දෙ.ජා.ස. නායක ආර්. සම්පන්දන්
රටේ පවතින කොරෝනා වසංගතය තාවකාලික එකක් බැවින් දීර්ඝකාලීන දේශපාලන අවශ්‍යතාවක් වන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද කීය:
“මා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලිපි යවමින් මේ කාරණය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට හදිසි හමු වීමක් ඉල්ලා සිටියා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු 1988 සිට මේ රටේ බලයට පත් වූ සෑම රජයක්ම නව ව්‍යවස්ථා සංශෝධනයක් ඊට එකතු කර, උතුරු නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුම් දෙන බවට ප්‍රතිඥා දුන්නා. ඒත් කවර හෝ රජයක් එයින් ඉදිරියට කිසිදු පියවරක් තබා නෑ.
1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්මත වීමෙන් පසුව වසර දෙකකටත් වඩා අඩු කාලයකදී එම ව්‍යවස්ථාවේ සඳහන් සියලුම කරුණු ඉටු වූවත් වසර 32කටත් වඩා වැඩි කාලයක් ගත වූ 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කිසිවක් සිදු වී නොමැති වීම ගැන කනගාටු වෙනවා.
කොරෝනා වසංගතය රටට ඉතා භයානක තත්ත්වයක් ගෙන දී ඇතත්, ඒ තත්ත්වය ඉතා ඉක්මනින්ම සමනය වන නිසා රටේ දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම වසංගතය බාධාවක් කර නොගත යුතුයි.”
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ


