කොරෝනා වසංගතය පිළිබඳ බිය හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම ඊයේ පැවති ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයට සහභාගී නොවීය. නවසීලන්ත පැරාලිම්පික් කණ්ඩායමේ ප්‍රධානී පෝලා ටෙසෝරියෝ මහත්මිය පැවසුවේ, බොහෝ රටවල විශාල කණ්ඩායම් මේ සමාරම්භක උත්සවයට සහභාගී වන හෙයින් නවසීලන්ත කණ්ඩායම සහභාගී වීම තම රටේ ක්‍රියා පටිපාටිය හා නීති පද්ධතිය සමඟ සමපාත නොවන බවයි. එබැවින් විශාල පිරිසක් එක්වන තැනකට නවසීලන්ත පැරාලිම්පික් කණ්ඩායම නොයෑමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ඇය සඳහන් කළාය.
පැරාලිම්පික් ක්‍රීඩා සඳහා නවසීලන්තය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29ක් හා පුහුණුකරුවන් නිලධාරීන් ඇතුළු 66ගෙන් යුත් දූත කණ්ඩායමක් ටෝකියෝ වෙත එවා ඇති අතර, ජාතික ක්‍රීඩාංගණයේ විවෘත කිරීමේ උත්සවයට ඉන් කිසිදු අයකු සහභාගී නොවීමට තීරණය කර තිබේ. ඒ අනුව නවසීලන්ත ධජය සමාරම්භක උලෙළේ දක්නට නොලැබිණ.
මේ අතර ශ්‍රී ලංකා පිලේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සමාරම්භක උලෙළට සහභාගී වී සිටි අතර, අනෙක් රටවල් 161ක් ද සමාරම්භක පෙළපාළියේ ගමන් ගත්හ. ඊයේ සමාරම්භක උලෙළින් පසු අද පෙරවරුවේ සිට ක්‍රීඩා තරග ලබන මස 5 දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් ඇතුළත් වන අතර, කණ්ඩායමේ නායකත්වය පසුගිය රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම දිනා ගත් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ට පවරා ඇත. ඔහු විසින් පැරාලිම්පික් සමාරම්භක උලෙළේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබීය.
ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ක්‍රීඩා 4ක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන අතර, හෙල්ල විසිකිරීමේ ඉසව්වට ක්‍රීඩකයන් 3ක් සහ වෙඩි තැබීම, පිරිමි මීටර් 400 හා කාන්තා දුර පැනීම යන ඉසව් සඳහා එක් අයකු බැගින් සහභාගී වෙති.
පසුගිය 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී මීටර් 58.23 ක දුරක් හෙල්ල විසි කර ලෝකඩ පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත මෙවර ද ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිනේෂ් ප්‍රියන්තට අමතරව හෙල්ල විසි කිරීමෙන් සමිත දුලාන් හා සම්පත් හෙට්ටිආරච්චි ක්‍රීඩකයෝ දෙදෙනා ද පැරාලිම්පික් පිටියට පිවිසෙති. එමෙන්ම පාලිත බණ්ඩාර (යගුළිය විසි කිරීම F 42), සමන් මධුරංග සුබසිංහ (T 47 මී. 400), කුමුදු ප්‍රියංකා (T 45/46 මී. 100 හා දුර පැනීම), සම්පත් බණ්ඩාර (දුනු විදීම), මහේෂ් ජයකොඩි (ඔරු පැදීම) හා ඩී.එස්.ආර්.ධර්මසේන (රෝද පුටු ටෙනිස්) මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරති.