ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (24) රාත්‍රී 7.00ට පැවැත්වේ.
එහිදී දසුන් ශානක නායකත්වය දෙන ‘ග්‍රේස්’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් මෙහෙයවන ‘රෙඩ්ස්’ කණ්ඩායම තරග බිමට පිවිසෙයි. මූලික වටය නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක හිමි කර ගත් කණ්ඩායම් දෙකට අවසන් තරගයට එක් වීමේ අවස්ථාව හිමි විය.
ඒ අනුව ‘ග්‍රේස්’ කණ්ඩායම අපරාජිතයන් ලෙස මේ තරගයට එක් වූයේ ප්‍රසාද ලකුණු 10ක් සමඟිනි. ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරග දෙක වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය. ‘ග්‍රේස්’ පිල තරග 6න් 5ක් ජය ගත් අතර, එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි. ‘රෙඩ්ස්’ කණ්ඩායම දෙවැනි තැනට පත් වූයේ තරග 6කින් 3ක් ජය ගනිමිනි.
මූලික වටයේ තීරණාත්මක අවසන් තරගයෙන් ‘ග්‍රීන්ස්’ පිල කඩුලු 6කින් පරාජය කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ ‘රෙඩ්ස්’ පිල සමත් විය. ඒ සමඟ බ්ලූස් පිලට අවසන් මහා තරග බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු විය. වර්ෂාව හේතුවෙන් ඕවර 15කට සීමා වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ‘ග්‍රීන්ස්’ පිල ලකුණු 114කට සීමා කළ ‘රෙඩ්ස්’ ක්‍රීඩකයන් පන්දු 3ක් ඉතිරිව තිබියදී ජය තහවුුරු කර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි.
මේ තරගාවලියේදී ‘ග්‍රීන්ස්’ පිල පරාජයට පත් වූ 5 වැනි තරගය මෙය වන අතර, ඔවුන්ට කිසිදු ජයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි නොවීම විශේෂත්වයකි. එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීම නිසා ප්‍රසාද ලකුණක් පමණක් ඔවුන්ට හිමි විය.
කණ්ඩායම් 4ක් එක් වූ තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම දෙවරක් බැගින් එකිනෙකා මුණගැසුණු අතර, ඒ අනුව ‘ග්‍රේස්’ සහ ‘රෙඩ්ස්’ හමු වූ පළමු අවස්ථාවේදී ‘ග්‍රේස්’ ලකුණු 35කින් ජය ගත්තේය. දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි.
මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කරයි.
ග්‍රේස් සංචිතය – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), මිනෝද් භානුක, නුවනිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර, චතුරංග ද සිල්වා, උදිත් මදුෂාන්, පුලින තරංග, ලසිත් කෘෘස්පුල්ලේ, භානුක රාජපක්ෂ, ළහිරු මධුෂංක, නුවන් ප්‍රදීප්, අශෙන් ඩැනියෙල්, සංගීත් කුරේ, මිලින්ද සිරිවර්ධන, චාමික ගුණසේකර, හිමාෂ ලියනගේ, මතීෂ පතිරණ.
රෙඩ්ස් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), අවිශ්ක ප්‍රනාන්දු (උප නායක), අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, බිනුර ප්‍රනාන්දු, නිපුන් ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් අබේරත්න, චාමික කරුණාරත්න, අකිල ධනංජය, මුදිත ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, සන්තුෂ් ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, හිමේෂ් රත්නායක.
නිරෝෂාන් ප්‍රියංකර