ආරම්භ කළ තැනින් ඉදිරියට ගොස් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වන බව ඇමැති නාමල් කියයි
කොරෝනා වසංගතය ලොවම වෙළාගෙන තිබියදී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ භාරගෙන වසරක කාලයක් ගෙවී යයි.
එම කාලය තුළ කොරෝනා අර්බුදයට අභියෝග කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය වේගවත් ගමනක නිරත වීම කාගේත් පැසසුමට හේතු වී තිබේ. කොරෝනා හේතුවෙන් ක්‍රීඩා පුහුණුව සැලසුම් සහගතව සිදු කිරීමට නොහැකිව තිබියදී උපාය මාර්ගික සැලසුම් අනුව අන්තර්ජාතික තරග බිමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමට සමත් විමත්, යටිතල පහසුකම් සංවර්ධනය උපරිම අයුරින් වේගවත් කිරීමටත් වැනි කරුණු ගණනාවක් හේතුවෙන් මේ අර්බුදකාරී තත්ත්වය මැද වුවද ක්‍රීඩා අමාත්‍යාංශය ඉහළ කාර්යසාධන මට්ටමක් පෙන්නුම් කර ඇත.
තමන් වැඩ භාරගෙන වසරක කාලයක් ගෙවීයද්දී ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරි වසර තුළදී තමන් ආරම්භ කළ තැනින් ඉදිරියට පැමිණ නව ව්‍යවසායකත්වයක් මඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප විය යුතු බවයි. එළැඹෙන වසර තුළ ක්‍රීඩාවෙන් ලොවක් ජය ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම තම එකම බලාපොරොත්තුව බව පවසන ඇමැතිවරයා 2032, 2028, 2024 වසරවලදී පැවැත්වෙන ඔලිම්පික් උලෙළට සහභාගී විය හැකි දක්ෂයන් ගමෙන් හොයාගෙන අන්තර්ජාතික තලයට ඔසවා තැබීමේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම තම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයක් බව ද සඳහන් කළේය.
වසරකට පෙර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ වගකීම භාර ගනිද්දී මුහුණ පෑමට සිදු වූයේ අපේ මව්පියන්ගේ කාලයේ තරුණයා මුහුණ දුන් අභියෝගවලට වඩා හාත්පසින්ම වෙනස් වූ අභියෝගයක් බවද ඇමැතිවරයා අවධාරණය කළේය. ගෝලීය වසංගතයක් නිසා දේශීය හා අන්තර්ජාතික වශයෙන් රටවල් සියල්ලම ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් අස්ථාවර වූ කාලසීමාවකදී, එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වී ඇතැයි රාජපක්ෂ මහතා සඳහන් කළේය.
“ලෝකයේ වේගයෙන්ම කොරෝනාවලට එරෙහි එන්නත දෙන රට බවට අප පත්ව තිබෙනවා. වසංගතය පාලනය කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා සමස්ත ජනයාම මේ වේලාවේ එක්ව කටයුතු කරනවා. රටේ තාරුණ්‍ය නව මාවතකට යොමු කරන්නත් තාරුණ්‍යයේ අවශ්‍යතා අනුව ජාතික හා අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණ කරා යොමු කිරීමට සැලසුම් සම්පාදනය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා. ජාතික ක්‍රීඩා සභාව හරහා ගමේ සිටින දක්ෂ තරුණ තරුණියන් අන්තර්ජාතික තලයට ගෙන යෑම හා ජයග්‍රහණවලට පෙලඹීමත් කළ යුතු වෙනවා. වැටුන ක්‍රීඩාව නංවාලීමට දැන් අවශ්‍ය සැලසුම් සකස් කොට තිබෙනවා” යැයි ඇමැතිවරයා පැවසීය.
“ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් ඇත්තේ තරුණ ප්‍රජාවටයි. තරුණ ප්‍රජාවගේ විරැකියාව වැඩි වෙනවා. දේශීය වශයෙන් අපට අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒ කෙසේ වෙතත් අපේ තරුණයා මේ තත්ත්වයට හුරු වී මේ අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් පුද්ගලයකු බවට පත්ව තිබෙනවා. අපේ රටේ තරුණයා ගැන විශාල විශ්වාසයක් ගොඩනැඟී තියෙන්නේ ඒ නිසයි” ඇමැතිවරයා සඳහන් කළේය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගෙවුණු වසරක කාලය තුළ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් ද අදහස් පළ කළහ.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහලෙ ජයවර්ධන මහතා – “ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ඉතා හොඳින් ක්‍රියාත්මක වනවා. අප කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශයට රජයෙන් වෙන් වන මුදලින් සියයට 20ක ප්‍රමාණයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කිරීමට ඇමැතිතුමා පෙරැළිකාර තීන්දුවක් ගත්තා. ක්‍රීඩා ඇමැතිවරයා ඍජුවම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවර්ධනයට මුදල් වෙන් කළ යුතු බවට තීරණය කිරීම අගය කළ යුතුයි. ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කේන්ද්‍ර කොට මුදල් වැය කිරීමෙන්. ඇතැම් රටවල මෙය සියයට 55ක් පමණ. මේ මුදල් ආයෝජනය වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු, මානව සම්පත් සංවර්ධනය, පෞරුෂත්ව වර්ධනය හා පුහුණුකරුවන්ගේ සංවර්ධනය යන අංශ වෙනුවෙන්”
“ශ්‍රී ලංකාවේ ඉහළ කාර්යසාධනයක් සහිත ක්‍රීඩාවන් සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් නිර්මාණය කිරීමටත් අපේ සැලසුමේ ප්‍රධාන කොටසක්. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ මඟින් හොඳ අවස්ථාවක් උදා වෙනවා ඉදිරියට එන්න. අපේ ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුකරුවන් යටතේ පුහුණුව, තාක්ෂණය දිය යුතුයි. ගෙවී ගිය වසරේ මේ සඳහා අප සැලසුම් සකස් කොට තිබෙනවා”
මලල ක්‍රීඩා ශූරී දමයන්ති දර්ශා – “අපේ කාලයේ තිබුණු පහසුකම් එක්ක මලල ක්‍රිඩාව ස්වර්ණමය යුගයකට ගෙන ආවා. අද අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ අවස්ථා තියෙනවා. ඒවායින් ප්‍රයෝජන ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. අද තාක්ෂණය දියුණුයි. ජයග්‍රහණය කරා යන්න ඉලක්ක හදා ගන්න අවශ්‍යයි. ඉදිරියේදී අපේ රටේ ක්‍රීඩාව තව තවත් දියුණු කරන්න හැකියාව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා”
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් “අපේ රටේ ක්‍රීඩා ඇමැතිතුමා ක්‍රීඩාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා අපේ ක්‍රීඩාව යම් සැලසුමක් ඇතිව ඉදිරියට යන බව දැනෙනවා. නාමල් ඇමැතිතුමා කියන්නේ ඔලිම්පික් පදක්කමක් ගේන්න ඔහුගේ සැලසුම වී තිබෙන්නේ 2032දී කියලයි. ඒක නිවැරදි දැක්මක් සහිත වැඩපිළිවෙළක්. අප ක්‍රීඩාව ඉලක්කගත කළොත් අපට ජයග්‍රහණ කරා යන්න අපහසු නෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් අවශ්‍යයි. අපට ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඇමැතිතුමා ඒ ප්‍රතිපත්තිවලට යන කෙනෙක් නිසා සතුටුයි. ගෙවී ගිය වසරේදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හොඳ වැඩපිළිවෙළක් තිබුණා. ඒක ඉදිරියට ගෙන යන්න සුබ පැතුම් එක් කරනවා”
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ කිලිනොච්චි දිස්ත්‍රික් නියෝජිත එස්. අනුජාන් “කොරෝනාවෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා රට පුරා කුමන හෝ සේවාවක් කරමින් ක්‍රීඩා ඇමැතිතුමා සාර්ථක ගමනක නිරත වීම සතුටට කරුණක්. ඇමැතිතුමාගේ සැලසුම යටතේ ඉදිරියේ රට පුරා ජාතික ක්‍රීඩා සංකීර්ණ, දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඇති වෙනවා. අපේ කිළිනොච්චියටත් ක්‍රීඩා සංකීර්ණයක් ලබාදීම ගැන අප සතුට ප්‍රකාශ කළ යුතුයි. තරුණ තරුණියන්ට අතහිත දෙන ඇමැතිවරයෙක් සිටීම සතුටක්”
ජාතික වොලිබෝල් ක්‍රීඩිකා අමානී කෞශල්‍යා – “මා අාවේ ආනමඩුව ක්‍රීඩා පාසලෙන්. ඇත්තටම සපත්තුවක්වත් තිබුණේ නෑ එනකොට. එළිමහනේ පුහුණු වුණ අපි දැන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුහුණු වෙනවා. ගාල්ලේ අපිටම කියලා ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඇමැතිතුමා දුන්නා. දැන් පහසුකම් හොඳයි. දකුණු ආසියා රන් පදක්කමක් දිනන්න අවශ්‍යයි. දැන් තියෙන පහසුකම් එක්ක අනාගතයේ ඔලිම්පික් යන්න ප්‍රාර්ථනා කරනවා”
ඔලිම්පික් ක්‍රීඩිකා ටෙහානී එගොඩවෙල – “ඔලිම්පික් උලෙළෙට මා ගියා. ඒත් හිතපු තරම් දක්ෂතා දක්වන්න නොහැකි වුණා. මා ලොකු දෙයක් ඉගෙන ගත්තා. තාක්ෂණය පැත්තෙන් තිබුණු අඩුපාඩුකම් හොඳින් තේරුම් ගත්තා. අපට උසස් මට්ටමේ අන්තර්ජාතික වෙඩි පිටියක් දෙනවා කියා නාමල් ඇමැතිතුමා කිව්වා. ඒක ඉදිරි දක්ෂතාවල විශාල රුකුලක්. එතකාට අපේ පාසල් ක්‍රීඩාවත් ඉදිරියට එනවා”
ප්‍රින්ස් ගුණසේකර