අවිශ්කගේ පිතිහරඹයෙන් රෙඩ්ස් පිලට ජය
ළහිරු මධුසංඛගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් ඉනිම ගොඩ නැගූ ග්‍රේස් පිල දුන් ලකුණු 168ක ඉලක්කය හමුවේ අසරණ වූ බ්ලූස් පිල ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියේ ඊයේ රාත්‍රී පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 17ක පරාජයක් අත් කර ගත්තේය. අපරාජිතයන්ගේ සටන බවට පත් වූ මේ තරගයේ ජයග්‍රහණයත් සමඟ මේ වන විට තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් පිල සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් පිලේ කඩුලු 4ක්ම ලකුණු 45ක් ඇතුළත බිඳ වැටීමෙන් පසු චරිත් අසලංක සමඟ එක් වූ ළහිරු මධුසංඛ කලෙකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කිරීම කැපී පෙනිණි.
ඔහු ඉනිම නිමා වනතුරු කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු 39කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් එක් විය. ඔහුට කදිම දායකත්වයක් දුන් අසලංක හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 54ක් රැස් කළේ පන්දු 47කිනි. දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට ලකුණු 122ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩ නැගිණි.
ලකුණු 168ක ඉලක්කය හඹා ගිය බ්ලූස් පිලට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකි වූයේ කඩුලු 7කට ලකුණු 151ක් පමණි. ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම ලකුණු 58ක් රැස් කළ ද සෙසු පිතිකරුවන්ට තැන්පත් වීමට ග්‍රේස් පිලේ පන්දු යවන්නෝ කිසිදු බුරුලක් නොදුන්හ. මෙහිදී නියමු කාර්ය භාරයක නියැළුණු නායක දසුන් ශානක සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවාලූහ.
මේ අතර අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 82ක් රැස් කිරීම නිසා ඊයේ සවස පැවැති තරගයෙන් ග්‍රීන්ස් පිල කඩුලු 10කින් පරාජය කළ රෙඩ්ස් පිල තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ග්‍රීන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7කට රැස් කළ ලකුණු 143 හඹා ගිය රෙඩ්ස් පිල ඕවර 17.3කදී කිසිවකු නොදැවී තරගය ජයගත්තේය.
අවිශ්ක ප්‍රනාන්දු පන්දු 68කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 82ක් රැස් කරද්දී ඔහුට අනගි සහායක් දුන් නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 51ක් රැස් කළේ පන්දු 44කිනි. හතරේ පහර 4කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කිරීමට චන්දිමාල් සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ග්‍රීන්ස් පිලේ ඉනිම ඉහළට ඔසවා තැබූ කමිඳු මෙන්ඩිස් ලකුණු 66ක් රැස් කිරීම කැපී පෙනිණි. ඊයේ තරගයේදී පළමුවරට කණ්ඩායමට කැඳවූ වේගපන්දු යවන චාමික කරුණාරත්න කඩුලු 3ක් දවාලීමට සමත් විය.