රට වසා තබන කාලසීමාවේදී තමා ඇතුළුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් සියයට 75ක් කොවිඩ් මර්දන අරමුදලට කපා හරින්නැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඊයේ (20) ඉල්ලීමක් කළේය.
සෞඛ්‍ය, ආරක්ෂක නිලධාරීන් හැර අනෙකුත් අයගෙන් මෙසේ වැටුප් කපා ගැනීමක් කරන ලෙස ඇමැතිවරයා යෝජනා කර තිබේ.
ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන පිරිස් නිවෙසට වී කා බී දොරගුළු ලාගෙන සිටින විට මාසික වේතනයක් නොලබන ජනතාවගේ නිවෙස්වල බතක් නොයිදෙන්නේ නම් රට අගුළු ලා ඇති ඵලය කුමක් දැයි සිය ලිපියෙන් ප්‍රශ්න කර ඇති ඇමැතිවරයා, මේ ලිපිය නිසා තමන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් විය හැකි බවද සටහන් කර තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපතිවරයා වෙත මේ ලිපිය යොමු කර තිබෙන අතර, කැඩුණු විසුරුණු විපක්ෂය වසංගත තත්ත්වය හමුවේ සංවේදීව සිටින ජනතාවගේ මනස බලය පෙරළීම දක්වා ක්‍රමානුකූලව හැඩගස්වන වැඩපිළිවෙළක් අපූරුවට ක්‍රියාත්මක කරමින් සිටින බවත් එමඟින් අවධාරණය කර තිබේ. වසංගතය යම්තාක් දුරට පාලනය කර ගෙන තිබුණු අවස්ථාවේ විපක්ෂයේ අනුදැනුම ඇතිව උද්ඝෝෂණ පෙළපාළි රැසක් සංවිධාන කෙරුණු බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර වර්ධනයක් මෙරටින් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ජන ඒකරාශිවීම් සංවිධාන කළේ ජන ජීවිතවල වටිනාකම නොතකමින් බවද එහි සඳහන් කර තිබේ. මෙවර වසංගත ව්‍යාප්තියට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් ලෝකයම වසංගතයකට මුහුණ දී ඊට නිසි විසඳුමක් නැතිව සිටින අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන විපක්ෂය වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැති බවත් පැවසූ ඇමැතිවරයා, මේ අභියෝගාත්මක අවස්ථාවේ බලය රැක ගැනීමට වඩා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ වෑයම බවත් සඳහන් කර තිබේ.
රට අඟුළු දමන ලෙස යෝජනා කරන වෘත්තීය සමිතිවල අයට රට අගුළු දැමුවත් වැටුප් ලැබෙන නිසා කිසිදු ආර්ථික අපහසුතාවක් ඇති නොවන බව දක්වා ඇති එම ලිපියේ රට අගුළු දැමූ විට මාසික වැටුපක් නොලැබෙන පවුල් දැඩි අසීරුතාවකට ලක් වන බවත් දක්වා තිබේ.
මේ ලිපියේ පිටපත් අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ක්‍රීඩා, තරුණ කටයුතු හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂන ඇමැති නාමල් රාජපක්ෂ, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහත්වරුන් වෙතද යොමු කර ඇත.
මහින්ද අලුත්ගෙදර