25.6 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිපක්ෂයේ චෝදනාවලට පදනමක් නෑ

විපක්ෂයේ චෝදනාවලට පදනමක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිර යාම සමග රට තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. සුවදායි රටක් වෙනුවෙන් එසේ ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් වැඩසටහන් පිළිබඳව විපක්ෂය නිරතුරුවම චෝදනා එල්ල කරනු ලබයි. මේ ඒ පිළිබඳ පක්ෂ හා විපක්ෂ කතා බහකි.

ගුරුවරු වර්ජනයක, ගොවියෝ පොහොර ඉල්ලලා සටනක, රට අවුලක නේද?

ගුරුවරුන්ගේ ප්‍රශ්නය වසර විසිහතරක් පරණ එකක්. ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳිය යුතු ප්‍රශ්නයක්. නමුත් මේ වසංගතය හමුවේ එක රැයකින් ඒ ප්‍රශ්නය අවසන් කරන්න පුළුවන්කමක් නෑ. අපි ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නයට ලබන අය වැය මඟින් විසඳුම් දෙන්න සූදානම්. වසංගතය හමුවේ දරු පැටවු බිල්ලට නොගෙන මේ සටන නතර කරන්න. ගුරුවරුන්ට සාධාරණය ඉටු කළ යුතුයි. නමුත් කඩිමුඩියේ මේ ඉල්ලීම ඉටු කරන්න අමාරුයි.

ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයටත් සාධාරණ විසඳුම් දීමට පියවර අරන්. කාබනික පොහොර භාවිතය පිළිබඳ ගොවි ජනතාව තුළ නිසි අවබෝධයක් තිබුණේ නෑ. නමුත් මේ වන විට මිශ්‍ර කාබනික ‍ක්‍රමය යටතේ ගොවිතැන් කිරීමේ වටිනාකම හැමෝම තේරුම් අරන්. යූරියා නයිට්‍රේට් මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට්, නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම ගෙන්වීමට අවසර දී තිබෙනවා.

පොහොර ප්‍රතිපත්තිය වෙනස් වෙලා. රිවස් ගියර් එක දැම්මා කියලා විපක්ෂයේ සමහරු සමච්චල් කරනවා නේද?

අපි රිවස් කළේ නෑ. විශේෂඥ මතයට අනුව තමයි යූරියා, නයිට්‍රේට් ආනයනය කිරීමට යම් අවසරයක් දුන්නෙ. එච්. එස් කාණ්ඩය යටතේ තමයි ‍මේ වර්ග ආනයනය කිරීමට අවසර දීලා තියෙන්නෙ. සෞඛ්‍යයට අහිතකර දේවල් ගෙන්වන්නෙ නෑ. මිශ්‍ර කාබනික පොහොර යොදා ගොවිතැන් කටයුතු කිරීම සාර්ථක ක්‍රමයක්. මේ වන විට කාබනික පොහොර නිෂ්පාදන කිරීම ඒවා ගොවිතැන්වලට යෙදීම සාර්ථකව සිදුවෙමින් තිබෙනවා.

ලෝකයම යළිත් දැඩි කොරෝනා අවදානමකට ලක්වෙලා. මේ මොහොතේ රටත්, රාජ්‍ය සේවයත් සාමාන්‍ය අතට පත් කිරීම අනතුරුදායක නැද්ද?

රටක් දිගටම වසාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. මේ වන විට රටේ වැඩ කරන ජනතාවගෙන් විශාල පිරිසකට එන්නත් දී අවසන්. මේ මොහොතේ ලෝකයේ දියුණු රටවල් පවා විශාල ප්‍රශ්න රැසකට මූණදීලා ඉන්නෙ. අප කළ යුත්තෙ සෞඛ්‍යාරක්ෂිතව රටේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යමින් රටේ ආර්ථිකයත්, ජනතාවගේ එදිනෙදා කටයුතුත් සාමාන්‍ය අතට පත් කිරීමයි. එසේ නොකර රට දිගටම වසා දමා තැබිය නොහැකියි. එනිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපදිමින් සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කළ යුතුයි. රට විවෘත කිරීම නිසා නොවෙයි කොරෝනා පැතිරෙන්නෙ. අනවශ්‍ය උද්ඝෝෂණ, පෙළපාලි නතර කළ යුතුයි. සෞඛ්‍ය උපදෙස් කඩකර එක එක අය එක එක වර්ජන කිරීමෙන් වසංගතයත් පැතිරිලා, ආර්ථිකයත් කඩාවැටෙන්න පුළුවන්. ඒ නිසා රට ගැන හිතා කොයි කවුරුත් කටයුතු කළ යුතුයි. මේ මොහොත දේශපාලනය කිරීමට යොදා නොගත යුතුයි.

ඔබ, රබර් හා තේ වගාව නගාසිටුවීමට අරන් තියෙන පියවර මොනවා ද?

මේ වන විට මෙරට තේ, රබර් වගාව නඟාසිටුවන්න පියවර රැසක් අරන් තියෙනවා. දැනට ඒ වගා සංවර්ධනය කිරීම සඳහා දෙන සහනාධාර මුදල රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ හතහමාර දක්වා වැඩි කළා. මෙම වසර අවසානයේදී තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ දැමීම අපේ ඉලක්කයයි. රබර් අපනයන ආදායමත් ඩොලර් බිලියනයකින් පමණ ඉහළ දැමීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා.

විපක්ෂයේ බරපතළ චෝදනාවක් තමයි ආණ්ඩුවට නිසි ආර්ථික කළමනාකරණ සැලැස්මක් නෑ කියන එක. ඩොලර් සංචිත නැති වෙලා බංග්ලාදේශයෙන් පවා ඩොලර් ණයට ඉල්ලනවා කියලා චෝදනා කරනවා නේද?

විපක්ෂය මේ නඟන ‍චෝදනාවලට පදනමක් නෑ. වසංගතය නිසා යම් යම් ගැටලු නිර්මාණය වී තිබුණත් ගෙවිය යුතුව තිබූ ඩොලර් බිලියනයක මුදලක් ගෙවා දැමීමට අපට හැකි වුණා.

මේ තරම් රට ආගාධයකට ඇදලා දැම්මේ හිටපු යහපාලන ආණ්ඩුවෙ අයයි. 2015 දී මහින්ද රාජපක්ෂ මහත්තයා රට බාරදෙන විට ශක්තිමත් විදේශ සංචිත ප්‍රමාණයක් තිබුණා. නමුත් යහපාලන කාල සීමාවේදී මේ හිටපු අය ඉවක් බවක් නැතුව ණය ගත්තා. කරපු සංවර්ධන කටයුත්තක් නෑ. රාජපක්ෂ පාලන කාලයේදී ණය ගත්තෙ අධිවේගී මාර්ග හදන්න. ගුවන් තොටුපළ, වරාය ආදිය හදන්න. ග්‍රාමීය මංමාවත් සංවර්ධනය කරන්න.

නමුත් යහපාලන ආණ්ඩුව ගත්ත ණය මොකට ගත්ත ද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආණ්ඩුවට තමයි ඒ ගත්තු ණයවලට අදාළව ණය හා වාරික ගෙවන්න වුණේ. ඒ අතරේ තමයි කොරෝනා වසංගතය ආවේ. මේ මොන අභියෝග ආවත් මේ රටේ ජනතාව රැකගන්න අපි ගත යුතු සියලු පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා ඉදිරියේදී ගත යුතු සියලු පියවර ගැනීමටත් මේ රටේ ජනතාවට කිසිදු අපහසුතාවක් ඇති නොකර ඒ අය රැකගනිමින් රට දියුණු කිරීමටත් අපි සියලු කටයුතු යොදා අවසන්.

ඇත්තටම මේ වරින්වර මතුවන උද්ඝෝෂණ, වර්ජන ආදිය ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවූ තැන මතුවන ඒවා නේද?

වසංගතය නිසා ජනතාව ඉන්නෙ තරමක අමාරුවෙන් තමයි. නමුත් මේ වර්ජන හසුරවන්නෙ කවුද කියන එක අපි කවුරුත් දන්නවා. විපක්ෂය මේ මොහොතෙත් උත්සාහ කරන්නෙ බලයට එන්න. හැමදේම දේශපාලනයක් බවට පත්කරගෙන. ගුරු වර්ජනය, පොහොර ඉල්ලන උද්ඝෝෂණ සියල්ල පිටුපස ඉන්නෙ විපක්ෂයයි.

ජනතාව මේ මොහොතේ සිදුවන සියල්ල තේරුම් අරන් ඉන්නෙ. ලෝකයේම රටවල් ආර්ථික, සමාජයීය, සෞඛ්‍යමය අර්බුදයකට ගිහින් තිබුණත් අපේ රටේ ජනතාව තාමත් තුන්වේල කාලා ඉන්නවා. ඒ සියල්ලෙම ගෞරවය පොදු මහජනතාවට දිය යුතුයි. විපක්ෂයට මේ මොකුත් වැඩක් නෑ.

රටට මොනවා වුණත් වැඩක් නෑ. ඒ අයට අවශ්‍ය කොහොමහරි බලය ගන්නයි. ජනතාවට මොනව වුණත් කමක් නෑ කියලයි විපක්ෂය මේ වෙලාවෙ හැසිරෙන්නෙ. උද්ඝෝෂණ පෙළපාලි යමින් සෞඛ්‍ය උපදෙස් පවා කඩකරන්නෙ ඒ නිසයි.

ඇත්තටම මේ මොහොතෙ රට සෞඛ්‍යාරක්ෂිත ද?

රට දිගටම වසාගෙන ඉන්න බෑ. සෞඛ්‍ය අංශවල උපදෙස් මත තමයි කටයුතු සිදු වෙන්නෙ. අපිට වටින්නෙ මේ රටේ ජනතාවයි. ඔවුනගේ ජීවිතයි. ජීවිතත් රැකගෙන රටත් රැකගෙන අපි ඉදිරියට යා යුතුයි. එය ඉටුකළ හැකි නායකයෙක් අපට සිටීම වාසනාවක්.

ශිරාන් රණසිංහ