31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීඑච් ක්‍රීඩකයෝ ගුවන් හමුදාවේ ජය උදුරා ගනිති

සීඑච් ක්‍රීඩකයෝ ගුවන් හමුදාවේ ජය උදුරා ගනිති

Author(s): 
ෆවුස් මොහොමඩ්

රග්බි වසන්තයේ ඇරඹුම සටහන් කළ පළමු තරගයේදී

කොවිඩ් වසංගතයේ බලපෑම් එල්ල වූ දේශීය රග්බි ක්‍රීඩාව යළි පණ ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අතර, පැවැත්වෙන ගුවන් හමුදාපති කුසලාන 15 සාමාජික සුහද රග්බි තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 23-21ක තියුණු ජයක් වාර්තා කිරීමට සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමත් විය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති මේ තරගයේදී සීඑච් පිල ගෝල දෙකක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කළ අතර, ගුවන් හමුදා පිල රැස් කළේ ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් පමණි. තරගයේ පළමු භාගය නිමා වනවිට ලකුණු 13-6කින් පෙරමුණ ගැනීමට සීඑච් පිල සමත් විය.

සීඑච් පිලේ ජයග්‍රහණයට කදිම අඩිතාලමක් දැමූ මැදපෙළ ක්‍රීඩක තෙනුක නානායක්කාර කැපී පෙනෙන දස්කම් පෑ අතර, තරගයේ නිමාවට මොහොතකට පෙර ගයන්ත ඉද්දමල්ගොඩ සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු 21-20කින් පෙරමුණ ගෙන සිටි ගුවන් හමුදා පිලේ බලාපොරොත්තු බිඳ දමා සීඑච් පිලේ ජයග්‍රහණය තහවුරු කළේ අවසන් මොහොතේ ලද දඬුවම් පහර සාර්ථක කරමිනි. ඔහු තරගය පුරා උත්සාහක දිනුම් ද්විත්වයම ගෝල බවට පත් කරමින් ද, දඬුවම් පහර 3ක් සාර්ථක කරමින් ද සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය.

තරගයේ සිව්වැනි මිනිත්තුවේදී ගයන්ත ඉද්දමල්ගොඩ විසින් සාර්ථක කරනු ලැබූ දඬුවම් පහරකින් ලකුණු 3-0කින් පෙරමුණ ගත් ගුවන් හමුදා පිලට දැඩි අභියෝගයක් එල්ල කළ සීඑච් පිල ජාතික පිලේ සුපිරි ක්‍රීඩක සුදම් සූරියආරච්චි තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරිමට තෙනුක සමත් වීමෙන් ලකුණු 7-3කින් පෙරමුණ ගත්තේය. අනතුරුව 13 වැනි මිනිත්තුවේදී ගයන්ත විසින් තවත් දඬුවම් පහරක් සාර්ථක කරනු ලැබීමෙන් සිය ලකුණු සංඛ්‍යාව 6ක් ලෙස ඉහළ දමා ගැනීමට ගුවන් හමුදා පිල සමත්වුවත් තරගයේ පළමු භාගය නිමාවට පෙර 27 වැනි සහ 36 වැනි මිනිත්තුවලදී දඬුවම් පහර දෙකක්ම සාර්ථක කර ගනිමින් සීඑච් පිල ලකුණු 13-6කින් ඉදිරියට රැගෙන යෑමට තෙනුක නානායක්කාර සමත් විය.

තරගයේ දෙවැනි භාගය ආරම්භ වී 7 වැනි මිනිත්තුවේදී රෝහිත රාජපක්ෂ අනගි උත්සාහක දිනුමක් තැබීමට සමත් වූ අතර, තෙනුක විසින් එය ගෝලයක් බවට පත් කිරීමෙන් සීඑච් පිල ලකුණු 20-6ක් ලෙස ඉදිරියට ගියේය. එහෙත් ඊළඟ මිනිත්තු කිහිපයේදී සීඑච් පිලට අනපේක්ෂිත අභියෝගයක් එල්ල කළ ගුවන් හමුදා පිලේ ක්‍රීඩකයන් පිට පිට උත්සාහක දිනුම් 2ක්ම වාර්තා කිරීම කැපී පෙනිණි. පරාක්‍රම රත්නායක සහ අංජුල හෙට්ටිආරච්චි එම උත්සාහක දිනුම්වලට හිමිකම් කීහ. දෙවැනි උත්සාහක දිනුම ඉද්දමල්ගොඩ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු සංඛ්‍යාව 18 දක්වා ඉහළ දමාගත් ගුවන් හමුදා පිල අවසන් මොහොතේ ජයග්‍රහණය ආසන්නයට පැමිණියේ ඉද්දමල්ගොඩ සාර්ථක කර ගත් දඬුවම් පහරකිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් නීතී රෙගුලාසිවලට අනුව නරඹන්නන්ගෙන් තොරව තරගය පැවැත්විණි. ක්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ක්‍රමවේද භාවිත කර තිබූ අතර, දෙපිලේහිම ක්‍රීඩකයන් ජෛව බුබුළු සෞඛ්‍යාරක්ෂක වළල්ලක රඳවමින් තරගයට එක් කර තිබිණි.

ඡායාරූපය ජගත් ඉරෝෂන