32 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇෆ්ගනිස්තානයේ ඉරණම තීන්දු කළ තලෙයිබාන් ආක්‍රමණය

ඇෆ්ගනිස්තානයේ ඉරණම තීන්දු කළ තලෙයිබාන් ආක්‍රමණය

ලෝක සාමයට දැඩි තර්ජනයක් වනු ඇතැයි අනාවැකි පිට අනාවැකි පළ වූ තලෙයිබාන් අවසානයේදී ඇෆ්ගනිස්තානයේ බලය අත් කර ගත්තේය. දැඩි මුස්ලිම් අන්තවාදී සංවිධානයක් ලෙස ලොවටම විශාල බලපෑමක් එල්ල කරමින් සිටි මේ ත්‍රස්ත සංවිධානයට අමෙරිකානු හමුදා පිටත් වීමෙන් පසු ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමට වැඩි කාලයක් ගතවූයේ ද නැත.

තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ අල් කයිඩා ත්‍රස්තවාදීන් වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝක් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මාසයක් ගත වීමට පෙර ඇෆ්ගනිස්තානය කේන්ද්‍ර කරමින් ව්‍යාප්ත වෙමින් තිබූ තලෙයිබාන් සංවිධානය මැඬ පැවැත්වීමට මැදිහත් වූ අමෙරිකාව ඩොලර් ට්‍රිලියනයක පමණ අතිවිශාල මුදල් කන්දරාවක් වැය කරමින් ඇෆ්ගනිස්තානය තුළ සිදු කළ ක්‍රියාන්විතය අවසානයේදී පුස්සක් බවට පත් විය. මේ දශක දෙකක කාලය ඇතුළත දහස් ගණනක ජීවිත බිලි වන්නට ඇත. තවත් දහස් සංඛ්‍යාත පුද්ගලයන් පිරිසක් අවතැන් වන්නට හෝ තුවාල ලබන්නට ඇත. එහෙත් වසර විස්සකට පසු පෙර නොවූ විරූ අන්දමින් ශක්තිමත්ව නැඟී සිටි තලෙයිබාන් සංවිධානය අමෙරිකාව ඇතුළු මිත්‍ර රටවල හමුදා ආපසු පිටත් වීමේ වාසිය එහෙම පිටින්ම අත්කර ගත්තේය.

ගත වූ විසි වසරක කාලය ඇතුළත අමෙරිකාව ලැබූ එකම ජයග්‍රහණය අල් කයිඩා ත්‍රස්තවාදී නායක උසාමා බින් ලදේන් මරා දැමීම පමණි. එම දීර්ඝ කාලය තුළ සැලසුම්සහගතව ද, සිය කඳවුර ශක්තිමත් කරමින් ද ඇෆ්ගනිස්තානයේ බලය ව්‍යාප්ත කිරීමට කුරුමානම් අල්ලමින් සිටි තලෙයිබාන් සංවිධානය අවසානයේ ගෝලීය වශයෙන් නව ත්‍රස්තවාදයක පෙරනිමිති පහළ කර තිබේ. එය ආසියාවේ අසල්වැසි රටවල මෙන්ම ත්‍රස්ත ගැටුම් සිදුවෙමින් පවතින ලොව සෙසු රටවලට ද ඉතා අයහපත් පූර්වාදර්ශයක් බවට පත් වනු ඇත. අල් කයිඩා ත්‍රස්තවාදීන්ට සෙවණ දුන් මේ අන්තවාදී මුස්ලිම් සංවිධානය ලොව සෙසු රටවල මුස්ලිම් ත්‍රස්තවාදීන්ට තව දුරටත් සහයෝගය දක්වනු ඇතැයි දැනටමත් ලෝක දේශපාලන විචාරකයෝ අනුමාන කරති.

මාසයක් තරම් කෙටි කාලයකදී ඇෆ්ගනිස්තාන රජයේ හමුදා පරාජය කරමින් ක්‍රම ක්‍රමයෙන් එරට විවිධ ප්‍රාන්ත යටත් කරගත් තලෙයිබාන් සංවිධානය පෙරේදා කාබුල් අගනුවර බලය තහවුරු කරගැනීමත් සමඟ ඇෆ්ගනිස්තාන රජය පෙරළා දැමූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ඇෆ්ගනිස්තානය තුළ සිය ආධිපත්‍ය පතුරුවාලීමේ පියවරක් වශයෙන් පළමුව 2017 ජනවාරියේ එවකට අමෙරිකාවේ ජනාධිපතිධුරයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත විවෘත ලිපියක් යොමු කරමින් අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටි තලෙයිබාන් සංවිධානය පසුව අමෙරිකාව සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට ද උත්සාහ ගත්තේය. ට්‍රම්ප් රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූවත්, 2019 වසරේ නොවැම්බරයේ විමතිය දනවනසුලු ඇෆ්ගනිස්තාන සංචාරයක නිරත වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තලෙයිබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කරන බව නිවේදනය කළේය. එම වසරේදීම දෝහා කටාර් රාජ්‍යය කේන්ද්‍ර කරමින් සාම සාකච්ඡා ආරම්භ වූයේ ඒ අයුරිනි. අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමට පටන් ගත්තේ එම සාම සාකච්ඡාවට පසුව 2020 පෙබරවාරියේදී දෙපාර්ශ්වය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තැබීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් පත් වීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු හමුදා ඉවත් වීම ඉක්මන් වූ අතර, මේ වසරේ සැප්තැම්බර් මාසයට පෙර සියලු හමුදා සේනාංක ඉවත් කරගන්නා බවට බයිඩ්න් පොරොන්දු වී තිබිණි. මේ වසරේ මාර්තුවේදී ඇෆ්ගනිස්තානයේ ජනාධිපති අෂ්රෆ් ගානි සහ බයිඩ්න් පරිපාලනය විසින් අන්තර්වාර බලය හුවමාරු කරගැනීමේ ගිවිසුමකට එළැඹෙන යෝජනාවක් ඇෆ්ගන් රජයට ඉදිරිපත් කළ අතර, එය තලෙයිබාන් සංවිධානය එතෙක් කාලයක් පුල පුලා බලා සිටි අවස්ථාව ලෙස දැන් විචාරකයෝ දකිති.

ඒ අනුව බැලීමේදී ඇෆ්ගනිස්තානයේ බලය රිදී බන්දේසියක තබා තලෙයිබාන් සංවිධානයට පූජා කළ බවට ගෝලීය වශයෙන් අමෙරිකාවට චෝදනා එල්ල වීමේ පසුබිමක් ද නිර්මාණය වෙමින් තිබේ. අමෙරිකාව සහ නේටෝ රටවල් හමුදාව ඉවත් කරමින් ඇෆ්ගනිස්තානය තලෙයිබාන් ආක්‍රමණයට ඉඩකඩ සැලසූ බවට චෝදනා කරමින් ඊයේ ධවල මන්දිරය ඉදිරිපිටදී ඇෆ්ගනිස්තාන ජාතිකයෝ උද්ඝෝෂණයක ද නිරත වූහ. විශේෂයෙන් අල් කයිඩා වැනි අතිදරුණු ත්‍රස්ත සංවිධානයකට සහයෝගය පළ කරමින්ද, ආසියාවේ මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට උඩගෙඩි දෙමින් ද සිටින මෙවැනි සංවිධානයකට රටක බලය අත්වීමේ ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකි බවට ද අනාවැකි පළවෙමින් තිබේ. තලෙයිබාන් සංවිධානයේ යුද ශක්තියේ වපසරිය පිළිබඳ පැහැදිලි චිත්‍රය වන්නේ අගෝස්තු 15 වැනිදා වන විට සති දෙකක් ඇතුළත කාබුල් නුවර හැර අන් සියලු නගරවල බලය අල්ලා ගැනීමට ඔවුන් සමත් වීම බවත් ලෝක දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

අනෙක් අතට තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයන් දහස් ගණනකට නිදහසේ තෝතැන්නනක් වූ පාකිස්තානයට ද මේ සම්බන්ධව එල්ල වෙමින් තිබෙන චෝදනා බරපතළ එකකි. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ලේඛිකා එමිලි ෂ්මෝල් සඳහන් කරන්නේ අමෙරිකාව සහ අනෙකුත් රටවල් ඇෆ්ගනිස්තානයේ සාමය සඳහා පාකිස්තානයට පීඩනයක් දැමිය යුතුව තිබූ බවය. එහෙත් පාකිස්තාන රජය මෙන්ම එරට බොහෝ වැසියන් ද ඇෆ්ගනිස්තාන රජයේ බිඳ වැටීම දකින්නේ තලෙයිබාන් සංවිධානය ලද ජයග්‍රහණයක් ලෙසටය. ඉන් නොනැවතී එම ජයග්‍රහණය සියලු මුස්ලිම් ජාතිකයන් සැමරිය යුතු බව ද බොහෝ පාකිස්තානුවන්ගේ අදහස වී ඇතැයි ඇය වැඩිදුරටත් ලියන්නීය.

පාකිස්තානය තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයන්ට සෙවණ දෙමින් සිටින්නේ දශක ගණනාවක සිටය. තලෙයිබාන් සටන්කරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ ද පාකිස්තාන භූමියේය. සාමය සඳහා වන ගෝලීය විසඳුමකට සහාය පළ කරමින් හඬක් නැගුවත් අගමැති ඉම්රාන් ඛාන් තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරද්දී මුනිවත රකිමින් සිටියේය. ඊයේ තලෙයිබාන් සංවිධානය කාබුල් අගනුවර වටලද්දී ලොව බොහෝ රටවල් මේ ආක්‍රමණය හෙළා දකිද්දී පවා පාකිස්තානය ඊට මැදිහත් නොවීය.

තලෙයිබාන් සංවිධානය පෝෂණය කරන බවට පාකිස්තානයට චෝදනා පිට චෝදනා නැගුණේ අද ඊයෙක සිට නොවන බව ප්‍රකට කරුණකි. මේ අන්තවාදී සංවිධානයේ සාමාජිකයන්ට හමුදා පුහුණුව දීම, බුද්ධි මෙහෙයුම් පුහුණු කිරීම මෙන්ම මූල්‍යමය වශයෙන් ආධාර කිරීම සම්බන්ධව පාකිස්තානයට ඉතා දරුණු චෝදනා රැසක් එල්ල වී තිබිණි. ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් ආක්‍රමණය පසුපස පාකිස්තානය සිටින බවට තවත් පාර්ශ්ව ගණනාවක් චෝදනා කරන්නේ එවැනි පසුබිමකදීය. මේ ආක්‍රමණයට සහයෝගය දීමට ජිහාඩි අන්තවාදීන් දසදහසකට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් පැමිණ ඇතැයි ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානි අනාවරණය කළේ පසුගිය මාසයේදීය. එහෙත් ඊට මසක් ගත වීමට පෙර ඔහුට කාබුල් නුවර ජනාධිපති මන්දිරයෙන් පලා යෑමට සිදු විය. ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගත් බව තලෙයිබාන් සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිවරයා ටජිකිස්තානයට පලා යෑමත් සමගය.

මේ ජිහාඩි අන්තවාදීහු පාකිස්තානයේ ටෙහ්රීක් ඊ තලෙයිබාන් පාකිස්තාන් සංවිධානයේ සාමාජිකයෝ වෙති. එය තහනම් ත්‍රස්තවාදී සංවිධානයකි. පාකිස්තානය තුළ කුඩා දරුවන් හා කාන්තාවන් ඉලක්ක කරමින් මෑත කාලයේ ප්‍රහාර ගණනාවක් එල්ල කරනු ලැබුවේ එම සංවිධානය විසින් බවට තහවුරු වී තිබේ. තලෙයිබාන් සංවිධානය මේ ලද ජයග්‍රහණය ලොව සෑම මුස්ලිම් ජාතිකයකුම බෙදා හදාගත යුතු බවට ටෙහ්රීක් ඊ තලෙයිබාන් පාකිස්තාන් සංවිධානයේ නායක මුෆ්ති නූර් වලි නිවේදනය කර තිබේ. ඒ අතින් බැලූ විට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් රජයක් ස්ථාපිත වීම හැම අතින්ම පාකිස්තානය ද අවදානමට වැටෙන සිදුවීමකි.

කාබුල් අගනුවර බලය අත්කර ගැනීමෙන් පසු ජනාධිපති මන්දිරය අත්පත් කරගත් තලෙයිබාන් සංවිධානය යුද්ධය නිමාවට පත් වූ බව නිවේදනය කළ අතර, ඊයේ දිනයේදී කාබුල් නුවර තරමක සන්සුන් ස්වරූපයක් ගත්තේය. නමුත් මේ අනපේක්ෂිත ආක්‍රමණය නිසා දැඩි කලබලයට පත්වූ කාබුල් නුවර රැඳී සිටි විදේශකයන් රටින් පිටවීමට දැඩි උත්සාහයක නිතරවීම නිසා එරට අන්තර්ජාතික ගුවන් තොටුපොළ තුළ මුළුමනින්ම ඝෝෂාකාරී වාතාවරණයක් දිස්විය. ඒ වන විටත් අමෙරිකාව ඇතුළු රටවල් රැසක් සිය තානාපති නිලධාරින් කාබුල් නුවරින් ඉවත් කරගෙන සිටි අතර, ඉතිරිව සිටි විදේශිකයන්ගෙන් මෙන්ම සිය ගණනක ඇෆ්ගනිස්තාන ජාතිකයන්ගෙන්ද ගුවන්තොටුපොළ පිරී ඉතිරී ගොස් තිබිණි. බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් සිය ගණනක ජනතාව ගුවන්යානාවලට ගොඩ වීමට උත්සාහ කරන අයුරු සංවේදී සිදුවීමක් විය.

නව රජයක් පිහිටුවමින් ඉක්මනින්ම ඇෆ්ගනිස්තානය සන්සුන් කරන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළේ ඒ අතරතුරදීය. එම සංවිධානයේ දේශපාලන කාර්යාලය අල් ජසීරා පුවත්සේවයට කියා සිටියේ තලෙයිබාන් සංවිධානයට අන්තර්ජාතික වශයෙන් හුදෙකලා වීමේ අවශ්‍යතාවක් නොමැති බවය. ඉක්මනින්ම සාමකාමීව අන්තර්ජාතික සම්බන්ධතා යළි ගොඩ නගා ගන්නා බවත් ප්‍රකාශ කර තිබේ. එහෙත් දැඩි අන්තවාදී නීතිපද්ධතියක් ක්‍රියාත්මක කරමින් සිටින තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ව්‍යාප්ත කරනු ඇතැයි සැලකෙන බොහෝ නීතිරෙගුලාසි සෙසු රටවල් සමඟ ගනුදෙනු කිරීම කෙතරම් දුරට සාර්ථක වන්නේදැයි ගැටලුවකි. මිනීමරුවන්ට සහ ස්ත්‍රී දූෂකයන්ට, සොරකම් කිරීමට මෙන්ම අනියම් ලිංගික සම්බන්ධතාවලට වැරදිකරුවන් වන පුද්ගලයන් ප්‍රසිද්ධියේ වැරදිකරුවන් එල්ලා මැරීම, පිරිමින් රැවුළ වැවිය යුතු බවට සහ කාන්තාවන් මුළු සිරුරම ආවරණය කරගත යුතු බවට නියෝග කිරීම, රූපවාහිනී, සංගීතය සහ සිනමාව තහනම් කිරීම, අවුරුදු 10ට වැඩි ගැහැනු ළමයින්ට අධ්‍යාපනයට අවසර නොදීම ඒ අතර වේ. ඇරත් 2001 වසරේදී ඇෆ්ගනිස්තානයේ සුප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම හේතුවෙන් මේ අන්තවාදී මුස්ලිම් සංවිධානය ලෝක අපකීර්තියටත් පත්වී සිටී.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ නව රජයක් ස්ථාපිත කළද අන්තර්ජාතික වශයෙන් එය කොතරම් දුරට පිළිගැනීමට ලක් වන්නේදැයි නිශ්චිතවම තීරණය කිරීමට තවමත් වේලාසන වැඩිය.

ෆවුස් මොහොමඩ්