හිටපු නායක ක්‍රිකට් ඔස්තාර්වරයකු තිරෙන් පිටුපස
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී රාත්‍රියේ ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් අමෙරිකාව බලා පිටත් වීමට සූදානමක් ඇතැයි වාර්තා වේ. දැනට අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම දැවැන්තයකු ලෙස හඳුන්වනු ලබන අයකුගේ සම්බන්ධීකරණයෙන් මේ තිදෙනා අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෑම සැලසුම වී ඇත.
මේ සම්බන්ධ යම් යම් තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙමින් පවතින බව ‘දිනමිණ’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරියෙක් පැවසීය. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හැර අමෙරිකාව බලා යන්නේ නම් එය වළක්වාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් නැති බව එම විධායක නිලධාරියා සඳහන් කළේය.
විනය කඩ කිරීමේ චෝදනා ඔප්පු වීමෙන් පසුව එක් අයකුට රුපියල් කෝටිය බැගින් ක්‍රීඩකයන් තිදෙනාට පනවා තිබූ රුපියල් කෝටි තුනක දඩ මුදල මේ දක්වා ගෙවා නැති හෙයින් පසුගිය බංග්ලාදේශ හා එංගලන්ත සංචාරවලදී ඔවුන්ට ගෙවීමට ඇති මුදල්වලින් කපා ගන්නා බවද එම නිලධාරියා ‘දිනමිණ’ට පැවසීය.
මේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව අමෙරිකානු ඩොලර් 25,000ක (රුපියල් ලක්‍ෂ 50ක් පමණ) දඩයක් නියම කළ අතර, වසර 2ක ක්‍රිකට් තහනමක් ද පැනවීමට ද නිර්දේශ විය. එහෙත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එම නිර්දේශ සංශෝධනය කොට දඩය රුපියල් කෝටිය බැගින් ඉහළ දමා වසර දෙකක තහනම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ලෙස හා මාස හයක දේශීය තරග තහනමක් පැනවීමට කටයුතු කළේය.
එමෙන්ම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනම අවසන් වූ පසු වසර දෙකක අත්හිටුවූ තහනමක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය විය. කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන මනෝවෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතු බවට ද තීරණය විය.
එංගලන්ත තරග සංචාරයේ නිරතව සිටින අතරතුරදී කොරෝනා ජෛව ආරක්ෂිත බුබුළ බිඳීම, හොර රහසේ හෝටලයෙන් පිටවීම හා රටට අපකීර්තිය ගෙන ඒම වැනි කරුණු යටතේ ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ සම්බන්ධ පරීක්ෂණයට පත් කළ පංච පුද්ගල කමිටුවට උපරිමාධිකරණයේ හිටපු විනිසුරු නිමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රණවක, නීතිඥ උචිත වික්‍රමසිංහ හා විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු එක් වූහ.