― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsටෝකියෝ ඔලිම්පික් පදක්කම් දිනූ ඉන්දියාවේ වීරයන්ට සල්ලි වැස්සක්

ටෝකියෝ ඔලිම්පික් පදක්කම් දිනූ ඉන්දියාවේ වීරයන්ට සල්ලි වැස්සක්

රු. කෝටි 366ක්: ඉඩම් යාන වාහන රැකියා ගලයි

ඉන්දියාවේ ටෝකියෝ ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මුදල් තෑගි ගේ දොර ඉඩ කඩම් යාන වාහන සහ උසස්වීම් මහා වර්ෂාවක් සේ ලැබෙමින් පවතී.

ඉන්දියාව ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත් අතර, එම ඔලිම්පික් පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනට ලැබී ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 366ක් පමණ (ඉන්දීය රුපියල් කෝටි 37ක්) වන අතර, ඉදිරියේදී මෙය තවත් වැඩි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටී.

ඉන්දියාවට ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී හිමි වූ එකම රන් පදක්කම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක නීරාජ් චොප්රා දිනා ගත්තේය. ඔහුට පමණක් ඉන්දීය රුපියල් කෝටි 13ක පමණ මුදලක් දැනටමත් ලැබී ඇත. ඔහු පදිංචි හර්යානා ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා විසින් කෝටි 6ක්, පන්ජාබ් ප්‍රධාන ඇමැතිවරයා විසින් කෝටි 2ක්, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් කෝටියක්, අනුග්‍රාහක බයි ජූස් ආයතනයෙන් රුපියල් කෝටි 2ක්, ඒලාන් ආයතනයෙන් ලක්ෂ 25ක් හා ඉන්දීය ඔලිම්පික් කමිටුව ලක්ෂ 75ක් පිරිනමා ඇත.

එයට අමතරව චොප්රාට ‘ඉන්ඩිගෝ’ ගුවන් සමාගමෙන් වසරක කාලයක් සීමාවකින් තොරව ඕනෑම ගුවන් ගමනක් සඳහා නොමිලේ අවස්ථාව උදා කරදී ඇති අතර, චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රිකට් පිලෙන් කෝටියක් හා ඔහු හෙල්ල විසි කළ මීටර් 87.58 දුර සංකේතවත් කරමින් 8758 ජර්සියක් නිර්මාණය කොට තිබේ.

කාන්තා කිලෝග්‍රෑම් 49 බර පංතිය යටතේ බර ඉසිලීමෙන් රිදී පදක්කම දිනා ගත් මිරාබායි චානූට ඉන්දීය දුම්රිය ඇමැතිවරයා විසින් ඉන්දීය රුපියල් කෝටි 2ක්, මනිපූර් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා විසින් රුපියල් කෝටියක්, මනිපූර් ප්‍රාන්ත රජයේ පොලීසියේ අතිරේක පොලිස් අධිකාරී තනතුරක්, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 50ක්, අනුග්‍රාහක බයි ජූස් ආයතනයෙන් රුපියල් කෝටියක් හා ඉන්දීය ඔලිම්පික් කමිටුව ලක්ෂ 40ක් පිරිනමා ඇත.

පිරිමි නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ මල්ලවපොර රිදී පදක්කම දිනාගත් කුමාර් රවීට හර්යානා ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා විසින් කෝටි 4ක්, රජයේ උසස් රැකියාවක් හා හර්යානා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩම් කට්ටි, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 50ක්, අනුග්‍රාහක බයි ජූස් ආයතනයෙන් රුපියල් කෝටියක් හා ඉන්දීය ඔලිම්පික් කමිටුව ලක්ෂ 40ක් පිරිනමා ඇත.

පී.වී. සිදූ බැඩ්මින්ටන් ලෝකඩ පදක්කම දිනාගත් අතර, ඇය පදිංචි අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජයෙන් ලක්ෂ 30ක්, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 25ක්, අනුග්‍රාහක බයි ජූස් ආයතනයෙන් රුපියල් කෝටියක් හා ඉන්දීය ඔලිම්පික් කමිටුවෙන් ලක්ෂ 25ක් පිරිනමා ඇත.

කාන්තා කිලෝග්‍රෑම් 64 – 69 වෙල්ටර් වේට් බොක්සිං ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ලොවීනා බෝගෝහාන්ට ඇසෑම් ප්‍රාන්ත කොන්ග්‍රසයෙන් ලක්ෂ 31ක්, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 25ක්, අනුග්‍රාහක බයි ජූස් ආයතනයෙන් රුපියල් කෝටියක් හා ඉන්දීය ඔලිම්පික් කමිටුවෙන් ලක්ෂ 25ක් පිරිනමා ඇත.

පිරිමි කිලෝග්‍රෑම් 65 නිදහස් ආර මල්ලවපොර ලෝකඩ පදක්කම දිනා ගත් බජ්රාන්ග් පූනියාට හර්යානා ප්‍රාන්ත මහ ඇමැතිවරයා ඉන්දීය රුපියල් කෝටි 2.5ක්, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 25ක්, අනුග්‍රාහක බයි ජූස් ආයතනයෙන් රුපියල් කෝටියක් හා ඉන්දීය ඔලිම්පික් කමිටුවෙන් ලක්ෂ 25ක් පිරිනමා ඇත. ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දීය හොකී කණ්ඩායමට හර්යානා ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා විසින් ඉන්දීය රුපියල් කෝටි 2.5ක් හා හර්යානා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩම් කට්ටි, හොකී කණ්ඩායමේ සුරේන්ද්‍ර කුමාර් හා සුමීට් යන ක්‍රීඩකයන් දෙදෙනාට රජයේ රැකියා, ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් කෝටි 1.25ක් අනුග්‍රාහක බයි ජූස් ආයතනයෙන් රුපියල් කෝටියක් හා ඉන්දීය ඔලිම්පික් කමිටුව ලක්ෂ 25ක් පිරිනමා ඇත.

ප්‍රින්ස් ගුණසේකර