ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ ජෛව බුබුළට කොරෝනා වයිසරය ඇතුළු වීම හේතුවෙන් ඊයේ පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 5 වැනි දිනය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක අද (21) දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
තරගාවලියට එක් වන ක්‍රීඩකයන් නවාතැන්ගෙන සිටින හෝටලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබිණි.
ඔවුන්ට සිදු කළ පීසීආර් පරීක්ෂණ මඟින් මේ බව තහවුරු වී ඇති අතර, මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනත් හෝටල් දෙකකට මාරු කිරීමට ද කටයුතු කර තිබිණි. තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයන් සියලු දෙනාට ද පෙරේදා පීසීආර් පරීක්ෂණ සිදු කළ අතර, ඔවුන් සියලු දෙනා එම පරීක්ෂණයෙන් සමත්ව ඇති හෙයින් හෙට (22) මූලික වටයේ අවසන් තරග දෙක සහ 24 වැනිදා අවසන් මහා තරගය වෙනසකින් තොරව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සංශෝධනය අනුව අද පෙ.ව. 2.30ට ග්‍රීන්ස් සහ බ්ලූස් අතර තරගයත්, ග්‍රේස් සහ රෙඩ්ස් කණ්ඩායම් අතර තරගය රාත්‍රී 7.00ටත් පැවැත්වීමට නියමිතය.
මේ අතර, තරගාවලියේ තරග 8ක් නිමා වන විට දසුන් ශානක මෙහෙයවන ග්‍රේස් කණ්ඩායම අපරාජිතයන් ලෙස පෙරමුණ ගෙන සිටින අතර, තරග 4කින් දෙක බැගින් ජය ගනිමින් බ්ලූස් සහ රෙඩ්ස් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙයි. ග්‍රීන්ස් පිල සහභාගි වූ තරග 4ම පරාජය වෙමින් සිව්වැනි තැන පසු වේ. මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසු වන කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබන අතර, ඒ අනුව ග්‍රේස් පිල මේ වන විට අවසන් තරගය ආසන්නයට ගොස් සිටී. බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් දෙවැනි තැන ගැනීමට සටනක නිරත වන අතර, එම කණ්ඩායම් දෙක ඉදිරි තරගවලදී යළිත් එකිනෙකා මුණ නොගැසේ.
මේ තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට දසුන් ශානක සමත්ව ඇති අතර, රෙඩ්ස් කණ්ඩායමේ හිමේෂ් රාමනායක පන්දු යවන්නන් අතර පෙරමුණේ පසු වෙයි.
හිමේෂ් රාමනායක