කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (20) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයට සුදුසුකම් හිමි කරගැනීමට සමත් වූවාය.
මේ ඉසව්වේ මූලික වටය අදියර 4කින් සමන්විත පැවැති අතර, එහි දෙවැනි තරගයට එක් වූ තරුෂි විනාඩි 2:10.70කින් තරගය නිම කරමින් තෙවැනි ස්ථානයට පත් වූවාය.
මී.800 ඉසව්වට ක්‍රීඩිකාවන් 29 දෙනකු එක් වූ අතර, ඉන් 16 දෙනෙක් අවසන් පූර්ව වටයට එක් වූහ. තරුෂි එම ක්‍රීඩිකාවන් අතරේ 17 වැනි ස්ථානයට පත් වුවත් මූලික වටයේදී තෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා විණි. තරුෂි ඊයේ දැක්වූයේ සිය හොඳම දක්ෂතාව නොවන අතර, ඇය පසුගිය මැයි මාසයේ කොළඹ පැවැති තරගාවලියේදී විනාඩි 2:07.21ක කාලයක් වාර්තා කර තිබිණි.
මේ ඉසව්වට තරුණි සමඟින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශානිකා ලක්ෂානි ද එක් වූ අතර, ඇයට අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමට නොහැකි වූයේ මූලික වටයේ පළමු තරගයට එක් වූ ඇය විනාඩි 2:20.37ක කාලයකින් 5 වැනි ස්ථානයට පත්වීමෙනි. සමස්ත ක්‍රීඩිකාවන් අතරේ ඇය 22 ස්ථානයට පත් වූවාය.
මේ අතර, මීටර් 200 කාන්තා ඉසව්ව නියෝජනය කරන මේධානි ජයමාන්න අද (20) එහි මූලික වටයට එක් වීමට නියමිතය.
ඇය ඉන් පෙර මීටර් 100 ඉසව්වත් නියෝජනය කරන අතර, එම ඉසව්වෙන් යෑමට හැකි වූයේ අවසන් පූර්ව වටයට දක්වා පමණි. එහි මූලික වටයේ සිව්වැනි තරගයට එක් වූ ඇය තත්පර 12.01ක කාලයක් සමඟින් 6 වැනි ස්ථානයට පත් විය.
ඒ සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මේධානි එම වටයේ පළමු තරගයේදී ක්‍රීඩිකාවන් 8 දෙනකු අතුරින් 7 වැනි තැනට පත් වූයේ තත්පර 11.96කිනි. අවසන් පූර්ව වටයට පිවිසි සමස්ත ක්‍රීඩිකාවන් 24 දෙනා අතුරින් මේධානිට හිමි වූයේ 21 වැනි ස්ථානයයි.
මේ අතර, තරගාවලියේ මීටර් 400 මිශ්‍ර සහාය ඉසව්වට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට 7 වැනි ස්ථානයෙන් තරගය නිමා කිරීමට සිදු විය. ශ්‍රී ලංකාව මීටර් 400 මිශ්‍ර සහාය ඉසව්වෙන් එක් වූ පළමු අන්තර්ජාතික තරගය වන මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3:26.39ක කාලයක් වාර්තා කළේය. මේ ඉසව්වට රවිඳු බණ්ඩාර, තරුෂි කරුණාරත්න, සයුරි ලක්ෂිමා සහ ඉසුරු කෞශල්‍ය එක් වූහ.
මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ ඉසුරු කෞෂල්‍යට (තත්.48.02) මූලික වටයේදී හිමි වූයේ ක්‍රීඩකයන් 24 දෙනකු අතුරින් 20 වැනි ස්ථානයයි.
ඉරිදා නිමාවට පත් වීමට නියමිත මේ ශූරතාවලියේ තෙවැනි දිනය අදයි.
නිරෝෂාන් ප්‍රියංකර