදැමූ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට භාර දී පැවැති අවිශ්වාසයත් අපේක්ෂා භංගත්වයත් අප අද තුරන් කළා. සාධරණ හා යුක්තිගරුක විවේචනයන්ට රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම ඒ හා බැදුණු පාතාලය මර්දනය වී තියෙනවා.

රාජ්‍ය සේවය ගුණාත්මක කලා වගේම උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවා ගෙන රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සැලසුවා. දර්ද්‍රතාවෙන් පෙළුණු නිපුණතාවෙන් අඩු තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දීම අද ආරම්භ වී තියෙනවා.

හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කරගෙන කාබනික ගොවිතැනට මාරුවීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් අරගෙන තිබෙනවා. පරිසරය, ගහකොළ, සතා සීපාවා වනසමින් මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකාර්මික ප්‍රවේශය රටේ ඓතිහාසිකම තීන්දුවක් බවට පත්කරන්න ඔබ සැදී පැහැදී සිටින බව මා දන්නවා. ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබල ගන්වන දේශීය ආර්ථිකයක් වෙනුවෙන් අභීයෝගාත්මක තීරණවලට රජය එළැඹ සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. ඒ සඳහා ඔබ පක්ෂයේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. ඔබ පැතූ, ඔබ සිතන මේ රට නැවත ගොඩනැඟෙන විට එහි අභීමානය ඔබ කළ කැපවීම්වල ප්‍රතිඵලයයි. ශ්‍

ඔබ පක්ෂය දිනෙන් දින ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඉටු කරන මෙහෙවරේ ප්‍රථිඵල රට හමුවේ දකින්න ලැබෙනවා. වෙනස්ව සිතන්න බිය නොවන්න. ඔබේ පක්ෂයේ ආදර්ශ පාඨය තුළින් ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් ජනතාවක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්යභාරයක් මේ වන විට ඉටු කරමින් සිටිනවා. ඔබේ අභිමානය වගේම ඔබ පක්ෂයේ වටිනාකමත් එයයි. ජාතික අපේක්ෂාවන් හඳුනාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තබන පියවර දිනෙන් දින සාර්ථක වේවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා- අලුත්ම පක්ෂයකට වසර පහක් තුළ ජනාධිපතිවරයෙක් බිහි කර තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන පස්වැනි සංවත්සරය සමරන්න ලැබෙයි කියා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නෑ. නමුත් අලුත් දේශපාලන පක්ෂයකට ‍ ඓතිහාසිකව කරන්න පුළුවන් මහා පෙරළිය අද අප සිදු කර තියෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න හෝ මහපාරට වැටෙන්න සුදානමින් වුණත් කැපවූ සියලු දෙනාට මා මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා.

පොදුජන පෙරමුණේ ගෙවුණ පස් වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ආණ්ඩු බලය අහිමි වී මර්දනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නම් පොදුජන පෙරමුණ ගත කළ ගෙවුණු වසර පහ දිහා බලන්න. ඒ වාගේම විපක්ෂයේ ඉන්නකොට පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අතට අරගෙන ආණ්ඩුවක් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නත් පොදුජන පෙරමුණේ පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්.

පොදුජන පෙරමුණ ගොඩනගාගෙන යනකොට තමයි එදා දිගන ජාතිවාදී ගැටුම සිද්ධ වුණේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේත්. එබඳු අවස්ථාවල ජනතාව කුමන්ත්‍රණකාරීව අවුස්සන්නේ නැතිව කෝප කරන්නේ නැතිව කටයුතු කරන්නේ කෙහොමද කියන එක තේරුම් ගන්නත් අපේ ගෙවුණ ඉතිහාසයෙන් පුළුවන්. එපමණක් නොවෙයි පොදුජන පෙරමුණ මේ රටේ වාගේම විදේශවලත් බලපෑමට ලක්වුණා. මට මතකයි දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කළ මොහොත. එදා පාර්ලිමේන්තුවට ආව විදේශ නියෝජිතයෝ අපට එරෙහිව පාර්ලිමේන්තු ගැලරියේ සිට ජයඝෝෂා කර අත්පුඩි ගැහුවා. එබඳු බලවේගවලටත් මුහුණ දෙමින් තමයි පොදුජන පෙරමුණ ගොඩනැඟුවේ. මොන තරම් මර්දනයට ලක් වුණත් මොන තරම් පීඩනයට ලක් වුණත් අප ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියා වැඩ කළා. අපව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කර වර්ජන රැලි මෙහෙයවා ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නෑ. ඒ නිසාම තමයි වගකිවයුතු පක්ෂයක් හැටියට ජනතාව අපව භාර ගත්තේ.

ගුරුවර්ජනය දුරදිග ඇදී ගියේ අප දේශපාලන කටයුතුවලින් ඈත් වුණ නිසායි. අද ගොවි උද්ඝෝෂණ වුණත් මේ තරම් බරපතළ විදිහට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකළ නිසායි. ඒ ජනතාවගේ හඬ අප තේරුම් ගන්න ඕනෑ. ඒ හඬ අපට ඇහෙන්න ඕනෑ. දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අප පරාද කරපු බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදුජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනෑ. ලොකු කුඩා නෙවෙයි දේශපාලනයේදී වැදගත් වෙන්නේ. අරමුණයි. මේ හැමෝම අපත් එක්ක එක මඟ යන අයයි. අපේ දුෂ්කර අවස්ථාවල එකට එක පිලේ සිටි අයයි. එක අරමුණකට සටන් කළ අයයි. මේ කවුරුත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒ අයත් අපත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අයයි. ඒනිසා ඒ සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීමයි.

රටේ අද තියෙන ප්‍රශ්න අප ගෙනාපු ඒවා නොවෙයි. 2015 දී අපෙ බාර දුන් රට නොවෙයි 2019දී අප බාර ගත්තේ. අප 2019 පොදුජන පෙරමුණ බලයට එනකොට ඇස් හිස් මස් ලේ පූජා කරලා රට බේර ගත්ත රණවිරුවෝ දංගෙඩියට ගෙනයන ජගත් යෝජනාවලට ආණ්ඩුව එකඟ වී තිබුණා. යහපාලන ආණ්ඩුව කාලේ මුලතිව්වල ගුරු කන්ද පන්සලේ නායක හාමුදුරුවන් අපවත් වූ විට උන්වහන්සේගේ සිරුරවත් ඒ පන්සල් බිමේ ආදාහනය කරන්න ඉඩ දුන්නේ නෑ. එදා උතුරේ තිබුණු තත්වය එයයි. මුළු භික්ෂු ශාසනයටම කතා කළේ චීවරධාරීන් කියායි. නෝර්වේ සටන් විරාම ගිවිසුම ඉරා දමා බේරගත්ත රට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කර, එයින් ඉවත් වී බේරගත්ත රට, එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකර බේරගත්ත රට අප කිසිවිටෙක පාවා දෙන්නේ නෑ. රට වෙනුවෙන් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අප ගැන මතුවටත් ඒ විස්වාසය තියන්න පුළුවන් බව මා කියන්න කැමැතියි.

ජාතික ආරක්ෂාව කියලා දෙයක් තිබුණෙම නෑ. ඒ විතරක් නෙමෙයි එම්.සී.සී. අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කර තිබුණා. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක නතර කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබුණු යෝජනාවත් අප බලයට ඇවිත් ඉවත් කර ගත්තා. ඒත් ඒ සියල්ල අප දැන් ආපස්සට හරවා තියෙනවා.

පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපට විශාල ශක්තියක් වුණා. එතුමාගේ කැපවීම අවංකකම ගැන ජාතියේ විශාල විශ්වාසයක් තිබුණා. මේ පක්ෂය එතුමාට ශක්තියක් වුණා වාගේම එතුමාත් පොදුජන පෙරමුණට ආකර්ෂණයක් ගෙනාවා. දේශපාලනය ඈත් කර සිටි විශාල තරුණ පිරිසක් එතුමා ගැන විශ්වාසය තියා ඡන්ද පොළට ගියා.ඒ නිසාම පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගැන එතුමා විශ්වාසය තියා තියෙනවා. ඒ නව තරුණ පිරිස ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕනෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා -අපේ පක්ෂයට වසර පහක් වුණත් මා කිසිම අවස්ථාවක පක්ෂයේ වේදිකාවක කතා කළේ නැහැ. මෙවර මට කතාවක් කරන්න කියා සංවිධායක මණ්ඩලය කිව්වා. ලංකාවේ තිබෙන ළදරුම දේශපාලන පක්ෂය අපේ පක්ෂයයි. අපේ පක්ෂයේ ලොකුම ශක්තිය වුණේ මේ රටේ ජනතාවයි. අපේ පරමාදර්ශී නායකයා වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. අප මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. අපේ එකම පරමාර්තය වුණේ ජනතාව දිනවීමයි. අදටත් අප අධිෂ්ඨාන කරගෙන ඉන්නේ රටත් ජනතාවත් දිනවීම මිස කිසිවෙක් පරාජය කිරීම නෙවෙයි.

අපේ පක්ෂයට මේ රටේ ගම් 36,000ම නියෝජනය කරන ග්‍රමාසේවා වසම් 14,021තුළම ශාඛා සමිති, තරුණ, කාන්තා සමිති වගේම අපට සම්බන්ධ අනු සංවිධාන 29ක් පිහිටුවා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙල්බන් නුවර සිටි ලොජ් ඇන්ජලීස් නුවර දක්වා එක වෙලාවේ හිරු නොපායන හැම රටකම හැම නගරයකම අපේ සාමාජිකයන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අප නිහතමානීව ආඩම්බර වනවා වගේම නිහතමානීව ජයග්‍රහණය සමරණවා.

ඉදිරියටත් අවංක දේශපාලන පක්ෂයක් හැටියට අප ජනතාවට කටයුතු කරනවා. අපේ මිතුරන්ගේ ආශීර්වාදත් ප්‍රතිවාදීන්ගේ අභීයෝගත් අප බාර ගන්නවා. අපිට මිතුරුකම් කළ සියලු දෙනාට ගෞරව කරනවා වගේම ප්‍රතිවාදීව අපේ පක්ෂයට යම් අභීයෝගයක් එල්ල කළා නම් ඒ අභීයෝග සියල්ලම අපට ශක්තියක් වූ බව නිහතමානීව ප්‍රකාශ කරනවා. ඉදිරියේදී තව දුරටත් දේශපාලන ජයග්‍රහණ ලබා ගන්නවා වගේම ඒ සියලු දේශපාලන ජයග්‍රහණ මේ රටේ ජනතාවගේත් විශේෂයෙන් මතු පරපුර වෙනුවෙන් යොදවවා.

අපේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න අධීෂ්ඨාන කරගෙන ඉන්න නිහතමානී අවංක ශ්‍රේෂ්ඨ නායකයෙන් අපේ රටේ ජනාධිපති ධුරයේ සිටින මෙහොතක අප ඒ කාර්යය අවංකව ඉෂ්ඨ කරනවා.

පක්ෂය ගොඩනැඟීමට උදව් කළ පක්ෂෙන් පිට අයටත් ගෞරව කරනවා. පක්ෂය ගොඩනැඟුවා. ජයගුහණය කළා. ජනතාව අපට වගකීමක් භාර දුන්නා. ඒ වගකීම අකුරටම ඉටු කරන්න අවශ්‍ය සහාය හා මඟ පෙන්වීම පක්ෂය විදියට දෙන්න අධිෂ්ඨාන කරමු.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සීමිත සහභාගීත්වයකින් පැවැති මෙම උත්සවයට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගෙන සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන්, හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ.

නෙරංජලා වික්‍රමසිංහ

ඡායාරූප – විමල් කරුණාතිලක

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news