මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

මම ගමට යනකොට කවුරුත් හූ කිව්වේ නෑ

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

ආණ්ඩුවට පහර දීම සඳහා විපක්ෂය විසින් යොදා ගන්නා අලූත්ම තුරුම්පුව වී තිබෙන්නේ ආණ්ඩුව ඉන්දියාව සමග ආරම්භ කිරීමට සූදානම් බව පැවසෙන ටි‍්‍රන්කෝ පෙට්ටේ‍්‍රාලියම් ටර්මිනල් ලිමිටඞ් නමැති සමාගමයි. ඒ පිළිබඳව විපක්ෂය විසින් කරන චෝදනාවන් පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතාගෙන් විමසා සිටියෙමු. එහි දී ඇමැතිවරයා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය- ආණ්ඩුව ති‍්‍රකුණාමලයේ තිබෙන තෙල් ටැංකි ඉන්දියාව සමග සංවර්ධනය කිරීම සඳහා ටි‍්‍රන්කෝ පෙට්ට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඞ් නමින් නව සමාගමක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩුවට මෙම තෙල් ටැංකි තනිව සංවර්ධනය කළ නොහැකි ද?

පිළිතුර- ලෝකය පුරාම ඇතිවී තිබෙන ව්‍යසන තත්ත්වයත් සමග ආර්ථික තත්ත්වය පිළිබඳව අපට අලූතින් බලන්න සිද්ධ වී තිබෙනවා. ලෝකයේ සෑම රටකම දල දේශීය නිෂ්පාදනය පහත වැටී තිබෙනවා. අපේ සෑම දෙයක්ම අපටම කර ගන්න පුළුවන් නම් හොඳයි. එසේ නොහැකි අවස්ථාවල දී අපට විකල්ප පිළිබඳව අවධානය යොමු කිරීමට සිද්ධ වෙනවා. එහි දී අප සැලකිලිමත් විය යුතු වන්නේ අපගේ ස්වාධීනත්වය පිළිබඳව මෙන්ම අපට ලැබෙන ලාභය පිළිබඳව තමයි. එහි දී අපට පෞද්ගලික අංශය සමග මෙන්ම වෙනත් රටවල් සමගත් කටයුතු කිරීමට සිද්ධ වෙන්න පුළුවන්. දැන් බලන්න අපගේ පොස්පෙට් නිධිය. එය සංවර්ධන කිරීමට නම් මිලියන ගණනක් වැය කිරීමට සිිද්ධ වෙනවා. අපට එම මුදල නොමැති නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය අපට නොමැති නම් අපට සිද්ධ වෙනවා එම හැකියාවන් ඇති පාර්ශ්වයක් සමග කටයුතු කිරීමට. එසේ කටයුතු කරන්නේ නැතිනම් වර්තමාන ලෝකය තුළ රටක් ඉදිරියට ගෙනියන්න අමාරුයි.

ප‍්‍රශ්නය – විපක්ෂය චෝදනා කරනවා හම්බන්තොට වරායත් යළි ලබාගන්නා බව පවසා බලයට පැමිණි ආණ්ඩුව මේ ආකාරයට තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම වැරදි කි‍්‍රයාවක් බව…

පිළිතුර – පළමු කාරණය තමයි හම්බන්තොට වරාය දුන්නේ ඇයි කියන එකට පිළිතුරක් තිබිය යුතුයි. එකත් ප‍්‍රශ්නයක් තමයි. අප බලාපොරොත්තු වුණ විධියට එම වරාය යළි ලබාගන්න පුළුවන් වුණා නම් හොඳයි. නමුත් අපට එම වරාය සම්බන්ධයෙන් පැවති යම් යම් තත්ත්වයන් වෙනස් කිරිමට පුළුවන් වූවා. ඒ පිළිබඳව අපි චීන රජයට ස්තුතිවන්ත වෙන්න ඕනී. එම ගිවිසුමේ තිබුණු යම් යම් වගන්ති වෙනස් කිරීමට පුළුවන් වී තිබෙනවා. එම නිසා දැන් එම වරායේ කටයුතු සිද්ධ වෙන්නේ නාවික හමුදාවේ අධික්ෂණය යටතේ. ඒ වගේම දැන් එම වරායේ නංවා තිබුණු කොඩියත් වෙනස් කරලා තිබෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමේ තිබෙනවා යම් යම් යෝජනා. මේ අවස්ථාවේ දී අපගේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් සමග එම වරාය මෙම අවස්ථාවේ දී සම්පූර්ණයෙන්ම ලබාගැනීමට නොහැකි වුවත් ඉදිරියේ දී එම ගිවිසුමේ තිබෙන විකල්ප යෝජනා අනුව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.

විපක්ෂයේ ඉඳගෙන කටයුතු කිරීමට හරි ලෙහෙසියි. එතන තිබෙන්නේ විවේචනය පමණයි. ජනතා විමුක්ති පෙරමුණටත් එම කාරණය අදාළයි. එම පක්ෂයට බලය ලැබුණහම කටයුතු කරන්නේ කෙසේද කියන එකට උදාහරණ තිබෙනවා. එම පක්ෂය තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව ජයග‍්‍රහණය කළා. ඒ පිළිබඳව විශාල වශයෙන් කතා කළා. එම ප‍්‍රාදේශීය සභාවේ ට‍්‍රැක්ටරය පදවන්නෙත් එම සභාවේ සභාපතිවරයා කියලා කිව්වා. ඒ වගේ සරල ප‍්‍රාථමික දේවල් තමයි කිව්වේ. නමුත් ඊට පසුව මොකද්ද සිද්ධ වූයේ. ඔවුන් ජනතාව පිළිගත්තද? අවසානයේ දී වැදගත් වන්නේ ජනතාව කියන දේ තමයි. විපක්ෂයේ ඉන්න කොට ඕන විවේචනයක් කරන්න පුළුවන්. නමුත් බලය ලැබුණු විට කරන්නේ මොකද්ද කියන එක තමයි වැදගත්. විපක්ෂයේ භූමිකාව අපට ගන්න වෙන්නේ එම අර්ථයෙන් තමයි.

කොවිඞ් වසංගතය ඇතිවීමෙන් පසුව විපක්ෂය කිව්වා අපට එන්නත් ගේන්න බැහැ කියලා. කිසිම රටක් අපට උදව් කරන්නේ නැහැ කිව්වා. නමුත් දැන් මොකද වෙලා තිබෙන්නේ. මේ වන විට අපගේ රට එන්නත්කරණයෙන් ලෝකයෙන්ම 4 වන 5 වන තැනට පත් වී තිබෙනවා. ඒ සඳහා ඒ පිළිබඳව සොයා බලමින් ජනාධිපතිතුමා විසින් කළ සේවය අතිවිශිෂ්ටයි.

ප‍්‍රශ්නය- ලෝක වෙළෙඳ පොළේ කිරි පිටි මිල ඉහළ යෑම හේතු කොට ගෙන මේ වන විටත් කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා. ඒ සමගම දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටිවල මිලත් ඉහළ දමා තිබෙනවා. ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යෑමට සාපේක්ෂව අපේ රටේ නිෂ්පාදනය කරන කිරිපිටිවල මිලත් ඉහළ යනවා නම් දේශීයව කිරිපිටි නිෂ්පාදනය කිරීමේ අර්ථයක් තිබෙනවා ද?

පිළිතුර – මේ වන විට ලෝක පරිමාවෙන්ම ජීවන මිල ඉහළ ගිහින් තිබෙනවා. අපේ රටටත් එම තත්ත්වය බලපා තිබෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුවටත් චෝදනා එල්ල වනවා.

මෙම තත්ත්වය තුළ සැම දෙයකම මිල ඉහළ ගිහින් තිබෙනවා. එම කාරණය දේශීය කිරිපිටි නිෂ්පාදන කර්මාන්තයටත් බලපා තිබෙනවා. පවතින තත්ත්වය තුළ අපට පාඩු ලබන ආයතන පවත්වාගෙන යෑමේ හැකියාවකුත් නැහැ. එම තත්ත්වය තුළ තමයි දේශීය කිරිපිටිවල මිලත් ඉහළ දැමීමට සිද්ධ වී තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ආණ්ඩුව රසායනික පොහොර තහනම් කළේ සෞඛ්‍යමය හේතු පදනම් කරගෙන. නමුත් මෙම වන විට එම තීරණය ආණ්ඩුව අප‍්‍රසාදයට පත් වීමට හේතුවක් වී තිබෙනවා. රසායනික පොහොර මගින් වකුගඩු රෝගය මෙන්ම වෙනත් රෝග ද ඇති වන බව සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වී පෙන්වා දුන්නා නම් ආණ්ඩුව මෙතරම් අප‍්‍රසාදයට පත්වන්නේ නැහැ නේද? ඇයි ඒ සඳහා අවශ්‍ය පියවර නොගත්තේ?

පිළිතුර- මේ පිළිබඳව කටයුතු කරන කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටිනවා. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීමකුත් අප කැඳවූවා. ඒ සඳහා වෛද්‍ය පාදෙනිය ඇතුඵ පිරිසක් සහභාගි වූවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට දත්තවලින් ප‍්‍රකාශ කළ හැකි දේ පමණක් අපි ප‍්‍රකාශ කරලා තිබෙනවා. රසායනික පොහොර වලින් හානියක් වෙන්නේ නැහැ කියලා අපි කිසිම අවස්ථාවක කියලා නැහැ. නමුත් සමහර පුද්ගලයන් කරන ප‍්‍රකාශ සහ පවතින දත්ත අතර පරතරයක් තිබෙනවා.

කාබනික වගාවට යොමුවීම පිළිබඳව ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තිබෙන වැඩ පිළිවෙළ හරියටම හරි. නමුත් කෘෂිකර්ම අංශය විසින් එය කි‍්‍රයාවට නැන්වූ ආකාරයේ විශාල අඩුපාඩු තිබෙනවා. එම නිසා ඒ අය සෞඛ්‍ය සහ පරිසර අංශවලට ඇඟිල්ල දිගුකිරීම නම් මම ප‍්‍රතික්ෂේප කරනවා. තමන්ගේ කටයුතු හරියට නොකර අනික් අයට ඇඟිල්ල දිගු කිරීම හොඳ දෙයක් නොවෙයි.

ප‍්‍රශ්නය – කොවිඞ්-19 වෛරසයේ නව ප‍්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විවිධ රටවල් විවිධ පියවරවල් ගෙන තිබෙනවා. සමහර රටවල් සේවකයන් සේවයට කැඳවීම සීමාකරලා තිබෙනවා. සමහර රටවල් රාති‍්‍ර කාලයේ දී රට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඔමික්‍රොන් ප‍්‍රභේදය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වන විට ගෙන තිබෙන පියවර මොනවා ද?

පිළිතුර- මේ පිළිබඳව අප සම්පූර්ණ අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් මේ වන විට අප නිවාස පදනම් කර ගනිමින් කි‍්‍රයාත්මක කළ වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේත් අනෙකුත් රටවල්වලත් අවධානයට යොමු වී තිබෙනවා. කෙනෙකුට ලේසියෙන්ම කියන්න පුළුවන් රට වහන්න කියලා. රට වැහුවත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවනවා. නමුත් දෛනිකව ආදායම් උපයන ජනතාව කොහොමද ජීවත්වන්නේ. ඒ වගේම රට වැසීමෙන් සිද්ධ වෙන ආර්ථික ව්‍යසනය ඊට වඩා විශාල වන්න පුළුවන්. කන්න බොන්න නැතිව මිනිසුන් මියයන්න පුළුවන්.

එම නිසා තිබෙන හොඳම දේ තමයි ව්‍යසනයක් එනවා නම් ඒ සඳහා සූදානම් වීම. උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් මෙම ව්‍යසනය පළමුවෙන්ම ආපු කාලයේ දී අපගේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල තිබුණේ ඇඳන් දෙක තුනක් පමණයි. නමුත් මේ වන විට අප එම තත්ත්වය මෙම ව්‍යසනයට මුහුණ දිය හැකි මට්ටම දක්වා වැඩිදියුණු කර තිබෙනවා. එම කටයුතු ටික අපි සාර්ථකව කරගෙන යනවා.

ඇත්ත කතාව තමයි මේ වන විට අපට විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ඇයි ඒකට හේතුව? අපට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 4.5 පමණ ලැබුණා. විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ඩොලර් මිලියන 6.5 පමණ ලැබුණා. වැවිලි කර්මාන්තයෙන් 1.2 පමණ ලැබුණා. ඇඟලූම් කර්මාන්තයෙනුත් අපට ආදායමක් ලැබුණා. මේ සියල්ල කඩා වැටිල තිබියදී සමහරු විදේශ විනිමය නොමැති බවට ඇඟිල්ල දිගු කරනවා. එම නිසා මේ සියල්ල කළමනාකරණය කරමින් කෝවිඞ් නව ප‍්‍රභේදය ව්‍යාප්තවීම වැළැක්වීමට අවශ්‍ය පියවර අපි ගනිමින් සිටිනවා. අවශ්‍ය වුවහොත් අවශ්‍ය ප‍්‍රමාණයට නීති පනවනවා.

ප‍්‍රශ්නය – ගාල්ල කරාපිටිය රෝහලේ 11 වන වාට්ටුව ඇතුඵ වාට්ටු කිහිපයකම එක්පසක කෝවිඞ් ආසාදිත රෝගීන්ට ප‍්‍රතිකාර කරන අතර අනෙක් පස සාමාන්‍ය රෝග සඳහා ප‍්‍රතිකාර ගන්නා රෝගීන් ප‍්‍රතිකාර ලබනවා. ඒ වගේම සමහර රෝහල්වල කොවිඞ් රෝගීන් සඳහා වෙනම ප‍්‍රතිකාර කළත් කොවිඞ් ආසාදිත බවට සැක කරන රෝගීන්ගේ පී සී ආර් පරීක්ෂණයේ ප‍්‍රතිපල ලැබෙන තුරු එම රෝගීන් සාමාන්‍ය රෝගීන් සමග රඳවා තබනවා. ඇයි මෙම රෝගීන්ට වෙන්කර ප‍්‍රතිකාර කිරීමට පියවර නොගන්නේ. මෙම තත්ත්වය කොවිඞ් ව්‍යාප්තිය වැඩිවීමට මෙන්ම එම රෝගය පිළිබඳව ජනතාව තුළ තිබිය යුතු අවධානය අඩුවීමටත් හේතු වනවා නේද? මෙම තත්ත්වයට වගකිව යුත්තේ කවුද?

පිළිතුර- පැහැදිලිවම එහෙම අනතුරක් තිබෙනවා. රෝහල්වල පරිපාලනය සඳහා අපි පුද්ගලයන් පත්කර තිබෙනවා. අපි ඒ පිළිබඳව සොයා බලනවා. නමුත් සමහර තැනක පරිපාලකයාගේ තිබෙන දුර්වලකමක් නිසා ඔය වැනි ප‍්‍රශ්න මතුවෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ සැම තැනම සියයට සියයක්ම නිවැරදිව කටයුතු සිද්ධ වෙනවා කියලා. තැන් එකක දෙකක අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර තැන්වල තිබුණු අඩුපාඩු අපි නිරන්තරයෙන්ම නිවැරදි කරනවා. ඔබ සඳහන් කළ කාරණය පිළිබඳව මම සොයා බලනවා. ඔය ආකාරයට කටයුතු සිද්ධ වෙනවා නම් එතන වරදක් තිබෙනවා.

ප‍්‍රශ්නය- පසුගිය දිනවල දී රජයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකුටම ජනතාව හූ කිව්වා. එම නිසා මේ වන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ගමට යන්න බැරි තත්ත්වයක් ඇති වී ඇති බව විපක්ෂය ප‍්‍රකාශ කරනවා. එහෙම තත්ත්වයක් තිබෙනවා ද?

පිළිතුර – මම නම් ගමේ යනවා. මට නම් එහෙම අත්දැකීමක් නැහැ. ජනතාව තුළ සමහර කාරණා පිළිබඳව අප‍්‍රසාදයක් තිබෙන්න පුළුවන්. නමුත් ඔය හූ කියනවා වගේ දේවල් කරන්නේ සංවිධානාත්මකව. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ වෛද්‍යවරුන්ගේ සිට සියලූම සේවකයන් කරන සේවය පිළිබඳව ජනතාව තුළ නම් විශාල ඇගයීමත් තිබෙන බව මම දන්නවා. සමහර රටවල්වල වෛද්‍යවරුන් හෙදියන් සේවයට වාර්තා කළේ නැහැ. නමුත් ලංකාව තුළ එහෙම එක සිදුවීමක් වාර්තා වුයේ නැහැ. මෙම වසංගතය ආපු මුල් අවස්ථාවේ දී වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ සියලූම දෙනා කටයුතු කළේ දින ගණන් ගෙවල්වලට පවා නොගොස් මුල් අවස්ථාවේ දී ආරක්ෂිත මුහුණු ආවරණ ඇඳුම් පවා නොමැතිව. ඔවුන් පිළිබඳව ජනතාව තුළ විශාල ගෞරවයක් තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය කළ කැපවීම නම් ඉතිහාස ගතවෙනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය
ඡායාරූප – නිමල් දයාරත්න

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news