28.7 C
Colombo
Sunday, May 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදඬුවම සැර වැඩියි: ලිහිල් කර දෙන්න!

දඬුවම සැර වැඩියි: ලිහිල් කර දෙන්න!

කුසල්ගෙන් – ධනුෂ්කගෙන් අභියාචනා:
දික්වැල්ලගෙන් ‘නෝ කතා’

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින අතරතුර රාත්‍රියේ සෞඛ්‍ය රීතීන්ට ද පටහැණිව ඩර්හෑම් නගරයේ සංචාරය කරමින් අශෝභන ලෙස හැසිරී විනය කඩ කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වී සිටින ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් තමන්ට පැනවූ දඬුවම සැර වැඩි හෙයින් එය ලිහිල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමු කර තිබේ. විනය කඩ කිරීමේ චෝදනාවට වැරදිකරු වූ නිරෝෂන් දික්වැල්ල මෙතෙක් මේ සම්බන්ධ අභියාචනාවක් ඉදිරිපත් කර නැති හෙයින් ධනුෂ්කගේ සහ කුසල්ගේ අභියාචනා තවත් දින 10කින් පමණ පැවැත්වෙන විධායක කමිටුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘දිනමිණට’ පැවැසීය.

අප කළ විමසීමේදී මොහාන් ද සිල්වා මහතා පැවැසූවේ නිරෝෂන් දික්වැල්ල අභියාචනාවක් ඉදිරිපත් නොකිරීමට හේතුව තමා වෙත වාර්තා වී නැති බවයි. කෙසේ වුවද අභියාචනාව සම්බන්ධ අවසන් තීරණය ක්‍රිකට් විධායක සභාව සතු වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

චෝදනාවලට වැරදිකරුවන් වූ මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව අමෙරිකානු ඩොලර් 25,000ක (රුපියල් ලක්ෂ‍ 50ක් පමණ) දඩයක් නියම කළ අතර වසර 2ක ක්‍රිකට් තහනමක් ද පැනවීය. එහෙත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එම නිර්දේශ සංශෝධනය කොට දඩය රුපියල් කෝටිය බැගින් ඉහළ දමා, වසර දෙකක තහනම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ලෙස හා මාස හයක දේශීය තරග තහනමක් පැනවීමට කටයුතු කළේය. එමෙන්ම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනම අවසන් වූ පසු වසර දෙකක අත්හිටුවූ තහනමක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය විය.

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතු බව ද එහිදී තීරණය විය. එංගලන්ත තරග සංචාරයේ නිරතව සිටින අතරතුරදී කොරෝනා ජෛව ආරක්ෂිත බුබුළ බිඳීම, හොර රහසේ හෝටලයෙන් පිට වීම හා රටට අපකීර්තිය ගෙන ඒම වැනි කරුණු යටතේ ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා එල්ල විය.

මේ අතර මෙම ක්‍රීඩකයන් තිදෙනා අමෙරිකාව බලා පිටත් වීමට සූදානමක් ඇතැයි ද ඒ සඳහා අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා සදහා විමසුමක් කර ඇතැයි ද පසුව වාර්තා විය. ඉදිරියේදී අමෙරිකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සඳහා ලොව නන් දෙසින් ක්‍රීඩකයන් අමෙරිකාවට ගෙන්වාගෙන ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් මේ වන විටත් ඒ සඳහා පිටත්ව ගොස් සිටිති.

ප්‍රින්ස් ගුණසේකර