පා.ම. සාගර ජනපතිගෙන් ඉල්ලයි
කැබිනට් ඇමැතිවරුන් ලෙස සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ජනතාව ඉදිරියේ බොරු වීරයන් වෙන්න උත්සාහ කරන පිරිසට විරුද්ධව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය:
“රටක් වහන එක ආර්ථික වශයෙන් වගේම මානසික වශයෙන් මිනිසුන් පීඩනයට පත් කරන කාරණයක් බව වෛද්‍ය විශේෂඥ මතයයි. එවැනි තත්ත්වයකින් කොරෝනා මැඬපැවැත්වීම සාර්ථක ක්‍රියාදාමයක් නොවන බව තමයි ඔවුන් කියන්නේ.
මේ ක්‍රියාදාමය වෘත්තීය වශයෙන් සුදුසුකම් ඇති පුද්ගලයන් මත සිදු විය යුත්තක් මිස එක් එක් පුද්ගලයන් වෘත්තීය සමිති කියූ පලියට කළ යුතු දෙයක් නොවේ.
විපක්ෂය කරන්නේ රට වහලා මිනිසුන් අපහසුතාවට පත් කර, මේ ආණ්ඩුව පිරිහීමට පත් කරන උත්සාහයක්. මේ පිටුපස විදේශ බලවේග ඉන්නවාද කියන සැකය මතු වී තිබෙනවා. මේ රටේ ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය අනුව මොන විවේචන තිබුණත් අප නිවැරදි තැන සිට නිවැරදි තීන්දු ගෙන කටයුතු කරනවා.
කැබිනට් මණ්ඩලේදී එකඟ වෙලා එළියට ගිහින් රජයට, ජනාධිපතිවරයාට ලියුම් යොමු කරන එක රජය දැඩි ලෙස අපහසුතාවට පත් කරන ඉතා වැරදි ක්‍රියාවක්. සන්ධානගත රජයක ඉන්න පක්ෂ මීට වැඩිය වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. රට වහන්නේ නැති බවට කැබිනට් මණ්ඩලයේදී එකඟ වෙලා ලියුම් යොමු කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න, නැවත එවැන්නක් සිදු වීමට ඉඩ තබන්න එපා කියන ගෞරවනීය ඉල්ලීම අප ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා.
පොදුජන පෙරමුණේ අප පාර්ලිමේන්තුවට පත් වූ දින සිටම මන්ත්‍රීවරයකු රුපියල් පන්දහසකුත් කැබිනට් ඇමැතිවරයකු රුපියල් දහදාහකුත් වශයෙන් මුදල් එකතු කර, ඒ සියලු මුදල් යොදවා ප්‍රාද්ශීය සභා මන්ත්‍රීවරුන්, පක්ෂ සාමාජිකයන්ගෙන් එකතු වන සියලු අරමුදල්වලින් අද වෙන කොට මේ රටේ රෝහල් 20ක අතරමැදි වාට්ටු සකස් කර සියලු පහසුකම් සපයා දී තිබෙනවා. එක මාසයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැටුප යොදවන එක අප අගය කරනවා. අප අවුරුද්දක් තිස්සේ මෙහෙම මුදල් එකතු කර මේ කටයුතු කර තිබෙනවා. ඉදිරියට අවශ්‍ය නම් ඊට වැඩිය වැඩි දෙයක් වුණත් කරන්න අප සූදානම්. රට ලොක්ඩවුන් කරනවා නම් නිවෙස්වලට වෙලා ඉන්න සියලු දෙනා ඒ දායකත්වය දැරිය යුතුයි කියන මතයේ අප ඉන්නවා.”
ක්‍රිසන්ති විතාරණ