30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදසුන්ගේ ග්‍රේස් තවමත් අපරාජිතයි

දසුන්ගේ ග්‍රේස් තවමත් අපරාජිතයි

නායක දසුන් ශානකගේ වාර්තාගත පිතිහරඹය හේතුවෙන් ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස තවදුරටත් පෙරමුණ රැක ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත් විය.

පල්ලේකැලේ පිටියේ පැවැත්වෙන තරගාවලියේ 8 වැනි තරගය ලෙස පෙරේදා රාත්‍රියේ පැවැති ග්‍රීන්ස් පිලට එරෙහි තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4කින් ජය ගැනීමත් සමඟ අඛණ්ඩ සිව්වැනි ජය වාර්තා කිරීමට ග්‍රේස් පිලට හැකි විය.

මේ සමඟ තරගාවලියේ පිට පිට සිව්වැනි පරාජයත් වැලඳ ගැනීමට ග්‍රීන්ස් පිලට සිදු වූ අතර, ඒ සමඟ තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමකට ඔවුන් ලක්ව සිටී.

දිගින් දිගටම මේ තරගයට වාර්ෂාවෙන් බාධා වීම මැද තරගයේ කාසියේ වාසිය දිනූ ග්‍රීන්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් ඉනිම ඕවර 10කට සීමා කළ අතර, ග්‍රීන්ස් ඉනිම ඕවර 5.3කින් නිමා කළේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජය ග්‍රේස් පිලට හිමි කර දෙමිනි.

වර්ෂාව නිමා ආරම්භය පමා වූ මේ තරගය ඉනිමක් ඕවර 13ක් ලෙස පැවැත්වීමට කටයුතු කළද ග්‍රේස් ඉනිම මැද දී යළිත් වැස්ස හරස්වීම නිසා ඉනිමක් ඕවර 10කට සීමා කෙරිණි.

ග්‍රේස් පිල ඕවර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 137ක් රැස් කළ අතර, ග්‍රීන්ස් පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා වන විට ඕවර 5.3කදී කඩුලු 3කට ලකුණු 69ක් රැස් කර තිබිණි. මේ සමඟ තරගය නතර කළ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ග්‍රීන්ස් පිල ඒ වන විට රැස් කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 74කි.

ග්‍රීන්ස් පිලට වේගවත් ආරම්භයක් දුන් ළහිරු උදාර හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් රැස් කළේ පන්දු 10කිනි. පැතුම් නිශ්ශංක පන්දු 12කින් ලකුණු 21ක් රැස් කළ අතර, චතුරංග ද සිල්වා කඩුලු 2ක් බිඳ දැම්මේය.

පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 43ක් තුළ බිඳ වැටුණු අතර, අනතුරුව ආරම්භක පිතිකරු කමිල් මිෂාරට එක් වූ දසුන් ශානක මුළු ලකුණු සංඛ්‍යාව 137 දක්වා ඉදිරියට ගෙන ගියේ පන්දු 38කිනි.

මේ තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ශානක නොදැවී ලකුණු 55ක් රැස් කළේ පන්දු 22කිනි. ඔහු හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත් අතර, ඔහුට අනගි සහායක් දුන් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ පන්දු 24කිනි. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේය.

මේ අතර, තරගාවලියේ 5 වැනි දිනය යටතේ අද (20) අවසන් ස්ථානයේ පසු වන ග්‍රීන්ස් සහ ලකුණු සටහනේ දෙවැනි තැන සිටින බ්ලූස් කණ්ඩායම් ප.ව. 2.30ටත්, ග්‍රේස් සහ තෙවැනි ස්ථානයේ පසු වන රෙඩ්ස් කණ්ඩායම් රාත්‍රී 7.00ටත් තරග වැදීමට නියමිතය.