හයිටි රාජ්‍යයේ පසුගියදා රිච්ටර් මාපක 7.2ක ප්‍රබල භූමි කම්පාවකින් පුද්ගලයන් 304 දෙනෙකු මියගිය අතර, තවත් 1,800 කට අධික පිරිසක් තුවාල ලැබූහ. සෙනසුරාදා (14දා) උදෑසන රටේ බටහිර ප්‍රදේශයට වන්නට සිදු වූ මේ භූමි කම්පාවෙන් පල්ලි සහ හෝටල් ඇතුළු ගොඩනැඟිලි රැසක් විනාශයට පත් විය. මේ දරුණු ඛේදවාචකයත් සමඟ මාසයක ජාතික ආපදා කාලයක් හා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එරට අගමැතිවරයා අති විශාල විනාශයක් සිදු වී ඇතැයි නිවේදනය කළේය. වසර 2010 එරට සිදු වූ අතිශයින්ම විනාශකාරී භූමි කම්පනයෙන් පසු බිඳ වැටුණු ජනජීවිත තවමත් ගොඩ නැගෙමින් පවතින අතර, එවර සිදුවූ භූ කම්පනයෙන් ලක්ෂ 2කට අධික පුද්ගලයන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබිණි. ඉන් අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න විය. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනාවරණය කරන පරිදි එරට සෙන්ට් ලුයිස් ඩු සුද් නගරයෙන් කිලෝ මීටර් 12ක් ඈතින් මේ භූමි කම්පාවේ අභිකේන්ද්‍රය පිහිටා ඇති බවය. භූමි කම්පාවේ කම්පනය කිලෝ මීටර් 125ක් ඈතින් පිහිටි අධික තදබදයක් ඇති පෝර්ට්-අව්-ප්‍රින්ස් අගනුවර ට ද දැනී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි අතර සිරවූවන් බේරා ගැනීමේ ක්‍රියාන්විත තවමත් සිදුවෙමින් පවතින අතර, තුවාල ලැබූවන් අවට රෝහල් කරා පිටත් කර හැරීමට සහන සේවා කණ්ඩායම් සහ ආරක්ෂක හමුදා යුහුසුළුව කටයුතු කරමින් සිටිති.
එරට දකුණුදිග ජෙරමී නගරයේ රෝහල් භූ කම්පනයෙන් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසන අතර, තුවාල ලැබූවන්ගෙන් විශාල පිරිසකගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.
වසර 11කට පසු හයිටියේ සිදු වූ මේ දරුණු භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් වැඩි වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.