30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපති දෙසුම ගැන පවසති ඔවුහු මෙලෙසින...

ජනපති දෙසුම ගැන පවසති ඔවුහු මෙලෙසින…

කොවිඩ් 19 වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මෙරට ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් වර්ධනය වූ බව නොරහසකි. ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ නිකුත් කරමින් ජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂක ක්‍රම රැසක් ද හඳුන්වා දෙනු ලැබිණි. වයිරස පාලනයට පියවර නොගන්නා බව පවසමින් විපක්ෂ මෙන්ම විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති විරෝධතා පවා ආරම්භ කරන්නට වුණේ රජය හඳුන්වා දුන් මේ සොෟඛ්‍යාරක්ෂිත ක්‍රම පවා අභියෝගට ලක් කරමිනි. වයිරසය ගැන මායිම් නොකර රට පුරා ක්‍රියාත්මක වූ වැඩ වර්ජන රැල්ල වයිරස ව්‍යාප්තියට තෝතැන්නක් විය.

වයිරසය පාලනය කිරීමට විවිධ වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කරන ලද අතරම රටේ ආර්ථිකය පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන්නට විය. මේ අතර එන්නත්කරණ වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කඩිනම් කරන ලද්දේ ද ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙනි. මරණ අනුපාතය අවම කර ගැනීමේ අභිලාසයෙනි.

මේ අතර ඉකුත් දිනවල වර්ධනය වූ මරණ අනුපාතය සහ ආසාදිත සංඛ්‍යාව අවම කර ගැනීමට රට දින කිහිපයකට වසා දමන ලෙස වෛද්‍යවරුන් රජයට දැනුම් දුන් අතර, මහා සංඝරත්නය, ආණ්ඩු පක්ෂයේ සහායක පක්ෂ ඇතුළු බොහෝ දෙනකු රට වසා දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව සියලු ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ලබන 30 දා දක්වා රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද්දේ ඉකුත් 20 දා රාත්‍රියේය. එදින ජනාධිපතිවරයා ජනතාව අමතමින් කළ ප්‍රකාශය ගැන අද වන වට පක්ෂ විපක්ෂ මැති-ඇමැතිවරු විවිධ මත ඉදිරිපත් කරමින් සිටිති. මේ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ ගැන ඉදිරිපත් වූ එවැනි මත කිහිපයකි.

අප මුහුණ දී ඉන්නේ අභියෝග සියල්ල එක්වර කළමනාකරණය කළ යුතු අවස්ථාවකට

වැවිලි ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ

වර්තමානයේ රට මුහුණ දී සිටින විවිධ අභියෝග පිළිබඳ ජනාධිපතිතුමා කතාවේදී පැහැදිලි කළා. සෞඛ්‍ය අංශයේ මතයට ඇහුම්කන් දෙනවා වගේම රජය ලෙස රටේ සමස්ත ආර්ථික සමාජීය තත්ත්වය ගැන කල්පනා කළ යුතු බව එතුමා ප්‍රකාශ කළා. මේ මොහොතේ රට වසා තැබීම අවශ්‍යයි. ඒත් දීර්ඝ කාලීනව රට වසා තැබීම හරහා මතු වන ගැටලු ජනතාවට පෙන්වා දුන්නා. දේශීය අරමුදල් සහ විදේශීය සම්පත් අඩු වෙමින් පවතින මොහොතක ක්‍රමානුකූලව රටවල් යථා තත්ත්වයට පත් කිරීමේ ගමනක් ලෝකය පුරා දකින්න පුළුවන්. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට සංචරණ සීමා ලිහිල් කරලා.

ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය හැරුණු කොට අනෙක් රටවල් සංචරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයට පත් වන්න ඉඩ හැර තිබෙනවා. අප මුහුණ දී තිබෙන්නේ අභියෝග සියල්ල එකට අරන් රට කළමනාකරණය කළ යුතු අවස්ථාවකට.

අපේ යෝජනාවලිය පිළිගත්තා නම් ජනපතිට මෙහෙම කියන්න වෙන්නෙ නෑ!

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ජනාධිපතිතුමා පසුගිය දා ජාතිය අමතා කළ කතාවේ සාරාංශය ගත්තාම එහි මූලික හරය දිගින් දිගටම රට වසා දැමීමට සිදු වුව හොත් කැප කිරීම් කරන්න සූදානම් වන ලෙස ජනතාව වෙත දැනුම් දීමයි. එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විසි එක් වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කළේ නම් කැප කිරීම් කිරීමට ලැහැස්ති වන්නැයි ජනතාවට දැනුම්දීමට ජනාධිපතිවරයාට කිසි ලෙසකින්වත් සිදු වන්නේ නෑ. ජනාධිපතිවරයා මේ ව්‍යංගයෙන් කියන්නේ ආණ්ඩුවට භාණ්ඩ මිල හා සේවාවල මිල ඉහළ දැමීමට සිදු වෙනවා කියලා. වැටුප් ගෙවන්නත් බැරි නිසා රජයේ සේවකයෝ තමන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන්න ඕනේ කියන කාරණයත් එයින් කියවෙනවා. අපේ යෝජනාවලියේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියන කාරණයයි. අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගියොත් අපට වෙනත් රටවලින් සහනාධාර පවා ගන්න පුළුවන් වේවි. එතැනට නොගොස් ජනතාවට කැපකිරීම් කරන්න කියන්න එපා. කෘත්‍රිමව ඔක්සිජන් සපයන ශ්වසනාධාරක උපකරණ (ventilators) ඉක්මනින් ගන්න. ශ්වසනාධාරක 2,000ක් වත් අවශ්‍ය බව අපේ නායකතුමා කියලා තිබුණා. මේ උපකරණ වගේම ඔක්සිජන් ධාරිතාව පවත්වා ගැනීමටත් රජය කටයුතු කළ යුතුයි.

අපේ මන්ත්‍රී වැටුප සෞඛ්‍ය අංශවලට පිරිනමනවා

ශ්‍රීලනිප ජ්‍යෙ/ උපසභාපති, පරිසර ඇමැති මහින්ද අමරවීර

කොවිඩ් නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට සිදු වුව හොත් සියලු ජනතාවට කැපවීම් කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම පිළිගනිමින් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වශයෙන් මහජනතාවට මේ අසීරු අවස්ථාවේ සහන සැලසීමට කටයුතු කරනවා. ඒ අනුව මේ මාසය සඳහා අපට ලැබෙන වැටුප අපි සියලු දෙනාම සෞඛ්‍ය අංශවලට පිරිනමනවා. ඒ වගේම මේ කොවිඩ් වසංගතය අවසන් වන තෙක් ලබන මාසයේ සිට මා නැවත මන්ත්‍රී වැටුප ගන්නේ නෑ. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමට පිරිනමනවා. අවශ්‍ය වුවහොත් මට මන්ත්‍රීවරයෙක් ලෙස ලැබෙන සියලු වරප්‍රසාද කැප කරන්න මා සූදානම්. රටේ ජනතාව දුක් විඳින අවස්ථාවක ඔවුන්ගේ බදු මුදලින් නඩත්තු වන සියලු මන්ත්‍රීවරුන් ඒ සඳහා කැප විය යුතුයි. මේ වෙලාවේ අපිට වටින්නේ අපේ රටේ ජනතාවයි. එසේ නැතිව අපට මේ වරප්‍රසාද ගෙන ඒවා භුක්ති විඳීම යුක්ති සහගත නෑ.

ඒ නිසා අවශ්‍ය නම් අපට දී තිබෙන නිල වාහන වුවත් ඒ සඳහා පරිත්‍යාග කරන්න මා සූදානම්.

ආණ්ඩුවේ අසමත් බව කතාවෙන් නැවතත් තහවුරු වුණා!

සමඟි ජන බලවේගයේ පා.ම. මනූෂ නානායක්කාර

ජනාධිපතිවරයාට තමන්ගේ කතාවෙන් හාල් මිල, පාන් මිල, ගෑස් මිල වැඩි වීම, ඔන්ලයින් අධ්‍යාපනයේ ඇති ගැටලු ගැන කතා කරන්න අමතක වුණා. කොරෝනා දත්ත වෙනස් කරලා ජනතාවට දෙනවා. මේවා ගැන ජනාධිපතිතුමා කතා කළේ නෑ. මේවා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, රටේ ජනතාව රවට්ටලා තමන්ගේ සැනසීම හදාගන්න ද? ජනතාව නිවැරදි දත්ත ටිකවත් දෙන්න කියලා ජනාධිපතිවරයාගෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. එන්නත නියමිත වේලාවේ මේ රටට ගෙන එන්න බැරි වුණා. රට වහන්න බැරි වුණා. ඒ නිසා මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා කියලා ජනතාවගෙන් සමාව ගන්න ජනාධිපතිවරයාට ජාතිය අමතන විට හැකියාවක් ලැබුණේ නෑ. කොරෝනා වසංගතය මර්දනය කිරීමට ආණ්ඩුව අසමත් බව ජනාධිපතිවරයාගේ කතාවෙන් නැවත වරක් තහවුරු වුණා. මිය ගියාට කනගාටුව ප්‍රකාශ කරන්න තරම්වත් නිහතමානි වුණේ නෑ.

අප කටයුතු කළ යුත්තේ තවත් රටක් කරන දේ අනුව නොවෙයි

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

කොවිඩ් 19 වසංගතය පාලනයට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා පැහැදිලිව රටේ ජනතාව දැනුම්වත් කළා. කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ හා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එන්නත්කරණය වඩා වැදගත් බවයි. ඒ අනුව අපේ රට තුළද එනන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිදු කෙරෙනවා. එන්නත්කරණය හා එයින් කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව ජනතාව දැනුම්වත් කරනු ලැබුවා. විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි පිරිස් එන්නත්කරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම ඉතාම සාධනීය තත්ත්වයක්.

අද විපක්ෂය බලා සිටින්නේ කොවිඩ් 19 වසංගතය හරහා සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි. කොවිඩ් 19 පාලනය කරමින් රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා විපක්ෂයේ කාර්යභාරයවත් සිදු කිරීමට ඔවුන්ට පැහැදිලි අරමුණක් නෑ. කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන විට දැන් ඔවුන් සිදු කරනුයේ කොවිඩ් පාලනය සඳහා ගෙන යනු ලබන වැඩසටහන විවේචනය කිරීමයි.

කොවිඩ් 19 වසංගතය අපේ රටට පමණක් සීමා වු දෙයක් නොවේ. ලෝකය පුරා පැතිර යන වසංගතයක්. මෙය පාලනය කිරීම සඳහා පොදු වගකීමකින් කටයුතු කළ යුතුයි. මෙය පාලනය කරන්න කටයුතු කළ යුතු වන්නේ තවත් රටක් කරන දේ අනුව නොවෙයි;