එක්සත් ජනපදයේ මෙහෙයවීම යටතේ පැවති ඒකාබද්ධ හමුදාව විසින් ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයෙන් මුදා ගන්නා ලද්දේ 2001 වසරේදීය. නමුත්, තලෙයිබාන්වරු මෑතකදී සිය සටන තීව්‍ර කළ අතර, මේ වන විට නැවතත් රටේ පාලනය සියතට ගෙන තිබේ. දශක දෙකක යුද්ධයකින් පසුව එක්සත් ජනපදය තම හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම සැප්තැම්බර් 11 වැනිදා වන විට සම්පූර්ණ කිරීමට නියමිතව තිබියදී තලෙයිබාන් සටන්කරුවෝ රටේ ප්‍රධාන නගර අත්පත් කර ගත්හ. දැන් ඔවුහු කාබුල් අගනුවර පාලනය සියතට ගෙන සිටිති.
තලෙයිබාන් සංවිධානය සහ එක්සත් ජනපදය සෘජු සාකච්ඡාවකට අවතීර්ණ වූයේ 2018දීය. 2020 වසරේ පෙබරවාරි මාසයේදී දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. තම හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට එක්සත් ජනපදය එමඟින් එකඟ වූ අතර, විදෙස් හමුදාවට පහර දීම නතර කිරීමට තලෙයිබාන්වරු එකඟ වූහ.
තම පාලනයේ පවතින ප්‍රදේශවල අල් ඛයීඩා හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවටත්, ජාතික සාම සාකච්ඡාවලට අවතීර්ණ වන බවටත් තලෙයිබාන් සංවිධානය තවදුරටත් ප්‍රතිඥා දුන‍්‍නේය. නමුත්, මේ වසර තුළදී ඇෆ්ගන් හමුදා සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් තලෙයිබාන් ප්‍රහාර රට පුරා දිගින් දිගටම ක්‍රියාත්මක විය.
බලයට පැමිණීම
‘තලෙයිබාන්’ යන වචනය පශ්තෝ භාෂාවෙන් ‘ශිෂ්‍යයෝ’ ලෙසින් අර්ථ දැක්විය හැකිය. මෙම සංවිධානය මතු වූයේ 90 දශකයේ මුල් භාගයේදීය. එය සිදු වූයේ සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමෙන් අනතුරුවය. මේ වකවානුවේදී ආගමික ආයතන තුළ ‘පශ්තුන් සංවිධාන’ බිහි වූ අතර, සවුදි අරාබියෙන් ලැබුණු මුදල් ආධාර මත එම සාමාජිකයන් හට සුන්නි ඉස්ලාම් දහම ඉගැන් වූ බව විශ්වාස කෙරේ. තලෙයිබාන් සංවිධානයේ පොරොන්දුව වූයේ, තමන් බලයට පත් වූ වහාම ෂරියා ඉස්ලාම් නිකායේ දැඩි නීති හඳුන්වා දෙමින් රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන බවය.
තලෙයිබාන් බලපෑම් ආරම්භ වූයේ, ඇෆ්ගනිස්තානයේ නිරිත දිග ප්‍රදේශයෙන්ය. 1995 සැප්තැම්බරය වන විට ඔවුහු ඉරාන දේශ සීමාව අද්දර පිහිටි හෙරාට් ප්‍රාන්තය අත්පත් කර ගත්හ. ඉන් පසුව හරියටම වසරක් ගෙවීයත්ම එවකට බලයේ සිටි ජනාධිපති රබ්බානිගේ රෙජීමය පෙරළා දමා කාබුල් අගනුවර අල්ලා ගත් හ. රබ්බානි යනු, සෝවියට් හමුදාවට එරෙහිව සටන් වැදුණු ඇෆ්ගන් මුජහිදීන් සංවිධානයේ ආරම්භක නායකයෙකි.
1998 වන විට ඇෆ්ගනිස්තානයේ සියයට 90ක භූමි ප්‍රදේශයක් පැවතියේ තලෙයිබාන් සංවිධානයේ පාලනය යටතේය. සෝවියට් හමුදාව රටින් පලවා හැරීම සඳහා මුජහිදීන්වරුන් සටන් වැදුණද, රටේ පවතින දූෂණය සහ අවනීතිය තුරන් කරන බවට පොරොන්දු වූ තලෙයිබාන්වරුන්ට වැඩි කැමැත්තක් දැක්වීමට ඇෆ්ගන් ජනතාව මුලදී පෙලඹුණහ.
නමුත්, ඔවුහු ද ෂරියා නීතිය යටතේ දැඩි දඬුවම් හඳුන්වා දීමට පටන් ගත්හ. ඔවුන්ගේ බලපෑම ඉතා ඉක්මනින් විහිද ගියේය. ඒ අනුව, මනුෂ්‍ය ඝාතනවලට සහ ස්ත්‍රී දූෂණවලට වැරදිකරුවන් වූවන් ප්‍රසිද්ධියේ එල්ලා මැරීම සහ සොරකම් කළ වුන්ගේ අතපය කපා දැමීම වැනි ඉස්ලාමීය දඬුවම් ක්‍රියාත්මක කිරීමට ඔවුහු ක්‍රියා කළහ. පිරිමින් රැවුළ වැවිය යුතු වීය. ස්ත්‍රීන් මුහුණ සහ සිරුර වැසෙන පරිදි බුර්කාව ඇඳිය යුතු වී ය. තලෙයිබාන්වරු රුපවාහිනිය, සංගීතය සහ සිනමාවද තහනම් කළහ. වයස අවුරුදු 10ට වැඩි ගැහැනු ළමයින්ට පාසල තහනම් වීය. මානව හිමිකම් උල්ලංඝනය කරන බවටත්, සංස්කෘතික උරුමයන්ට හානි පමුණුවන බවටත් තලෙයිබාන්වරුන්ට චෝදනා එල්ල වීය.
මේ සම්බන්ධයෙන් දිය හැකි කුප්‍රකටම උදාහරණයක් වන්නේ ඇෆ්ගනිස්තානයේ මධ්‍යම ප්‍රදේශයේ පැවති දැවැන්ත බුදු පිළිම විනාශ කිරීමය. අන්තර්ජාතික වශයෙන් එල්ල වන විරෝධතා නොතකා එම බුදු පිළිම විනාශ කර දමන ලද්දේ 2001 වසරේදීය. තලෙයිබාන් ව්‍යාපාරය තැනීමට පකිස්තානය මුල් වූ බවට නැගෙන චෝදනා පකිස්තානය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. නමුත්, තවමත් එය සැක සහිත වන්නේ, තලෙයිබාන් ව්‍යාපාරයට මුලින්ම එක් වූ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකු පකිස්තානයේ මද්‍රසා ආගමික පාසල්වල අධ්‍යාපනය ලැබූ ඇෆ්ගන් ජාතිකයන් වීම නිසාය.
තලෙයිබාන්වරු බලයේ සිටිය දී එම පාලනය පිළි ගත් රටවල් තුන අතර පකිස්තානයද සිටීම තවත් විශේෂත්වයකි. අනෙක් රටවල් දෙක වූයේ, සවුද අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එමෙන්ම, තලෙයිබාන්වරු සමඟ පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතහැර දැමීම සඳහා තීරණය කළ අවසාන රට වූයේද පකිස්තානයයි.
පකිස්තානය අස්ථාවර කරන බවට තලෙයිබාන්වරු වරෙක තර්ජනය කළහ. තලෙයිබාන්වරුන් විසින් පාකිස්තානයේ ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රහාර අතරින් අන්තර්ජාතික හෙළා දැකීමට වැඩි වශයෙන්ම භාජනය වූයේ මලාලා යුසෆ්සායි පාසල් ශිෂ්‍යාවගේ හිසට වෙඩි තැබීමයි. මෙය සිදු වූයේ, 2012 ඔක්තෝබරයේ දීය. කෙසේ නමුත්, පෙෂාවාර්හි පාසලක සිදු වූ සමූහ ඝාතනයෙන් දෙවසරකට පසුව තලෙයිබාන්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ හමුදා මෙහෙයුම්වලින් පකිස්තානය තුළ තලෙයිබාන් බලපෑම දුර්වල තත්ත්වයකට පත් වීය.
2013දී එක්සත් ජනපද හමුදාව ක්‍රියාත්මක කළ ගුවන් ප්‍රහාරවලින් පාකිස්තානු තලෙයිබාන් ව්‍යාපාරයේ ඉහළම තනතුරු දැරූ පුද්ගලයන් තිදෙනෙක් පමණ මරණයට පත් වූහ. මෙසේ මරණයට පත්වූවන් අතර පකිස්තානු තලෙයිබාන් කණ්ඩායමේ නායක හකිමුල්ලාහ් මෙහ්සුඩ්ද වීය.
අල් ඛයීඩා ‘අභයභූමිය’
නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණට 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව මුළු ලෝකයම ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ව්‍යාපාරය වෙත දෙනෙත් යොමු කළහ. මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ ඔසාමා බින් ලාඩන්ට සහ ඔහුගේ අල් ඛයීඩා සංවිධානයට ‘අභයභූමියක්’ ලෙස රැකවරණ සැපයූ බවට තලෙයිබාන් සංවිධානයට චෝදනා එල්ල වීය.
2001 ඔක්තෝම්බර් 7 වැනිදා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළහ. ඒ වසරේ දෙසැම්බරයේ පළමු සතිය වන විට තලෙයිබාන් රෙජීමය බිඳ වැටුණි. එවකට තලෙයිබාන් නායකයා වූ මුල්ලාහ් මොහමඩ් ඕමාර් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයෝ මෙන්ම, ඔසාමා බින් ලාඩන් ද පලා ගියහ.
බොහෝ තලෙයිබාන් නායකයෝ පකිස්තානයේ ක්වෙටා නගරයට පලා ගොස් එහි සිට තලෙයිබාන් ව්‍යාපාරය මෙහෙයවන්නට පටන් ගත්හ. මෙය ‘ක්වෙටා ශ=රා’ නමින් හැඳින්වේ. නමුත්, එවැන්නක් පවතින බව පකිස්තානය ප්‍රතික්ෂේප කළේ ය. විශාලතම විදෙස් හමුදා ඛණ්ඩය යොදවා තිබුණද තලෙයිබාන් ව්‍යාපාරය යළි හිස ඔසොවන්නට වීය. ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ප්‍රදේශ අස්ථාවර කරන්නට ඔවුහු සමත් වූහ. රට අනාරක්ෂිත වෙමින් පැවතුණි. ප්‍රචණ්ඩ ක්‍රියා නැවත උත්සන්න වීය. කාබුල් අගනුවරටද ප්‍රහාර එල්ල වන්නට පටන් ගත්තේය. 2012දී නේටෝ කඳවුරකටද දැඩි ප්‍රහාරයක් එල්ල වීය.
සිය කාර්යාලයක් කටාර් රාජ්‍යයේ විවෘත කරන බව 2013දී තලෙයිබාන් සංවිධානය නිවේදනය කිරීමෙන් අනතුරුව සාමය සඳහා ගනුදෙනුවක් පිළිබඳ අපේක්ෂා මතුවන්නට වීය. නමුත්, සියලු දෙනාගේ අවිශ්වාසය තහවුරු කෙරෙන පරිදි තලෙයිබාන් ප්‍රහාරයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම ක්‍රියාත්මක වීය. තම නායකයා වූ මුල්ලාහ් ඕමාර්ගේ මරණය වසන් කර ගෙන සිටි බව 2015 අගෝස්තු මාසයේදී තලෙයිබාන් සංවිධානය පිළිගත්තේය. වාර්තා වන පරිදි ඔහු රෝගාතුරව දෙවසරක පමණ කාලයක් තිස්සේ පකිස්ථානයේ රෝහලක සිටියදී මිය ගොස් ඇත.
ඉන් පසුව අලුත් නායකයකු වටා පෙළ ගැසීම සඳහා පැවති අභ්‍යන්තර ගැටුම් වෙනුවෙන් සති කිහිපයක් ගත වූ බවද එම සංවිධානය පිළිගත්තේය. අනතුරුව මුල්ලාහ් ඕමාර්ගේ නියෝජ්‍යයා වූ මුල්ලාහ් මන්සූර් නායකත්වයට පත් වීය. එම වකවානුවේදීම උපායමාර්ගිකව වැදගත් නගරයක් වූ කුන්දුස් තම පාලනය යටතට ගැනීමට තලෙයිබාන්වරු සමත් වූහ. 2001 පරාජයෙන් පසුව ලබා ගත් ප්‍රථම ජයග්‍රහණය මෙය ලෙස වාර්තා වෙයි. එක්සත් ජනපද හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 2016 මැයි මාසයේ දී මුල්ලාහ් මන්සූර් මරණයට පත් වූ අතර එතැන් පටන් එම සංවිධානයට නායකත්වය දුන්නේ එවකට නියෝජ්‍ය නායකත්වයේ සිටි මව්ලවි හිබතුල්ලා අඛුන්ද්සාඩා ය.
අමෙරිකානු හමුදා පිටවීම
2020 පෙබරවාරියේදී සාම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව තලෙයිබාන්වරු සිය ප්‍රහාරවල ස්වභාවය වෙනස් කරගෙන තිබේ. හමුදා සහ නාගරික ඉලක්ක වෙත ඔවුන් එල්ල කරමින් සිටි සංකීර්ණ ප්‍රහාර වෙනුවට ඔවුන් දැන් සිදු කරන්නේ ජනතාව භීතියට පත්කරවන, ඉලක්ක ගත මනුෂ්‍ය ඝාතනයන්ය. ජනමාධ්‍යවේදීන්, අධිකරණ විනිසුරුවරුන්, සාම ක්‍රියාධරයන්, බලයේ සිටින කාන්තාවන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රහාරවලින් පෙනී යන්නේ තලෙයිබාන්වරු සිය අන්තවාදී ප්‍රතිපත්ති වෙනස් කර ගෙන නොමැති බවය.
විදෙස් හමුදාවල ශක්තිය නොමැතිව තලෙයිබාන් ආක්‍රමණයට එරෙහිව ඇෆ්ගන් රජයට නැගී සිටිය නොහැකි බව බරපතළ සැලකිල්ලට භාජනය වී තිබියදී පවා තම හමුදා සියල්ල ඉවත් කර ගැනීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් 2021 අප්‍රේල් මාසයේදී තීරණය කළේය. ඒ අනුව, 2021 සැප්තැම්බර් 11 වැනිදා වන විට අමෙරිකානු හමුදා සියල්ල ඉවත් වී තිබිය යුතුය. නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳපොළ ගොඩනැඟිල්ලට එල්ල වූ ප්‍රහාරයට දශක දෙකක් පිරෙන්නේ එදිනටය.
දශක දෙකක් තිස්සේ සුපිරි බලවතා සමඟ යුද්ධයක් පැවති නමුත්, විදෙස් හමුදා ඉවත් වීම ආරම්භ වීමත් සමඟම නැවතත් කාබුල් නුවර ආණ්ඩුව පෙරළා දැමීමට තලෙයිබාන් සමත් වී සිටී. 2001 පරාජය වීමෙන් පසුව මේ වන විට තලෙයිබාන් සංවිධානය සිය සාමාජිකයන් සංඛ්‍යාව වෙන කවරදාකටවත් වඩා වැඩි කර ගනිමින් ශක්තිමත් වී තිබේ. මේ වන විට පූර්ණ කාලීන සටන්කරුවන් 85,000ක් එම ව්‍යාපාරය සතුව සිටින බවට නේටෝ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.
බොහෝ දෙනා බිය පළ කළ ප්‍රමාණයට වඩා ඔවුන්ගේ ආක්‍රමණය වේගවත්ය. ඇෆ්ගනිස්තාන මෙහෙයුම් භාරව සිටි එක්සත් ජනපද හමුදාවේ ජෙනරාල් ඔස්ටින් මිලර් පසුගිය ජුනි මාසයේ දී පැවසූයේ ‘මුළු ලෝකයේම සැලකිල්ලට භාජනය වන තරමේ’ සිවිල් යුද්ධයකට ඇෆ්ගනිස්ථානය පියවර තබමින් සිටින බවය.
කෙසේ වෙතත්, බොහෝ ප්‍රධාන නගරවල බලය කිසිදු සටනකින් තොරව තලෙයිබාන් අතට පත් වීය. සිවිල් වැසියන්ට සිදු විය හැකි හානිය වළක්වා ගැනීම සඳහා අවසානයේ ඇෆ්ගන් හමුදාවන්ට සිදු වූයේ යටත් වන්නට ය. ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම ගැන ලොව සමහර පාර්ශ්ව ජනාධිපති ජෝ බයිඩන්ට දොස් පැවරුව , බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ, එය වෙනත් රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීම සම්බන්ධ නව අමෙරිකානු ප්‍රතිපත්තියේ සාධනීය වර්ධනයක් බවය.
(බීබීසී පුවත් සේවය ඇසුරෙනි)
සටහන
අනුර බී. සෙනෙවිරත්න