වසර 2008ට පසු ඔලිම්පික් ක්‍රීඩාංගණයක ඉන්දීය ජාතික ගීය වාදනය වූ අතර, ඒ නේරාජ් චොප්රා විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වීමෙනි. මෙය මෙවර ඔලිම්පික් උලෙළේ ඉන්දියාව දිනාගත් එකම රන් පදක්කම වේ. චොප්රා විසින් මීටර් 87.58ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් හෙල්ල විසි කිරීමෙන් ඉදිරියට පැමිණි අතර, ඔහු පසු පසින් චෙක් ජනරජයේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් සිටියහ.
තරගයෙන් අනතුරුව චොප්රා පැවසුවේ මෙය අදහාගත නොහැකි බවත්, තමාට ජයග්‍රාහී වේදිකාවේ යම් ස්ථානයක් හිමි කර ගත හැකි බව සිතුවත් එය රන් පදක්කම වනු ඇතැයි නොසිතූ බවත්ය.
“මට මේක අදහාගන්න බැහැ. මගේ හිතේ විශ්වාසයක් තිබුණා පදක්කකම් දිනන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒක රත්තරන් වෙයි කියලා මම හිතුවේ නෑ. මේක මටත් මගේ රටටත් ආඩම්බරයක්.” පැවසූ චොප්රා “සුදුසුකම් ලැබීමේ වටයේදී මම ඉතා හොඳින් විසි කළ නිසා අවසන් තරගයේදී මට වඩා හොඳින් කළ හැකි බව මම දැන සිටියා.” යැයි ද කියා සිටියේය.
මෙහි රිදී පදක්කම දිනාගත් ජාකුබ් වැඩ්ලෙච් මීටර් 86.67ක දක්ෂතාවක් දැක්වූ අතර, ලෝකඩ පදක්කම දිනාගත් විටෙස්ලාව් වෙස්ලෙයී මීටර් 85.44ක දුරක් හෙල්ල විසි කළේය. ඉන්දියාව මෙවර ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමෙන් රන් පදක්කමක්, බර ඉසිලීමෙන් හා මලල්වපොර ක්‍රීඩාවලින් රිදී පදක්කම් 2ක්, බැඩ්මින්ටන් කාන්තා ඒකළ, කාන්තා බොක්සිං, පිරිමි හොකී හා පිරිමි මල්ලවපොර ක්‍රීඩා වලින් ලෝකඩ පදක්කම් 4ක් හිමි කර ගෙන 48 වැනි ස්ථානයේ සිටී.
ප්‍රින්ස් ගුණසේකර
ජපානයේ ටෝකියෝ නුවර සිට…