කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල
ගුරු-විදුහල්පති සේවයේ පවතින වැටුප් විසමතාව විසඳීම වෙනුවෙන් රජය අවංකව මැදිහත් වී ඇති බවත් එම සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා හිමිව ඇති මොහොතක ගුරු දෙවිවරුන් මෙවැනි ආකාරයට කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා ඇතුළත් කර ඇති අතරම කඩිනමින් මෙම ප්‍රශ්නය සඳහා විසඳුම් ලබා දෙන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
මේ සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් අවංක උත්සාහයක් දරමින් සිටියදී මෙලෙස කටයුතු කිරීම කෙතරම් සාධාරණ ද? යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද ඇමැතිවරයා පැවසීය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ගුරු විදුහල්පති ක්ෂේත්‍රවල සියලු දෙනාටත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනාටත්, 43 ලක්ෂයක් වන දරුවන්ටත්, මව්පියන්ටත් සමස්ත සමාජයටත් ඉතා වැදගත් මේ ගුරු, විදුහල්පති වැටුප් ප්‍රශ්නය පිළිබඳ කාරණය. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය ලෙස සත්‍ය තත්ත්වය රටට ඉදිරිපත් කිරීම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම රජයක් ලෙස මුලින්ම කිව යුතුයි. මේ සම්බන්ධයෙන් සඟවන්නට දෙයක් හෝ නිර්මාණය නිර්මාණාත්මක කතන්දර හැදීමේ අවශ්‍යතාවක් රජයට නැහැ. බොහොම පැහැදිලිව කිව යුතුයි, මේ ප්‍රශ්නය අපි තේරුම් අරන් තිබෙන්නේ. තේරුම් ගැනීම තුළම මේ ප්‍රශ්නයේ සාධාරණ බව හා ප්‍රායෝගික බව අතර තුලනතාව පිළිබඳවත් අවධානය යොමුකර තිබෙනවා. අනිවාර්යයෙන්ම මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි යන ස්ථාවරය රජයක් ලෙස අපි දරනවා. ගුරු විදුහල්පති වැටුප් විසමතාව විසඳීම වෙනුවෙන් ඇති ඒ අවශ්‍යතාව පැහැදිලිව යථාර්ථයක් බවට පත්කිරීමට මේ මොහොතේ නොහැකිවීම පිළිබඳ අවංකවම රට හමුවේ අපි පැහැදිලි කළ යුතුයි.
රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ පියා 1994 දී අධ්‍යාපන ඇමැතිවරයා ලෙස වැඩභාර ගන්නා අවස්ථාවේදීම තිබුණු අවශ්‍යතාවක් තමයි සොච්චම් වැටුපක් ලබපු ගුරුවරුන්ගේ වැටුප් විසමතාව ඉවත් කිරීම. එයත් වාමාංශික දේශපාලනයෙන්මයි ආරම්භ වුනේ . ඒකත් මතක් කළ යුතුයි. ඇත්තටම මේ ප්‍රශ්නය දේශපාලනයෙන් තොරව කතාකරන්නට උත්සාහ කළාට එසේ කරන්නට බැහැ. ඒ නිසා අවුරුදු ගාණක් තිබුණු මේ ප්‍රශ්නයට එදා සැබැවින්ම උත්තරයක් ලබාදුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ 1994 දී බලයට පත්වූ රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වූ රිචඩ් පතිරණ මහතා විසින්. ඒ වෙනුවෙන් සාධනීය ලෙස එතුමා හා එම රජය වෙනුවෙන් කතා කළා. ඒ වකවානුවේදී ගුරුවරුන් අපේක්ෂා කළාටත් වඩා වැටුප් වැඩිකිරීමක් සිදු කළා. ගුරුවරුන් හැටියට , ගුරු දේවයන් හැටියට සළකන මේ සමාජය නිවැරදි තැනකට ගෙනයන සියලු දෙනාට ඒ සැලකිල්ල ලැබිය යුතුයි යන ස්ථාවරය එදා රජය දැරුවා. සමහර විට නොයෙකුත් පීඩනයන් යටතේ තමයි එම වැඩිවීම එතුමා ප්‍රමුඛ රජය විසින් සිදුකළේ. අවාසනාවකට ඊට වසර දෙක තුනකට පසුව 1997 දී බී සී පෙරේරා වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ ආවා. එම වාර්තාව එනකොට සමස්ත රාජ්‍ය සේවයේ තිබුණු වැටුප් විසමතාවන් නිවැරදි කරන්නට නිර්දේශ කළා. ඒ අනුව 1994 දී සිදුකළ ඒ අසාමාන්‍ය වැඩිකිරීම අනුව අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව ගුරුවරුන්ගේ වැටුප යම් මට්ටමක පැවැතුණා. ඒ අනුව ගුරුවරුන් වෙනුවෙන් සිදුකළ ඒ වැටුප් වැඩිවීම අත්හිටුවලා රාජ්‍ය සේවයේ අනෙකුත් ස්ථරවල වැටුප් විසමතාවන් වෙනුවෙන් හිතලා මෙය අත්හිටුවන්නට ප්‍රගතිශීලි රජයක් ලෙස ක්‍රියාත්මක කරන්නට සිදුවුණා.
ඒ පසුබිම සමඟ ඇති වූ තත්ත්වය මත 1997න් පසුව බලයට පත් වූ කිසිම රජයක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැහැ. පැහැදිලිව සාධාරණව බැලුවම මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. යම් විසමතාවක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් කැළඹීමට පත්වීම, කරුණු ඉදිරිපත් කිරීම ඉතාම සාධාරණයි කියන මතය අපිත් දරනවා. ඒ ප්‍රශ්නය හේතුවෙන් එම පිරිස පීඩාවට පත්ව සිටින බවත් අපි දන්නවා. ඒ නිසා ම තමයි 2016 දී පමණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවපු වෙලාවේ අපේ වෘත්තීය සමිතිය නියෝජනය කළ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඇතුළු පිරිසක් දවල් රෑ මහන්සි වෙලා මේ වැඩපිළිවෙලට අවතීරණය වෙනවා. ඒ අවතීර්ණය වන්නෙම බී සී පෙරේරා වාර්තාවෙන් සිදුවූ අසාධාරණය අවුරුදු විසිගණනකට පසුව හෝ නියත වශයෙන්ම නිවැරදි විය යුතුයි යන ස්ථාවරයේ සිටිමින් ඔවුන් ලොකු සටනක් ගෙන ගියා. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙක් ලෙස මම නිතර පක්ෂ කාර්යාලයේ කටයුතු සඳහා සහභාගි වුණා. ඒ සෑම අවස්ථාවකම අපි දැක්කා මේ ගුරුවරු කණ්ඩායම නිරන්තරයෙන් මෙය නිවැරදි කර ගැනීම වෙනුවෙන් මහන්සි වූ ආකාරය. ඒ වෙනුවෙන් අදාළ ගෞරවය අපි ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ අය තමයි මූලික වශයෙන් මේ ප්‍රශ්නය ඇඟට අරගෙන කටයුතු කළේ. එදා රිචඩ් පතිරණ මහතා මේ ප්‍රශ්නය විසඳිය යුතුයි යනුවෙන් දරපු ස්ථාවරයම පරිදි වර්තමානයේදි මේ ප්‍රශ්නයට විසඳුම් ලැබිය යුතුයි යන ස්ථාවරය දැරුවේ පොදුජන පෙරමුණ නියෝජනය කළ මෙම ගුරුවරුන් කණ්ඩායම විසින්.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව ප්‍රමුඛ කරුණක් ලෙස මෙයට විසඳුම් ලබාදිය යුතුයි යන මතයේ සිටියේ. ඒ දෙස යතාර්ථවාදිව බලමින් මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි යන මතය දරමින් අපගේ රජය ප්‍රථම වතාවට එය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරනවා.ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණ ප්‍රකාශයකට එම යෝජනාව ඇතුළත් කරනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෑම අවස්ථාවකම ප්‍රකාශ කළේ මාගේ පරමාර්ථය කිහිප දෙනකු සතුටු කිරිම නොව අප විසින් දීර්ඝව අධ්‍යයනය කිරීමෙන් පසුව නිර්මාණය කරන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් බවට පත්කිරීම බවයි.
නමුත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර එහි යෝජනා යථාර්ථයක් බවට පත්කිරීමට අපගේ රජය උත්සාහ කරමින් සිටින වකවානුවක තමයි ලෝක වසංගත තත්ත්වයක් වන කොවිඩ් තත්ත්වය ඇති වුනේ. ඒ අනුව අපගේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වන්නට සිදුවුණා. මේ තත්ත්වය අපට විතරක් ඇතිවූවක් නොවෙයි. ලෝක තත්ත්වයක්. ලෝක ආර්ථිකයම සෘණ තත්ත්වයක් බවට පත්වෙලා. ඒ වගේම එවකට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගුරු සේවය සංවෘත්ත සේවයක් බවට පත්කිරීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය එම කැබිනට් පත්‍රිකාව අනුමත කළා. ඒ අනුමත කිරීම තුළින්ම පෙන්නුම් කරන්නේ රජයේ අවංක බව. පිරිසිදු බවයි. මේක රටම දකිනවා. විප්ලවකාරින් එක් අවස්ථාවක ඩලස් අලහප්පෙරුම මහතා ගත් මෙම උත්සාහය ගැනත් කතා කරනවා. ඒ වකවානුව තුල තමයි ඇති වූ මේ තත්ත්වය සමඟ රට වහන්නට වුනේ. ඒ වගේම ආයතන කඩා වැටුනා, ආර්ථිකයට අහිතකර ලෙස බලපෑවා.
ගුරුවරුන්ට විතරක් නෙවෙයි, රජයේ සේවකයන් වෙනුවෙන් වැටුප් ගෙවීම සඳහා රජය විශාල මුදලක් වාර්ෂිකව වැය කරනවා. එක රුපියලක් අඩුකරන්නේ නැතිව සමස්ත රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවීමේ වගකීම මේ රජය භාර ගත්තා. ඒ වගේම ඒ අතරතුර එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නා සිහ දහස් ගණනක් වූ ජනතාවට ඒ වරප්‍රසාදය හිමිවුණේ නැහැ. ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් රුපියල් පන්දහසේ දීමනාව අවස්ථා තුනකදී ලබාදීමට වත්මන් රජය කටයුතු කළා. රජයට මොන තරම් ප්‍රශ්න තිබුණත් කිසිම හව්හරණක් නැති ඒ ජනතාව වෙනුවෙන් රජය මැදිහත් වුණා.තමන්ගේ ජීවිතය යන්තම් හරි ගැටගහගෙන ඉන්න පුළුවන් විදිහට ඒ මුදල ලබාදීම වෙනුවෙන් රජය බිලියන 286ක් වැය කළා.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව තුළ පළමු පැය තුළ ජවුසමක් නටමින් විපක්ෂයේ කණ්ඩායම කටයුතු කළා. එන්නත ගේන්නේ නැහැ. ගේන්න සල්ලි නැහැ. පහත් මට්ටමේ දේශපාලනයක් කළා. ජනාධිපතිතුමාටත්, සෞඛ්‍ය අංශයටත් මම පෞද්ගලිකව ස්තූතිවන්ත වෙනවා. කොවිඩ් තත්ත්වය වෙනුවෙන් මුහුණ දෙන ආකාරය පිළිබඳව. එවන් පසුබිමක් තුළ මේ ප්‍රශ්නය විසඳගන්න අධ්‍යාපන ලේකම් තුමා ඇතුළු ප්‍රධානින් කිහිප දෙනකු මේ ප්‍රශ්නය වෙනුවෙන් සුබෝධනි කමිටුව පත් කළා. ඒ යෝජනාව වැටුප් හා කාර්ය සාධක කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වෙනුවෙන් විකල්පයක් ඉදිරිපත් කරන ලෙස රජය කිව්වා. ඔවුන් ඉදිරිපත් කළ විකල්පයට අපේ වෘත්තිය සමිතිය එකඟ වුනෙත් නැහැ. එහෙම නම් ඒ විසඳුමත් සුබෝධනි කමිටුව අතර මැද විසඳුමක් ලබාදිය යුතු බවට රජයක් ලෙස අපි පැහැදිලිව සිටිනවා.
මුලින්ම විරෝධතාවක් ආවේ කේ ඩී යු එකට විරුද්ධව. මෙයින් ඇතිවූ සංකීර්ණ තත්ත්වය පසුබිම් කරගනිමින් තමයි මුළු රටක්ම අකර්මන්‍ය කරමින් තුන් හතර දෙනකු එකතු වෙලා තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ වර්ජනය ආරම්භ කළේ. මම නැවත වතාවක් කියනවා, මේ රටේ ගුරුවරුන් , ගුරු දේවයන් ලෙස සළකන සියලු දෙනාට මම ආරාධනා කරනවා, මේ සම්බන්ධයෙන් බුද්ධිමත්ව අවධානය යොමු කරන්න. හැගීම්වලට වහල් වෙන්න එපා. මෙම ප්‍රශ්නය විසඳිය යුතුයි කියන ස්ථාවරයේ රජය සිටිනවා. ඒ සම්බන්ධයෙන් අබමල් රේණුවක ආපස්සට යාමක් නැහැ. මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් සංවෘත සේවයක් බවට පත්කිරීම වෙනුවෙන් ජනවාරි මාසයේදි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අනෙකුත් ක්ෂේත්‍රවල ඇතිවිය හැකි විසමතා නිරාකරණය කර ගැනීමට තමයි සංවෘත සේවයක් බවට පත්කිරීම වෙනුවෙන් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ. ඒක කැබිනට් පත්‍රිකාවකින් අනුමැතිය ලබා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යමින් සිටියදී මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙපාරක් හිතන ලෙස සමස්ත ගුරු පරපුරෙන් ඉල්ලා සිටිනවා.
එහි ප්‍රථිඵලයක් ලෙස මෙම ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් කමිටුවක් පත් කළා. මේ සම්බන්ධයෙන් මුල සිටම කටයුතු කළ ඩලස් අලහප්පෙරුම, විමල් විරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර යන සිව්දෙනාගෙන් මේ කමිටුව සමන්විත වෙනවා. මේ කමිටුව අදාළ වාර්තාව සතියක් ඇතුළත ලබාදිය යුතුයි. බී සී පෙරේරා, සුබෝධනි වාර්තාව යන දෙකම පිළිගන්න බැරිද, මැද තැනක එකක් ක්‍රියාත්මක කරනවාද, කවදා සිටද ක්‍රියාත්මක වන්නේ ආදි කරුණු සියල්ල කෙරෙහිම අවධානය මෙම කමිටුව විසින් යොමු කළ යුතු වෙනවා. කමිටුව නියෝජනය කරන හතර දෙනාගේ වාර්තාව අවසානයේදි මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා. මොකද මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් බිලියන 60-70ක් යනවා. ඒ ප්‍රශ්නය විසඳිය යුතුයි. මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් කිසිම කෙනෙක් උනන්දු වුනේ නැහැ. අවුරුදු විසිගණනක් වුණ මේ ප්‍රශ්නය විසදීම වෙනුවෙන් කිසිම කෙනෙක් මැදිහත් වුනේ නැහැ. ඔය කියන වෘත්තිය සමිති නියෝජිතයන් වන ජෝෂප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා පසුගිය අවුරුදු පහ ඇතුළේ මේ ප්‍රශ්නය වෙනුවෙන් එක වචනයක් කතා කළේ නැහැ. එක වචනයක් කතා කළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් ලෙස ඔහු එක වචනයක් කතා කළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අරලිය ගහ මන්දිරයේ සිට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් තමයි ගනු-දෙනු කළේ. එක අවස්ථාවක කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළාද. සංවෘත සේවයක් බවට මෙය පිළිගන්නා බවට කිසිම තැනක කියැවුනාද. නැහැ. එහෙමනම් ඒ අවුරුදු පහකට වහගෙන හිටියේ. ඊගාවට අනිත් කණ්ඩායමත් විවිධ පිරිස් වටා පසුගිය පාලන සමයේදී ඒකරාශී වී සිටි අය. ඒ අයත් මේ සම්බන්ධයෙන් වචනයක්වත් කතා කළේ නැහැ. මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කතා කළේ නෙළුම් මාවතේ සිටි අපේ වෘත්තිය සමිති කණ්ඩායම පමණයි. ඒ වෘත්තීය සමිතිය මේ ගැන කතා කළා. කතා කළා පමණක් නෙවෙයි, ඒ වෙනුවෙන් කරන්නට පුළුවන් ලොකුම දේ තමයි, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම. ඒ ඇතුළත් කිරීම තුළ ඇති වූ පසුබිම තමයි වත්මන් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ දෙතුන් දෙනකු සතුටු කිරීම නොව, මා විසින් හා විද්වතුන් විසින් නිර්මාණය කරන ලද සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නැංවීම මගේ ඉදිරි වැඩපිළිවෙල බවට. එහෙම නම් එතන ගුරු ප්‍රශ්නය දැඩිව හා ප්‍රබල ලෙස ඇතුළත් වී තිබෙනවා. එහි ප්‍රබලත්වය කොපමණද කියන්නේ නම් ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයක් ඇතුළත රිචඩ් පතිරණ ඇමතිවරයා සිදු කළ ආකාරයටම ඩලස් ඇමැතිවරයා මෙම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ගෙනවිත් අනුමැතියත් අරගෙන තිබෙනවා. ඒ නිසා මම කියන්නට කැමතියි, හැකි ඉක්මනින් මෙම ප්‍රශ්නය විසඳා ඉදිරි කාලය තුළ මේ වෙනුවෙන් යම් විසඳුමක් ලබාදීමට හැකි වන බවට. සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සඳහා වෙන් කරන මුදලින් සියයට දහයක් විතර වෙනවා, බිලියන 60-70ක් කියන්නේ. ඒක නිසා කවදා කවර ආකාරයටද ක්‍රියාත්මක වන්නේ , කවදා සිටද ක්‍රියාත්මක වන්නේ යන කාරණයට විසදුම් ලබාදෙන දිනය වැඩි ඈතක නැහැ. ඒ නිසා ගුරු දේවයන් ලෙස සළකන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සමඟි පැනනැගෙමින් තිබෙන ගැටුම නතර විය යුතුයි. මම හිතන්නේ ඒක ඔබතුමාලාගේ හෘද සාක්ෂිය සමඟ විසඳා ගත යුතුයි. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යා රමේෂ් පතිරණ මහතා හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාද එක්වූහ.
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න