පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවෙන් ඔරු පැදීමේ ක්‍රීඩාව නියෝජනය කරමින් මහේෂ් ජයකොඩි ටෝකියෝ බලා පිටත් වෙයි. ජපානයේ ටෝකියෝ නුවරදී මේ මස 24 වැනිදා ආරම්භ වී ලබන මස 5 වැනිදා අවසන් වන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම මේ 20 දා ටෝකියෝ බලා පිටත් වන අතර, එයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ් 9ක් ඇතුළත් වෙති.
වසර 2009දී මානුෂීය මෙහෙයුමට සහභාගි වී වෙඩි වැදී තුවාල ලැබූ මහේෂ් ජයකොඩි වසර 4ක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ගත්තේය. මීට වසර 12කට පෙර සිදු වූ එම අනතුරෙන් පසු මහේෂ්ගේ ජීවිතය වෙනතකට යොමු විය. තමන්ට එල්ල වූ සියලු අභියෝගය ජය ගැනීමට ඔහු ක්‍රීඩාව තෝරා ගත්තේය. එය වඩාත් සාර්ථක මට්ටමකට පැමිණි අතර, තවත් දින කිහිපයකින් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ම ඇති ලොව දැවැන්තම ක්‍රීඩා උලෙළට සහභාගි වීමට ඔහු හොඳ සූදානමකින් පසු වේ.
ඔහු මුලින්ම රෝද පුටු මැරතන් තරගවලට සහභාගි වී පසුව ආබාධිත වූවන්ගේ ඔරු පැදීමේ තරග සඳහා පුහුණුව ලැබුවේය.
“මා ආබාධිත වූවන්ගේ ඔරු පැදීම සඳහා චීනයේ පුහුණුවකට ගියා. පසුව 2021 පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වුණා. මං එම තරගයෙන් ප්‍රථම ස්ථානය ගෙන පැරාලිම්පික් සුදුසුකම් ලැබුවා. පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා මේ දවස්වල සාර්ථකව පුහුණුවීම් කරනවා. ලෝකයේ දක්ෂයන් සහභාගි වන නිසා මට හොඳ තරගයක් තියෙනවා. මොන අභියෝග මැද හරි මගේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට පැරාලිම්පික් මෙඩල් එකක් ගේන්න” මහේෂ් ජයකොඩි පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන්වරයකු වූ මහේෂ් ජයකොඩි, ජපානයේ ආසියා සහ ඕෂනියා කොන්ටිනෙන්ටල් තරගාවලියේදී මිනිත්තු 11:04.23ක කාලයක් ගත කරමින් ප්‍රථම ස්ථානයට පත් වී ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීය.
ජයකොඩි මීට පෙර 2019 ආසියානු පැරා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් අතර, ඔහුගේ පුහුණුකරු ලසන්ත වැලිකල මහතා ද ටෝකියෝ ක්‍රීඩා උලෙළට එක් වීම වඩාත් ශක්තියක් වී තිබේ.