ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ F 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන් ශ්‍රී ලංකා පිලේ පදක්කම් අපේක්ෂාවකි.
හෙට (24) ආරම්භ වීමට නියමිත ටෝකියෝ පැරාලිම්පික් උලෙළ ලබන මස 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9ක් තරග බිමට පිවිසෙති.
ශ්‍රී ලංකා හමුදා පොලිසියට අනුයුක්තව සේවය කළ 30 හැවිරිදි කෝප්රල් සමිත දුලාන් 2017 වසරේදී රිය අනතුරකට ලක් විය. එහිදී ඔහුගේ දකුණු පාදයේ ආබාධයක් ඇති වූ අතර, එයින් අධෛර්යවත් නොවී පැරා ක්‍රීඩාව ආරම්භ කළේය. 2019 ඩුබායිහි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු හෙල්ල විසි කිරීමෙන් සිව්වැනි ස්ථානයට පත් වූ අතර, එම දක්ෂතා හේතුවෙන් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ දොරටු විවර විය.
මෑතකදී පැවති ජාතික තරගාවලියකදී හෙල්ල විසි කිරීම මීටර් 61කටත් වඩා වැඩි කරමින් දක්ෂා පෙන්වූ හෙයින් ඔහු නිසැකයෙන්ම පදක්කම් අපේක්ෂාවක් වනු ඇතැයි පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා පවසයි. දෙනියාය මධ්‍ය මහා විදුහලෙන් හා මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේදී දුලාන් හෙල්ල විසි කිරීමෙන් සමස්ත ලංකා පාසල් තරගාවලි නියෝජනය කළේය.
“මා ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සිටියදී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව කර ගෙන ගියා. යතුරුපැදි අනතුර හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වුණා. මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා මාව දිරි ගැන්වුවා. ඒ වගේම යුද හමුදාව ක්‍රීඩාව කරගෙන යෑමට හොඳ සහයෝගයක් දුන්නා” සමිත දුලාන් පැවසීය.
මේ 30 වැනිදා0 ටෝකියෝ ක්‍රීඩා උලෙළට සහභාගී වීමට නියමිතව සිටින පැරාලිම්පික් කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් (F 46), සමිත දුලාන් (F 44) සහ සම්පත් හෙට්ටිආරච්චි (F 64) හෙල්ල විසි කිරීමට එක් වන ක්‍රීඩකයන් තිදෙනෙකි. ශ්‍රී ලංකාවේ පැරාලිම්පික් ක්‍රීඩකයන් පසුගිය 21 දා ටෝකියෝ නුවරට ගිය අතර, ඔවුන් අද සිට පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.