නවසීලන්තය ලොක් ඩවුන් කරයි
කොවිඩ් වයිරසය සාර්ථකව මැඬ පැවැත්වූ නවසීලන්තයෙන් මාස 6කට පසු පෙරේදා ආසාදිතයකු වාර්තා වීම නිසා ඊයේ රාත්‍රියේ සිට අඛණ්ඩව දින තුනක් මුළු රටම වසා දැමීමට නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩ්න් නියෝග කළ බව නවසීලන්ත හැරල්ඩ් පුවත්පත වාර්තා කළේය. එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවරදී එම ආසාදිතයා හඳුනාගෙන ඇති අතර, එය මාස 6කට පසු එරට සමාජය තුළින් කොවිඩ් ආසාදිතයකු හමු වූ පළමු අවස්ථාව වේ. අවසන් වරට එරටින් කොවිඩ් ආසාදිතයකු වාර්තා වී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදීය. පෙරේදා හඳුනාගත් රෝගියා නිරෝධායනයට යොමු කර ඇති අතර, වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ එරට සෞඛ්‍ය අංශය මේ වනවිට විමර්ශනය කරමින් සිටී. කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය සිදු වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා නවසීලන්තයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,926ක් වන අතර, මරණ සංඛ්‍යාව 26ක් පමණි. එසේ වුවත් කොවිඩ් රෝගියකු වාර්තා වීම නිසා මුළු රටම සිවු වැනි මට්ටමේ ‘ලොක් ඩවුන්‘ තත්ත්වයකට පත් කිරීමට අගමැතිනිය තීරණය කර ඇති අතර, රෝගියා වාර්තා වූ ඕක්ලන්ඩ් නුවර අඛණ්ඩව දින 7ක් ලොක් ඩවුන් කරන ලෙස නියෝග කළාය.