32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල් පන්දුවට ඔලිම්පික් පිටියේ දැවැන්තයන්ගෙන් පැසසුම්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල් පන්දුවට ඔලිම්පික් පිටියේ දැවැන්තයන්ගෙන් පැසසුම්

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බේස්බෝල් තරගාවලියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දු භාවිතා කරයි. ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බේස්බෝල් හා සොෆ්ට් බෝල් අංශයේ තාක්ෂණ හා මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන සුජීව විජේනායක මහතාගේ මැදිහත් වීමෙන් මේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් බේස්බෝල් තරග සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය බව ටෝකියෝ නුවර සිටින සුජීව විජේනායක මහතා පැවසීය. බේස්බෝල් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින සියලු රටවල් සහභාගි වන මෙ තරගාවලියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දු ඇති අතර, එම පන්දුවල ප්‍රමිතිය උසස් බවට සහතිකයක් ද ලැබී ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල් පන්දුවක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ භාවිතා වන එක සතුටක්. ශ්‍රී ලංකාවේ ස්කයි ලයින් ආයතනය මෙය නිෂ්පාදනය කළේ. පන්දු 15000ක් එකවර ජපානයට ගෙන්වා ගත්තා. අවස්ථා කිහිපයකදී පන්දුවේ ප්‍රමිතිය සොයා බලා ජපානය අනුමැතිය දුන්නා.

ඔලිම්පික් පැමිණි අමෙරිකා බේස්බෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පන්දුව ඉතා හොඳ එකක් බව සංවිධායකයන්ට ප්‍රශංසා කළා. ඉදිරියේදී ලෝකය පුරා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල් පන්දුව ප්‍රචලිත කරන්න පුළුවන්. අනෙක් ක්‍රීඩාවලටත් මෙය හොඳ පණිවිඩයක්.” විජේනායක මහතා සඳහන් කළේය.

“පසුගිය අප්‍රේල් මාසයේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බේස්බෝල් හා සොෆ්ට් බෝල් අංශයේ තාක්ෂණ හා මෙහෙයුම් කළමනාකරු ලෙස පත්වීම ලැබුවා. බේස්බෝල් ක්‍රීඩාවෙන් ලෝකයේ අංක එකේ රට බවට ජපානය පත්ව සිටිනවා. ශ්‍රී ලංකාව ඉන්නේ 40 වැනි ස්ථානයේ. ආසියාවේ 10 වැනි ස්ථානයට පත්ව සිටිනවා. එදාට වඩා අද ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව හොඳයි. ඒත් තවත් දියුණු කළ යුතු තැන් තිබෙනවා.” විජේනායක මහතා පැවසීය.

“මගේ දැනුම මා ශ්‍රී ලංකාවට දෙන්න සූදානම්. ඒ වගේම ජපානයේ බේස්බෝල් පුහුණකරුවකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. මගේ සියලු සම්බන්ධකම් භාවිතා කොට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණුවට මා කැපවෙනවා. ශ්‍රී ලංකාවේ බේස්බෝල් දියුණුවට නම් කුඩා කාලයේ සිට ක්‍රීඩාවට යොමු කළ යුතුයි. 6 හා 7 වසරවලදී දරුවන් යොමු කළ යුතුයි. ඒ වගේම නව තාක්ෂණය භාවිත කිරීම වැදගත්.” විජේනායක මහතා සඳහන් කළේය.

ප්‍රින්ස් ගුණසේකර

ජපානයේ ටෝකියෝ නුවර සිට…